×

බ්‍රිතාන්‍ය මහ රැජින 73 වැනි විවාහ සංවත්සරය සමරයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින, ඊයේ දිනයේ සිය සැමියා වන ෆිලිප් කුමරු සමග සැමරුවේ සිය විවාහයේ 73 වැනි සංවත්සරයයි.


ඒ වෙනුවෙන් ඔවුන්ට මෙවර ලැබී ඇති සුවිශේෂීම ත්‍යාගය වූයේ මුණුබුරු මිණිපිරියන් විසින් අතෙන් සාදන ලද සංවත්සර කාඩ්පතකි. එහි පුංචි ජෝර්ජ් කුමරු, චාලට් කුමරු සහ ලුයිස් කුමරුගේ ආදරය ගැබ්ව තිබේ. මේ අතර ඔවුන් දෙපළ විසින් ද සිය සංවත්සරය වෙනුවෙන් ත්‍යාගයක් දී ඇත. ඒ, ‘මීට පෙර දැක නැති‘ යැයි මාධ්‍ය විසින් සඳහන් කරන ඡායාරූපයකි. මේ ලිපියේ ප්‍රධාන ඡායාරූපය ලෙස පළවන එයින් දැක්වෙන්නේ සිය මුණුබුරන් විසින් එවන ලද එම සුබපැතුම් පත මහරැජින සහ කුමරු විසින් මාළිගයේ සිට විවර කරන බලන ආකාරයයි.

https://www.instagram.com/p/CHydDgpnJW9/?utm_source=ig_embed

මහ රැජින සහ ෆිලිප් කුමරු එකිනෙකා මුලින්ම හමු වන විට ෆිලිප් කුමරු 18 හැවිරිදි වූ අතර, දෙවැනි එලිසබෙත්ගේ වයස 13 ක් පමණක් විය. ඔවුන් මුණ ගැසී තිබෙන්නේ ද මංගල උත්සවයකදී ය. පසුව විවාහ ගිවිස ගන්නා විට ඇය 21 හැවිරිදි වූ අතර, ඔහු 26 හැවිරිදි විය. විවාහයෙන් පසුව ‘ඩියුක් හි ආදිපාදවරයා‘ යැයි නම් ලද ෆිලිප් කුමරු සමග ඇය විවාපත් වුණේ 1947 වසරේ නොවැම්බර් 20 වැනිදා ය.

ඔවුන්ගේ විවාහයේ ‘දියමන්ති ජුබිලිය‘ හෙවත් 60 වසරක් සපිරීම මේ යුවළ විසින් සමරා තිබුණේ ඔවුන් විසින් මධුසමය ගත කළ ස්ථානයේදී බව එකල වාර්තා විය.

60 වැනි විවාහ සංවත්සරය (දියමන්ති ජුබිලිය) දා

සිය විවාහය ගැන ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ කතා කරන්නේ කලාතුරකිනි. නමුත් විවාහයේ 50 වැනි සංවත්සරය යෙදී තිබූ දා ෆිලිප් කුමරු, ‘සබඳතාවයක දරාගැනීමේ වැදගත්කම‘ ගැන කතා කළේය.

‘‘අවුරුදු 50 ක අත්දැකීම්වලින් පස්සෙ ඒ ගැන අවවාදයක් දෙන්නට හැකි බව මම තේරුම්ගෙන තිබෙනවා. ප්‍රශ්නය වන්නේ කිසිම විවාහයන් දෙකක් එක හා සමාන නැහැ. කොහොම වුණත් මම හිතන විදිහට අපි ඉගෙන ගත් ප්‍රධාන පාඩම වන්නේ, ඕනෑම ප්‍රීතිමත් විවාහයක එක අත්‍යාවශ්‍ය සංඝටකයක් වන්නේ ඉවසීම/දරාගැනීම බවයි..‘‘

එහිදී කුමරු තවදුරටත් පැවසුවේ, සියල්ල හොඳින් සිදුවන සතුටුදායක කාලවලදී එය බලනොපාන නමුත්, දුෂ්කර අවස්ථාවලදී එය ඉතාම වැදගත් බවයි.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් එළඹ තිබෙන අසීරුතා මධ්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජින සිය 94වැනි උපන් දිනය සැමරුවේ ද ලොක්ඩවුන් තත්වයේදී ය. මෙවර ඔවුහු සිය විවාහ සංවත්සරය ද හුදෙකලාව සමරති. බකිංහැම් මාළිගය විසින් මේ වසරේ පවත්වන්නට නියමිත ව තිබූ සියලු විශාල උත්සව අත්හිටුවා තිබේ.

ලෝකයේ දීර්ඝතම කාලයක් සිහසුනේ සිටින රැජින සමග, ගිනස් වාර්තා ගණනාවකම හිමිකාරියක සමග නොව, තෝරාගත් ඕනෑම අයෙකු සමග 73 වසරක් එකට වාසය කිරීම ඉතා ලෙහෙසි දෙයක් නොවිය යුතුය. එය අසීරු, වෙහෙස දනවන දෙයක් විය හැකිය. නමුත් නාම මාත්‍රික බවට ඌන වූ රාජකීයත්වයක් සමග, දරුවන්ගේ නොයෙක් හැලහැප්පීම් සමග ගනුදෙනු කරමින් වසර 73 ක් තිස්සේ ඔවුන් එක්ව වාසය කිරීම කතා කළ යුතු දෙයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි