×

පොත් කංචුකවලට ආ පිකාසෝගේ ගුවර්නිකා

ස්පාඤ්ඤ ජාතික නාට්‍යකරුවකු වූ ෆෙඩ්රිකෝ ගාසියා ලෝකාගේ ග්‍රාමීය ශෝකාන්ත නාට්‍යක් වන Blood Wedding ඉංග්‍රීසි නාට්‍ය පිටපතේ, එක්තරා ඉංග්‍රීසි පරිවර්තනයක් කංචුකය රතු පසුබිමේ කට අයා සිටින අශ්ව රූපයේ වෙයි.


මෙහි කංචුකයේ නිමැවුම්කරුගේ නමක් සටහන්ව නැත.නමුත් එය නිමවා ඇත්තේ, ගුවර්නිකා නම් සිතුවම ඇඳීමට පෙර පිකාසෝ ඇඳි කටු සටහන් සහ සිතුවම් කිහිපයක් අතරින් එකක් වන අශ්ව හිස යොදාගනිමිනි. ඒ බව කවරය පසුපස සඳහන් වන අතර සිතුවම් නිරීක්ෂණයෙන් ද ඒ බව පැහැදිලි වෙයි.

රත් පැහැය බහුල පසුබිමක් යොදාගෙන ඇත්තේ නාට්‍ය තේමාවට සුසංගතවයි.

මේ අශ්ව රුව Blood Weddingහි ප්‍රධාන චරිතයක් වන ලියනාර්ඩෝගේ අශ්වයා තේමා කරගනිමින් යෙදුවා වියහැකිය. වෙනත් තරුණයකු හා විවාහවීමට නියමිත මනාලිය හෙවත් සිය පෙම්වතිය හමුවීමට ලියනාඩෝ යන්නෙ අශ්වයා පිට නැගිලාය. ගමන අවසානයේ අශ්වයා හතිලමින් වෙහෙසට පත්ව වේගයෙන් දිවගෙන නිවස වෙත පැමිණෙන ආකාරය ඔහුගේ නැන්දම්මා දකී.

“අශ්වයාගේ හැසිරීම අමුතුයි, අශ්වයාට අලුත් ලාඩමක් ගහන්න හදනව හදනව ඒත් හරියන්නෙ නෑ” යි ලියනාඩෝ බිරිඳට කියයි. කංචුකයේ සිටිනා අශ්වයාගේ ස්වරූපය හතිදමමින්, නොහික්මුණු ලෙස දිව එන අශ්වයාව සිහිකරයි.

ඒ හැරුණුවිට නාට්‍ය ඇතුළේදි අශ්වයා ගැන, ඔහුගෙ බිරිද සහ නැන්දම්මා කියන කවි සහ සහ කියමන් සංඛේතීයව නිරූපණය කරන්නේ ද ලියනාඩෝවමය. ඔහුගේ ස්වභාවන්, ගති ලක්ෂණය.

නාට්‍යයෙන් ඉස්මතු කෙරෙන, මිනිස් මොරගෑම්, මරණ, ලුහුබැඳීම්, පළිගැනීම්, වෙහෙස, කම්පනය, භීතිය, ත්‍රාසය යන සියල්ල, මේ කංචුකයේ සිටින අශ්වයාගේ දෑසත්, උල්ව පිටතට ඇඳ ඇති දිවෙනුත් පෙන්නුම් කෙරේ. එබැවින් කෘතියේ කංචුකය සැලසුම් කළ ශිල්පියා උචිතම සිතුවම ඊට යොදා ඇති බව කිවහැකියි.

ලෝකාගේ මෙම නාට්‍යය හේමමාලි ගුණසිංහ විසින් තිත්ත කණෙරු(1984) නමින් පරිවර්තනය කර තිබේ. ”සඳ ළඟ මරණය” නමින් නදී කම්මැල්ලවීර සහ කෞෂල්‍යා ප්‍රනාන්දු කරන පරිවර්තනය කොෂල්‍යා ප්‍රනාන්දු නිෂ්පාදනය කළාය. 1984 දී ”තුරඟා දැන් දැන් හඬතා” නමින් හේමමාලි ගුණසිංහ මෙය නිෂ්පාදනය  කළ අතර, මෑතකදී දිනේෂ් සඳරුවන් සහ සුදේශා ලක්මාලි “නියඟලා ප්‍රේමය” නමින් අධ්‍යක්ෂණය කර වේදිකාගත කළහ.

පිකාසෝගේ ගුවර්නිකා සිතුවම, දර්ශන මේදිස් කවියාගේ, “කදුලු මිටියාවතින්” නම් කෘතියේ කංචුකයේ ද දැක්වේ.1992 හි එහි ප්‍රථම මුද්‍රණයෙහි, අජිත් මලිගසපේ විසින් කරන ලද කංචුක නිමැවුම සදහා එම සිතුවම යොදාගෙන තිබේ. සමස්ත කෘතියෙහි සංක්ෂේපයක් ලෙස ඉදිරිපත් වෙන මැය අනුව, ගුවර්නිකා සිතුවම උචිතව ගැළපෙයි.

ලෝකාගේත් මේදිස්ගේත් කංචුක දෙකටම, රත් පැහැ පසුබිම මත වන අදුරු පැහැ සිතුවම පොදුය. යුද්ධය ද, පීඩිත මිනිස් ජීවිත ද, පොදුවන්නාක් මෙනි. ස්පාඤ්ඤයේ ගුවර්නිකා නගරයට එල්ල වූ ප්‍රහාරයේ කම්පනය, ලංකාවේ වූ යුදමය බල අරගලය හේතුවෙන් බොහෝකොටම උතුරු වැසියන්ට වූ පීඩා දුක්ඛයන් හා සමගාමීව සිහිවනුයේ දර්ශන මේදිස් සිය කවිපොතින්, පීඩිත මිනිසුන් වෙනුවෙන් කරන මැදිහත්වීම විශේෂයෙන් ඉස්මතුවන හෙයිනියි සිතේ.

ඩිල්ෂානි චතුරිකා දාබරේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි