නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මෙසේ කීය. ‘‘අපි විස එන්නත් විදීම මගින් ඔබට මරණ දණ්ඩනය ලබා දෙනවා. ඔබේ ආත්මයට දෙවියන් වහන්සේ සමාව දෙත්වා!‘‘
ඒ මොහොතේ විනිසුරු ගැන තමන්ට සිතුණු දෙය ඇය අද මෙසේ සිහිපත් කරයි. ‘‘දෙවියන් වහන්සේ නුඹේ ආත්මයට සමාව දෙත්වා.. මොකද, නුඹ දන්නෙ නෑ නුඹ මේ මොකක්ද කළේ කියලා..‘‘
පළමු නඩු විභාගයේදී ඉදිරිපත් වූ ඇසින් දුටු සාක්ෂි සහ වෛද්‍ය වාර්තා නිවැරදි ඒවා නොවීය. පසුව හෙළි වූයේ බිළිඳු පුතා මිය ගියේ වකුගඩු රෝගයකින් බවයි.
සමන්තා සබ්රි වසර 6 ක් සිරගෙයි ගත කළාය. මරණ දණ්ඩනය බලාපොරොත්තුවෙන් රැඳී සිටි වසර 3 ක් ද එයට අයත් විය. පසුව ලාභ නොලබන නීති සහන දෙන ආයතනයක් වූ Reprieve විසින් ලබාදුන් නීතීඥයෙකු හරහා ඇය නිදහස ලැබුවාය. දෙවැනි නඩු විභාගයේදී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වූවාය.
federal death penalty හෙවත් ඇමරිකාවේ ෆෙඩරල් අධිකරණ විසින් ලබාදෙන මරණ දණ්ඩනය කොතරම් සාවද්‍ය සහ ව්‍යාජදැයි මේ තනි සිද්ධිය අපට පසක් කරයි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ කළු හෝ දුඹුරු සමක් ඇත්තවුන් මේ අන්දමින් ඇමරිකාවේ අපරාධ යුක්තික පද්ධතිය තුළ විශාල අසාධාරණයකට ලක් වන බව ය.
ඇමරිකාවේ මරණ දණ්ඩනයට ලක් වී සිටින අය පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් වෙනම මධ්‍යස්ථානයක් තිබේ. එහි නම DPIC ය. (Death Penalty Information Center). එයින් පෙන්වා දෙන්නේ මරණ දණ්ඩනයට නියම වී පසුව නිවැරදිකරුවන් බවට පත් වන අයගෙන් 70%ක් දෙනාට එසේ සිදුවී තිබෙන්නේ නිලධාරීන්ගේ වැරදි හැසිරීම්, බොරු දිවුරුම් හෙවත් අසත්‍ය සාක්ෂි සහ ව්‍යාජ චෝදනා නිසා කළු ජාතිකයන්ගෙන් 70.7%ක්ද, ලැටිනෝ (ස්පාඤ්ඤ) සම්භවයක් සහිත වූවන්ගෙන් 93.8%ක්ද මෙසේ අගතියට පත් වෙති.
1970 දශකයේ පටන් මේ දක්වා මරණ දණ්ඩනයට නියම වූවන් ගේ තොරතුරු එක්රැස් කිරීමෙන් අනතුරුව DPIC පෙන්වා දෙන්නේ එයින් 185 දෙනෙකු අහිංසකයන් බවයි! එනම් පසු නඩු විභාගවලදී ඔවුන් අහිංසකයන් බව තහවුරු වී ඇත. ඒ අතර සුදු ජාතිකයන් 66 දෙනක්, එක් සුදු ජාතික කාන්තාවක්, ස්පාඤ්ඤ ජාතිකයන් 16 ක්, වූ අතර, කළු ජාතික ගැහැණු හා පිරිමි සංඛ්‍යාව 97 ක් තරම් ඉහළ විය.
මෙසේ තමන් නොකළ අපරාධවලට ඉහළම දඬුවම වූ මරණ දණ්ඩනයෙන් වන්දි ගෙවීමට නියම වන මිනිසුන් පෙන්වා දෙන්නේ, ඇමරිකාව වැනි දියුණු රටක පවා අපරාධ යුක්තික පද්ධතිය කොතරම් පිරිහී ඇත්ද යන්නයි.
අද සමන්තා සබ්රි 50 හැවිරිදි ය. ‘‘මට සිද්ධ වුණු දේ වෙන කෙනෙකුට වෙන්න දෙන්න හොඳ නෑ. මම මගේ ඉතිරි මුළු ජීවිත කාලයම මේ වෙනුවෙන් සටන් කරන්න වැය කරනවා..‘‘ යැයි ඇය පවසන්නීය.
සමන්තා සබ්රි අද
2020 ඔක්තෝබර් මැද වන විට ඇමරිකානුවෝ 2500 ක් පෝරකය අබියස සිටියහ. එයින් 1062 ක් කළු ජාතිකයන් ය. ආසියානුවන් ගණන 47 කි.
නීති විශාරදයන්ට අනුව මරණ දණ්ඩනයේ ඇති විශාලතම ගැටළුව එහි සාධාරණත්වයයි. මිනිසෙකු කළ ලොකුම වරදකට මරණ දණ්ඩනයෙන් දඬුවම් කළ යුතු බවට තර්කයක් ඇති නමුත්, එහිදී මිනිසෙකුගේ ජීවිතය උදුරාගෙන මනුෂ්‍යත්වයට සහ සමාජයට එරෙහිව ලොකුම වරද නැවත වරක් සිදුකරන්නේ නොවේද?
මරණය එන තෙක් බලා සිටීම, මරණ දණ්ඩනය ලබාදීම මෙන් 10,000 ක් අසීරු දඬුවමකි. එසේ කියන්නේ මරණ දණ්ඩනයේ ඇති අයුක්ති සහගත බව පිළිබඳ හඬ අවදි කරන සාක්ෂිකරුවන්ගේ නිරවද්‍යබව පිළිබඳ සංවිධානයක (Witness to Innocence) ප්‍රධානියා වන ක්වාමේ අජාමු ය. ඔහුද සාවද්‍ය ලෙස මරණ දණ්ඩනයට නියම වූවෙකි. ඔහුගේ සහෝදරයා ද චූදිතයන් අතර විය. මරණ දණ්ඩනයට ලක් වී පළමු දිනයේදී ඔහුට සිර මැදිරියේ විදුලි බල්බය රාත්‍රී 11 න් පසුව ද දල්වා තබන ලෙස නියම කෙරිණි. පසුව ඔහු අයත් වූ ඔහායෝ ජනපදය, 1978 වසරේදී මරණ දණ්ඩනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට නිගමනය කිරීමත් සමග ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ඔහුට හිමි විය. වසර 27 ක්, එනම් ජීවිතයේ හොඳම කාලය ඔහු ගත කළේ සිර මැදිරිය තුළ ය. ඒ කාලය තුළ ඔහු ඉස්ලාමය වැළඳ ගත්තේය .නම වෙනස් කර ගත්තේය. අධයාපනය ලබා පරිපාලන ලිපිකරුවෙකු බවට පත්විය. නිදහස උදෙසා සටන් වදින මේ අරගල සමය තුළ ඔහු ළඟම ඥාතීන් 8 දෙනෙකුගේ මරණයන් දුටුවේය. ඔහුගේ මව, වැඩිමල් සොයුරිය ද ඒ අතර විය. 2003 වසරේදී නිදහස ලැබීමට මාස 2කට පෙර ඔහුගේ තවත් සොයුරෙක් මිය ගියේය.
අජාමු මිනීමරුවා යැයි අධිකරණය තීන්දු කර තිබුණේ වයස 12 ක පිරිමි ළමයෙකු ලබාදුන් ඇසින් දුටු සාක්ෂියක් නිසා ය. නමුත් එය සාවද්‍ය බව පසුව හෙළි විය.
සිය මැතිවරණ ව්‍යාපාරයේදී ජෝ බයිඩන්, ඇමරිකාවේ අපරාධ යුක්තික ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන බවට පොරොන්දු විය. “Eliminating Racial Disparities and Ensuring Fair Sentences” ප්‍රතිපත්තිය යටතේ වාර්ගික විෂමතාවයන් දුරැලීමට ඔහු පොරොන්දු වී සිටියි. ඇමරිකාවේ මරණ දණ්ඩනය අහෝසි කිරීම ඔහුගේ ප්‍රමුඛතම පොරොන්දුවකි. දැන් ඒ පොරොන්දුව මතක් කර දීමට කාලයයි.
ට්‍රම්ප්ගේ ධුර කාලයේ අවසාන භාගයේදී සියල්ල නිර්ලජ්ජිත සහ සාහසික ලෙස තවදුරටත් නරක අතට හැරුණේය. එවකට නීතිපති විලියම් බාර් වසර 16කට පසුව ඇමරිකාවේ මරණ දණ්ඩනය නැවත ක්‍රියාත්මක වන බව 2019 අග භාගයේ නිවේදනය කළේය. ට්‍රම්ප් ඉදිරියටම ගියේය. අවසාන මාස කිහිපය තුළදී ලැයිස්තුවේ සිටි අන්දමින් මාරක එන්නත් මගින් පිරිමින් 12 දෙනෙක් සහ එක් කාන්තාවක් මරණ දණ්ඩනයට ලක් කෙරිණි. එම කාන්තාව නම්, මහත් මතභේදයට තුඩු දුන්, මානසික ව දුර්වල තත්වයක පසු වූ ලීසා මොන්ටිගෝමරි ය.
ට්‍රම්ප් මෙය නතර කළේ බයිඩන් ගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයකට පෙර ය.
ඇමරිකානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව, ලංකාවේ මෙන්ම, මරණ දණ්ඩනයට නියම වී සිටින ඕනෑම කෙනෙකුට ජනාධිපති සමාව ලබාදීමට ඇමරිකානු ජනපතිවරයාට පුළුවන. නමුත් මරණ දණ්ඩන අහෝසි කිරීමේ ප්‍රතිඥාව ගැන බයිඩන්ගේ පාර්ශවයෙන් තවමත් කිසිදු යාවත්කාලීන තොරතුරක් නැත.
ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව මේ මොහොතේත් රට පුරා මරණ දණ්ඩනය නියම වී ඇති අයගේ නීතිමය කටයුතු සිදුකරමින් සිටිති.
ඇමරිකානුවන්ට මැතිවරණ සමයේදී දේශපාලකයන් දුන් පොරොන්දු ගැන හොඳ මතකයක් තිබේ. දියුණු රටක ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණ පොරොන්දු යනු, පාලකයා සහ පුරවැසියා අතර ඇති සම්මුතියේ වැදගත් කොටසකි. එනිසා ඔවුහු දැන් මෙසේ අසති.
‘‘බයිඩන්, ඔබ කොහිද?“
Photos: CNN
පෙර ලිපිය
වසර 16කට පසු නැවතත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ගේ අනුමැතිය
වසර 16කට පසු නැවතත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ගේ අනුමැතිය