×

පුතාටත්, පියාටත් සීයාටත් බිරිඳ වූ මිසර රැජින

පුරාවිද්‍යාඥයන් අන්කේසෙනාමන් රැජිනගේ අබිරහස් ජීවිතය අබියස


ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ කැණීම් කටයුතු සිදුකරන පුරා විද්‍යාඥයෝ අන්කේසෙනාමන් රැජිණගේ සොහොන් ගැබ සොයා මෙහෙයුම් අරඹති. අන්කේසෙනාමන් සැලකෙන්නේ ටුටන්කාමන් රජුගේ බිරිය හැටියටයි. එසේම ටුටන්කාමන් ඇගේ අඩ සොයුරා සහ ඥාති සොයුරා ද වූ බවට ඉතිහාසයේ කරුණු ඇත.

වඩාත් මවිතයට කාරණය, ඈ ටුටන්කාමන්ට පමණක් නොව සිය පියාටත්, සිය සීයාටත් බිරිය වූවාදැයි කියන සැකය මතු වීමය.

ටුටන්ඛාමන්ගේ අබිරහස් මරණින් පසු ඇගේ ඉරණම කෙසේ විසඳුණේද යන්න තවමත් නොපැහැදිලි බව පුරා විද්‍යාඥයෝ පවසති. අන්කේසෙනාමන් රැජිණ පිළිබඳ කරුණු ඉතිහාසයෙන් එක්වරම වාගේ වසන් වීමකුත් සිදුව තිබේ. එසේ වුවත් ඇගේ රුව රැගත් සිතුවම් රැසක් පසුගිය කාලයේදී සොයා ගැනිණ.

Egypt Valley of the Kings locator

මේ කාරණා සියල්ල සැලකිල්ලට ගන්නා පුරා විද්‍යාඥයන් ප්‍රශ්න කරන්නේ අන්කේසෙනාමන්ගේ ඉරණම ශෝකාන්තයක් වීදැයි කියාය. ඊට අදාල තොරතුරු අනාවරණය කරගැනීමට නුදුරු දිනෙකදී හැකිවනු ඇති බව ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ කැණීම් කටයුතු සිදුකරන පුරා විද්‍යාඥයෝ පවසති.

පුරා විද්‍යාඥයන් රජවරුන්ගේ නිම්නයේ බටහිර දිග පෙදෙස වෙත යොමුවෙමින් මේ වනවිට කැණීම් කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් වේ. රජවරුන්ගේ නිම්නයේ බටහිරා දිග සැලකෙන්නේ කැණීම්වලට තබා කිසිදු කෙනෙකුගේ අවධානයට ලක් නොවූ පෙදෙසක් හැටියටය.

කිසිදු පුරා විද්‍යාඥයකුගේ අවධානයට ලක් නොවුණු රාජකීය සොහොන් සැලකිය යුතු ප්‍රමාණයක් එහි ඇති බව පුරා විද්‍යාඥයෝ මේ නිසා පෙන්වා දෙති. එ අතර යට කී අන්ඛේසෙනාමන් රැජිණගේ සොහොන් ගැබත් තිබිය හැකි බවට පුරා විද්‍යාඥයන් අතර සැකයක් ඇත.

ඉතිහාසයේ දැක්වෙන අන්දමට අන්කේසෙනාමන්, ක්‍රි.පූ. 1348දී පමණ උපත ලබා ඇත. උපතේදී ඇයට ලබා ඩි තිබෙන්නේ අන්ක්සෙන්පාටීන් නමැති නමයි. පුරාන ඊජිප්තුවේ පැවැති ආගම් අනුව ඇගේ නම අන්කේසෙනාමන් යනුවෙන් පසුව වෙනස් කරන්නට ඇත. එය බොහෝවිට සිදුවන්නට ඇත්තේ ඈ ටුටන්ඛාමන් සමඟ විවාහ වීමෙන් පසුව විය හැකිය. අන්ඛේසෙනාමන් උපත ලබා තිබෙන්නේ අකෙනාටන් නමැති පාරාවෝ රජුටත් නෙෆර්ටිටි රැජිණටත් දාව තෙවැනි දරුවා හැටියට බවට සාක්ෂි ඇත.

මේ අතර දැනට සොයාගෙන ඇති සාක්ෂිවලින් සනාථ වන්නේ ටුටන්ඛාමන්ගේත්, අන්කේසෙනාමන්ගේත් පියා එකම පුද්ගලයකු බවයි. එනම් අඛෙනාටන් මේ දෙදෙනාගේම පියාය යන්නයි. පුරා විද්‍යා පර්යේෂණ සහ ජාන පරීක්ෂණවලට අනුව අකෙනාටන් ඔහුගේම සොයුරියක සමඟ ද විවාහ වී තිබේ. අකෙනාටන්ගේ එම සොයුරිය, ටුටන්කාමන්ගේ මවයි. අඛෙනාටන්ගේ සොයුරිය කවරකුද යන්න තවමත් හෙළි වී නැත.

පුරාවිද්‍යාඥයන් “ ද යන්ගර් ලේඩි” හෙවත් “ලාබාල යුවතිය” වශයෙන් නම් කර ඇති මමිය අකේනාටන්ගේ එම සොයුරියගේ හෙවත් ටුටන්කාමන්ගේ මවගේ මමිය විය හැකි බවට සැකයකුත් පවතී.

ක්‍රි.පූ. 1341දී උපත ලද ටුටන්කාමන් රජකමට පත්වන්නේ ඔහුට වයස අවුරුදු නවයේදී පමණය. රජු බවට පත්වීමෙන් පසු ටුටන්කාමන්ගේ විවාහය සිදු වූ බව කිව හැකිය. අන්ක්සෙනාමන් ක්‍රි.පූ. 1348දී පමණ උපත ලද කෙනෙකු බැවින් ටුටන්ඛාමන් විවාහ වී තිබෙන්නේ තමන්ට වඩා වසර කිහිපයකින් වැඩිමහලු තැනැත්තියක සමඟයි. ටුටන්ඛාමන්ගේ රාජ්‍ය පාලන කාලය වසර නවයක් තරම් ය. වයස අවුරුදු 18 පමණ වනවිට ඔහු අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වේ.

ඉතිහාසඥයන් පවසන අන්දමට අයි නැමැත්තා සිහසුනට පැමිණෙන්නේ ටුටන්කාමන්ගේ මරණින් පසුවයි. ඔහුගේ පාලනය ක්‍රි.පූ. 1332 සිට ක්‍රි.පූ. 1327 දක්වා පැවැති බව සඳහන් වේ. මේ කාලයේදී අන්කේසෙනාමන් රැජිණ, අයි සමඟත් විවාහ වූවාද යන සැකය ඇතැම් පුරා විද්‍යාඥයන් තුළ ඇත. එකී කාරණා ගැන විමසා බලන විට අයිගේ සොහොන් ගැබ සොයා ගැනීම, අන්ක්සෙනාමන් ගැන කරුණු සොයා ගැනීමටත් රුකුලක් වනු නිසැකය. කෙසේ වුවත් අන්කේසෙනාමන් ඇගේම පියා හෝ ඇගේම සීයා සමඟ විවාහ වූයේ ටුටන්ඛාමන්ගේ මරණින් පසුව යන්න සමහර පුරා විද්‍යාඥයන්ගේ මතය වී තිබෙන බවට් මෙහිදී අමතක කළ නොහැකිය.

“ … අයිගේ සොහොන ආසන්නයටම දැන් අපි පැමිණිලා ඉන්නවා. ඒ නිසා එහි කැණීම් කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙයි. රේඩාර් ස්කෑන් මගින් ලබාගත් දත්ත අනුව යිගේ සොහොනට ඇතුළු විය හැකි ස්ථානය නිර්ණය කරලා තිබෙන්නේ. එය පොළොව මට්ටමෙන් අඩි 16ක් පමණ යටින් තිබෙන්නේ. …” යැයි පුරා විද්‍යාඥ සාහි හවාස් පවසයි.

අන්කේසෙනාමන්ගේ නම ප්‍රකට වන්නේ ටුටන්කාමන්ගේ නම කරලියට පැමිණීමත් සමඟය. ටුටන්කාමන් මෙපමණ ජනප්‍රිය වන්නේ 1922දී ඔහුගේ සොහොන සොයා ගැනීමත් ඔහුට අත් වූ ඉරණම පිළිබඳව පුළුල් වශයෙන් පර්යේෂණ ආරම්භවීමත් නිසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි