×

බ්‍රිතාන්‍ය අගමැතිනියට විරුද්ධව විශ්වාස භංගයක්

බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හට විරුද්ධව විපක්ෂය හෙවත් කම්කරු(ලේබර්) පක්ෂය විසින් විශ්වාස භංග යෝජ්නාවක් සභාගත කර තිබේ.


එය රජය පෙරළා දැමීම සඳහා නොව, තෙරේසා මේ බලයෙන් ඉවත් කිරීම අරමුණු කරගෙන ගෙන ආ එකක් වන නමුත් ආණ්ඩුව අස්ථාවර වීමේ විශාල අවදානමක් මේ නිසා පැන නැගී ඇත.

තෙරේසා මේ විසින්, බ්‍රෙක්සිට් පිළිබඳ ඡන්ද විමසීම ජනවාරි 14 වැනිදාට පෙර නොපැවැත්වෙන බව පැවසීමත් සමග ඔහු විසින් මෙය සිදුකර තිබේ.

තවත් මාසයක් මෙම ඡන්ද විමසීම සඳහා කල් ගැනීම පිළිගත නොහැකි බව කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් පවසයි.

මෙම බ්‍රෙක්සිට් ඡන්ද විමසීම තෙරේසා මේ විසින් පමා කරමින් සිටියේ පසුගිය සතියේ පටන් ය. මේ කාලයේ මෙය ඉදිරිපත් කළහොත් තමන් පරාජය වනු ඇති බවත් ඇය පිළිගෙන තිබිණි.

ජෙරමි කෝබින් පවසන්නේ, තවත් මාසයක් කල් ගැනීම මගින් එක්සත් රාජධානිය ‘ජාතික අර්බුදයක්‘ කරා තෙරේසා මේ විසින් ඇද දමන බවයි.

මේ අතර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, රජය පෙරළා දැමීම අදහස් නොවුණද, මෙම විශ්වාස භංගයට පක්ෂව බහුතර ඡන්ද ලැබුණහොත් එමගින් මහා බ්‍රිතාන්‍යයට නියමිත කාලයට පෙර මහා මැතිවරණයක් වෙත යාමට සිදුවනු ඇති බවයි.

2016 දී ලැබුණු බ්‍රෙක්සිට් ජනවරමට අනුව මහා බ්‍රිතාන්‍යය 2019 මාර්තු 29 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වී යා යුතුය. නමුත් ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පමණක් නොව යුරෝපා පාර්ලිමේන්තුවේ ද අනුමැතිය ලබාගත යුතුව තිබේ.

මීට පෙර මෙම බ්‍රෙක්සිට් අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිනියට සිය පක්ෂයේ නායකත්වය අහිමි වීමේ අවදානමක් ද ඇති වූයේ පක්ෂය තුළින් විශ්වාස භංගයක් පැන නැගීම නිසා ය. එයින් 200:117 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුව ඇය කෙළින්ම බෙල්ජියමේ බ්‍රසල්ස් බලා ගියේ බ්‍රසල්ස් නායකයන් සමග නීත්‍යානුකූල එකඟතාවයකට බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් එළඹීම සඳහා ය. කෙසේ නමුත් ජෙරමි කෝබින් විපක්ෂ නායකයා පවසා තිබෙන්නේ ඇය සිය රට තුළ තිබෙන ප්‍රධාන ඡන්ද විමසීම මග හරිමින් දෙසැම්බර් 11 වැනිදා සිට තවත් මාසයක් කාලය අපතේ හරින බවයි.

මේ අතර ස්කොටිෂ් නැෂනල් පක්ෂයේ (SNP) නායක නිකොලා ස්ටර්ජන් ද, ජෙරමි කෝබින් විසින් එක්සත් රාජධානිය දේශපාලනික වශයෙන් අස්ථාවර කිරීමට ගන්නා උත්සාහය විවේචනය කර තිබේ.

පෙර ලිපි-

තෙරේසා මේ පක්ෂයේ විශ්වාසය දිනයි, නමුත් තවත් විශ්වාසභංගයක් ඇය ඉදිරියේ

බ්‍රිතාන්‍යය ජරාවාස කිරීම හෙවත් බ්‍රෙක්සිට් පෙන්වා ගෙදර යාම



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි