×

බයිඩන් පැරිස් දේශගුණික සම්මුතිය සමග නැවත එක්වෙයි – තාප්පය නතර වෙයි – මුස්ලිම් තහනමත් ඉවතට!

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇමරිකාවේ නව ජනපති ජෝ බයිඩන් පළමු පැය කිහිපය වෙන් කළේ ට්‍රම්ප් පරිපාලනය විසින් ගෙන තිබූ අගතිගාමී තීරණ සහ ප්‍රතිපත්ති ගණනාවක් නිවැරදි කිරීම සඳහා ය.


ඕවල් කාර්යාලයේ අසුන් ගනිමින් බයිඩන් වාර්තාකරුවන් අමතා පැවසුවේ ‘‘නාස්ති කරන්න කාලයක් නැහැ‘‘ යනුවෙනි.

ඒ අනුව බයිඩන් විධායක නියෝග 15 ක් පමණ අත්සන් කළේය.

කෝවිඩ් -19 වසංගතය මර්දනය

ඇමරිකානුවන් ලක්ෂ 4 කට වඩා මරා දැමූ කෝවිඩ් වසංගතය මර්දනය සඳහා ඔහු වැදගත් තීරණ රැසක් ක්‍රියාවට නැංවීය. ඒ අනුව වසංගතයට ‘ජාතික ප්‍රතිචාරයක්‘ දැක්වීම පිණිස ඔහු ජාතික සම්බන්ධීකාරකවරයෙක් පත් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග දිගටම

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඇමරිකාව ඉවත් වන බවට ට්‍රම්ප් විසින් ගෙන තිබූ නිර්දය තීරණය ද අහෝසි කරනු ලැබීය. ඒ අනුව වෛද්‍ය ඇන්තනී ෆවුසි,ආසාත්මිකතා සහ ආසාදන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා දැනට පැවැත්වෙමින් තිබෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩල රැස්වීමට සහභාගි වනු ඇති බව ද බයිඩන් පැවසීය.

පැරිස් සම්මුතියට ඇමරිකාව නැවත එකඟ වෙයි

ඇමරිකාව නැවත වරක් පැරිස් සම්මුතියේ පාර්ශවකරුවෙකු බවට පත් වන බව ද ජෝ බයිඩන් ජනපතිවරයා පැවසුවේය. මෙම තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී දින 30 කට පසුව බලාත්මක වීම ඇරඹෙනු ඇත.

2020 නොවැම්බරයේදී ඇමරිකාව, පැරිස් සම්මුතියෙන් ඉවත් වූ ලොව පළමු රට බවට පත් විය. පාරිසරික සහ මානව හිමිකම් කණ්ඩායම්වල දැඩි විරෝධයට හේතු වූ මෙම ට්‍රම්ප්වාදී තීරණය නිසා ඇමරිකාව සහ යුරෝපය අතර ද විරසකයක් නිර්මාණය වී තිබිණි.

‘මුස්ලිම් තහනම‘ ඉවතට

2017 වසරේදි මුස්ලිම් බහුතරය සිටින රටවල් 7 ක ජනතාවට ඇමරිකාවට පැමිණීම තහනම් කරමින් ට්‍රම්ප් විසින් නිකුත් කළ විධායක නියෝගය ආපස්සට හැරවීම ද ඊයේ දිනයේ සිදුවිය. මෙය මීට පෙර අධිකරණ ගණනාවක් විසින් ද අභියෝගයට ලක් කර තිබිණි. අවසානයේ 2018 වසරේදී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණේ ට්‍රම්ප්ගේ තීරණය නිවැරදි බව ය.

ධවල මන්දිරයේ නව මාධ්‍ය ලේකම් ලෙස පත් වී සිටින ජෙන් සාකි (Jen Psaki) පැවසුවේ ‘ආගමික ද්වේශය සහ ක්සීනොෆෝබියාව (විදේශිකයන් කෙරෙහි දක්වන භීතිකාව) විසින් දේශපාලනික ලෙස මුල් ගැන්වූ මුස්ලිම් තහනම ජනපතිවරයා විසින් ඉවත් කළ බව‘ යි.

ඇමරිකානු – ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලය මෙම තීරණයට ප්‍රශංසා කරමින් කියා සිටියේ මෙය මුස්ලිම් විරෝධී සහ සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තිය අවසන් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් බවයි.

“100 Days Masking Challenge”

සියලු ෆෙඩරල් ගොඩනැගිලිවල පළමු දින 100 තුළ මාස්ක් පැළඳ සිටීමේ වැඩපිළිවෙළක් ද බයිඩන් දියත් කළේය. එය හැඳින්වෙන්නේ “100 Days Masking Challenge” යනුවෙනි. තවද මෙම මුල් දින 100 තුළ කෝවිඩ්19 වැක්සින මිලියන 100 ක් ජනතාව වෙත ලබාදීම ද ඔහුගේ ඉලක්කයකි.

ට්‍රම්ප්ගේ තාප්පය නතර වෙයි

ඇමරිකානු-මෙක්සිකෝ දේශසීමාවේ සිදුවූ තාප්පය ඉදිකිරීමේ කටයුතු ‘වහාම‘ නතර කිරීමට ද බයිඩන් නියම කළේය. ට්‍රම්ප් 2016 ප්‍රචාරණ කටයුතුවලදී පැවසුවේ ‘‘ලේඛන නොමැති අනවසර සංක්‍රමණියන් රටට ඇතුල්වීම, මෙම ‘ලස්සන‘ සහ ‘ලොකු‘තාප්පය නිසා නතර වනු ඇති බවයි.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි