×

බයිඩන්ගේ කැබිනට් මණ්ඩලය : මිණිබිරිය උකුලේ හොවාගෙන පැරිස් සම්මුතිය අත්සන් කළ ජෝන් කෙරීට පරිසරය, බුද්ධි අංශය කාන්තාවකට

ඇමරිකාවේ 46 වැනි ජනපතිවරයා ලෙස දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින ජෝ බයිඩන් විසින් සිය කැබිනට් මණ්ඩලය නම් කිරීම ආරම්භ කර ඇති අතර, එදා ඔබාමා පාලන සමයේදී සිය මිණිබිරිය උකුළේ හොවාගෙන පැරිස් සම්මුතිය අත්සන් කළ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ‘‘පරිසරය පිළිබඳ විශේෂ ජනාධිපති නියෝජිතවරයා‘‘ වශයෙන් නම් කර තිබේ.


මේ අනුව පරිසර සංරක්ෂණය භාරදීමට බයිඩන් විසින් හොඳම සුදුස්සා තෝරාගෙන ඇති බව පෙනී යයි.

ඇමරිකාවේ දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර සඳහා ඉතිහාසයේ ලැටිනෝ ඇමරිකානු සම්භවයක් සහිත අයෙකු පත් කිරීමට ද බයිඩන් කටයුතු කර තිබේ. එම තනතුර හිමි වී තිබෙන්නේ පළපුරුදු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු වූ අලහේන්ද්‍රෝ මයොර්කස් වෙත ය. ඔහු කියුබාවේ උපන් අයෙකු වීම ද විශේෂ ලක්ෂණයකි.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය තුළ මෙක්සිකානු දේශසීමා කටයුතු මර්දනය ඇතුළු ඉතා දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තියක් අනුගමනය කළ ආරක්ෂක දෙපාර්තමේන්තුව නැවත ප්‍රජාතාන්ත්‍රික මගකට ගැනීම ඔහුට භාර වේ.

බුද්ධි අංශයේ මුල් පුටුව කාන්තාවකට

ඔබාමා පාලන සමයේ CIA හි හිටපු ප්‍රධාන චරිතයක් සහ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක උපදේශිකාව වූ ඇව්රිල් හයින්ස් (Avril Haines) හට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුල් පුටුව භාර වී තිබේ.

ජගත් සංවිධානයේ තානාපති ධුරය කළු ජාතික කාන්තාවකට

දැනට සිදුකෙරෙමින් පවතින නම්කිරීම් අතරින් ජගත් සංවිධාන සඳහා ඇමරිකානු තානාපතිනිය වශයෙන් පත් කර තිබෙන්නේ ලින්ඩා තෝමස් ග්‍රීන්ෆීල්ඩ් (Linda Thomas- Greenfield) ය.

කළු ජාතික කාන්තාවක වන ඇය, පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. 2013 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප්‍රිකානු කටයුතු පිළිබඳ සහාය ලේකම්වරිය ලෙස ඇය කටයුතු කර තිබේ.

‘‘ලෝකය වඩා යහපත් තැනක් කිරීම සඳහා කරුණාවන්ත කම හා සානුකම්පිත බවෙන් යුතුව නායකත්වය ගැනීම ගැන මට මගේ මව උගන්වා තිබෙනවා‘‘ යැයි සිය නාමයෝජනාව පිළිබඳ අදහස් දක්වමින් ඇය ට්විටර් සටහනක් තබා තිබිණි.

විවිධත්වයෙන් සපිරි කැබිනට් මණ්ඩලයක ලකුණු

මෙවර බයිඩන් අනුගමනය කරමින් සිටින්නේ ‘විවිධත්වය සපිරි කැබිනට් මණ්ඩලය‘ යන දියුණු සංකල්පය බව පැහැදිලි ය. ‘‘මේ අය සමාන ලෙස අත්දැකීම් සහිත, අර්බුද සමයන්හිදී සිය කැපවීම සහ හසල දැනුම පෙන්නුම් කළ අයයි. ඒ සියල්ලටමත් වඩා, මේ නව නිමේෂයේදී පැරණි සිතිවිලිවලින් වෙනසක් කළ නොහැකි බව වටහාගත් අයයි‘‘ යනුවෙන් බයිඩන් පවසයි.

උප ජනපතිනී කමලා හැරිස් ඇතුළුව දැනට බයිඩන්ගේ කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් තිදෙනෙකු සිටිති.

මෙම නාමයෝජනාවන් සෙනෙට් සභාව විසින් අනුමත කිරීමෙන් පසුව තහවුරු වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි