×

බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයක ආගමික ගැටුම්

පසුගිය සතියේ බංගලාදේශයේ ප්‍රදේශ කිහිපයක, හින්දු බැතිමතුන් ඉලක්ක කරගනිමන් ක්‍රියාත්මක වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ උණුසුම සම්පූර්ණයෙන් ම පහව ගොස් නොමැත.


එරට කොමිලා නගරයේ වාර්ෂික හින්දු ආගමික උත්සවය වන දුර්ගා පූජාව සඳහා පිහිටුවා ඇති විශේෂ මණ්ඩපයකදී අල් කුරානයට අපහාස කළ බවට කටකතාවක් පැතිර යාම මීට හේතුවයි.

මෙම කටකතාව සමාජ මාධ්‍ය තුළ පැතිර ගොස් පැය කිහිපයක් තුළදී, මුස්ලිම් මූලධර්මවාදීන් සිය ගණනක් කොමිලා හි හින්දු ආගමික මණ්ඩප ඉලක්ක කර ගනිමින් ප්‍රචන්ඩ ප්‍රහාරයක් දියත් කර තිබේ. මෙම ප්‍රචණ්ඩත්වය බංග්ලාදේශයේ අනෙකුත් ප්‍රදේශවලට පැතිර ගියේය. හින්දු දේවාල කිහිපයකට අලාභ හානි සිදු කර ඇති අතර, හින්දු සුළුතරයේ නිවාස සහ ව්‍යාපාර සිය ගණනක් ගිනිබත් කර තිබේ.

දින කිහිපයක් පුරා පැතිරුනු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හින්දු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය ස්ථාන කිහිපයකදී වෙඩි තබා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

බංග්ලාදේශයේ මිලියන 165කට වැඩි ජනගහනයෙන් හින්දු භක්තිකයන් සිටින්නේ 9% කට වඩා අඩු ප්‍රමාණයකි. පසුගිය කාලය තුළ සුළුතර ආගමිකයින්ට පහර දීම් කිහිපයක් සිදු වූවත්, එරට ඉතිහාසයේ සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩත්වය මෙය බවයි වාර්තා වන්නේ. එක් අවස්ථාවකදී ප්‍රචන්ඩත්වය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 22ක ආරක්ෂක හමුදා යෙදවීමට රජයට සිදු විය.

ප්‍රචණ්ඩත්වය ආරම්භ වී සතියකට පමණ පසු, හින්දු භක්තිකයන් ඉස්ලාමීය ශුද්ධස්ථානයන් අපකීර්තියට පත් කරන බවට චෝදනා කරන ලද තවත් සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් උතුරු බංග්ලාදේශයේ හින්දු නිවාස දුසිම් ගණනක් ගිනිබත් කරන්නට විය.

ඉස්ලාමීය ව්‍යාපාරවල නායකයින් පවසා ඇත්තේ තමන් සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට දැඩිව විරුද්ධ බවයි. හින්දු ප්‍රජා නායකයින් පවසන්නේ ඔවුන්ගේ ජනගහනය 1947 දී 30% සිට 9% දක්වා අඩු වී ඇති බවයි. මින් වැඩි දෙනෙක් පලා ගොස් ඇත්තේ අසල්වැසි ඉන්දියාවට ය.

1971 දී, එවකට නැගෙනහිර පකිස්ථානය වූ බංග්ලාදේශය, ලේ වැකි යුද්ධයකින් පසු පකිස්ථානයෙන් නිදහස ලබා ගත්තේය. බංග්ලාදේශයේ නිදහස් යුද්ධයට සහය දැක්වීම සඳහා ඉන්දියාව සිය හමුදාව යොදවන්නට විය.

බීබීසී වෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි