×

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයට නව නායකයෙක්!

බ්‍රිතාන්‍ය දේශපාලනයේ හැඩතල ද කොරෝනා වසංගතයෙන් වෙනස් වෙමින් තිබෙන බව සපථ කරමින් අද දිනයේ ලේබර් පක්ෂයට නව නායකයෙකු තෝරා පත්කර ගැනිණි.


ඔහු, මානව හිමිකම් සහ අපරාධ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු කෙයර් ස්ටාමර් (Keir Starmer) ය. ඔහු මේ අනුව ලේබර් නායක ජෙරමි කෝබින් ගේ අනුප්‍රාප්තිකයා ය.

හිටපු ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් | BBC

මෙයට මාස හතරකට පෙර පැවති මැතිවරණයේදී ලේබර් පක්ෂය පරාජය ලැබීමෙන් අනතුරුව නායකත්වය අර්බුදයකට මුහුණ දුන් ජෙරමි කෝබින් සැලකුණේ වඩාත් ‘වමට බර‘ නායකයෙකු ලෙස ය. නමුත් කෙයර් ස්ටාමර් සැලකනේනේ මධ්‍යස්ථ සමාජවාදියෙකු ලෙස ය.

490,000 ක් දෙනා සහභාගි වූ ඡන්ද විමසීමේදී කෙයර් එහිදී 56%ක ඡන්ද ප්‍රමාණයක් පළමු වටයේදීම ලබාගත්තේය. ඡන්දය පළ කිරීමට සුදුසුකම් ලැබුවේ ලේබර් පක්ෂ සාමාජිකයන්, ලියාපදිංචි ලේබර් ආධාරකරුවන් සහ වෘත්තීය සමිති ය. ඔහුගේ ප්‍රතිවාදිනිය වූ උග්‍ර වාමාංශික කෝබි හිතවාදී රෙබෙකා ලේන්ග්-බෙයිලි ලබාගැනීමට සමත් වූයේ එයින් හරි අඩක්, එනම් 28%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

මේ අනුව 57 හැවිරිදි කෙයර් ස්ටාමර්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇත. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ව ප්‍රශ්න කිරීමේ කටයුත්තේ පෙරමුණ ගනු ඇත්තේ ඔහු ය.

මානව හිමිකම් නීතීඥවරයෙකු වන කෙයර් ස්ටාමර්, ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීති උපාධිධාරියෙකි. වෝහාරික ඇසක් සහිත විවාද ශූරයෙකු ලෙස ඔහු කීර්තියක් උසුළයි. එනිසා ඔහු පැහැදිලිවම බොරිස් ජොන්සන් මෙන් කවටකම් කරන්නෙක් හෝ පුරසාරම් දොඩවන්නෙක් නොවේ. යමක් මනා ලෙස සාරාංශගත කර ඉලක්කයට කතා කළ හැකි අයෙකු ලෙස නව ලේබර් පක්ෂ නායකයා ප්‍රකට ය.

2004 වසරේදී කෙයර් ස්ටාමර් මහ රැජිනගෙන් නයිට් පදවිය ලබා ‘ශ්‍රීමත් කෙයර්‘ බවට පත්වූයේ ‘නීතිය හා අපරාධ යුක්තිය වෙනුවෙන් කළ සේවය‘ හේතුවෙනි.

කොරෝනා සටනට නව ජවයක්?

මරණ 4,313 ක් සහ ආසාදිතයන් 41,903 ක් සමග ඉතාලිය ද පසු කරමින් සිටින මහා බ්‍රිතාන්‍යය මේ වන විට මරණයේ දේශයක් බවට පත්වෙමින් තිබේ. එසේ වන්නේ ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය වන බ්‍රිතාන්‍යයේ NHS පවා නිරුත්තර කරමිනි. අගමැති බොරිස් ජොන්සන් තත්වය ඔඩු දුවන තෙක් ආරම්භක ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කිරීම සහ රැපිඩ් පරීක්ෂා නිසි පරිදි සුබල නොකිරීම සම්බන්ධයෙන් දැනටමත් දැඩි විවේචනයකට ලක්ව තිබේ.

අතීතයේ පටන්ම NHS, ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය ලෙස ආරක්ෂා වී තිබීමේ ගෞරවය ද ඓතිහාසික ලෙස හිමිවන්නේ ලේබර් පක්ෂයට ය. 1948 වසරේදී වෙල්ෂ් ලේබර් පක්ෂයේ ප්‍රබලයෙකු වූ (එවකට සෞඛ්‍ය ඇමති) අනෙයුරින් බෙවන් (Aneurin Bevan) ගේ මූලිකත්වයෙන්, මහජන බදු මුදල්වලින් කළමනාකරණය වන සෞඛ්‍ය සේවාවක් ලෙස NHS ස්ථාපිත කරන්නට පුරෝගාමී වූයේ ද ලේබර් පක්ෂයයි. මුදල් ගෙවීමේ හැකියාව කුමක් වුවත්, ගුණාත්මකභාවයෙන් යුතු සෞඛ්‍ය සේවයක් සඳහා මහජනතාවට අයිතියක් ඇති බව ලේබර් පක්ෂය දැඩි සේ විශ්වාස කළේය. අදටත් එය එසේම ය.

එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා අනෙයුරින් බෙවන් රෝගියෙකුගේ සුව දුක් විමසමින් – 1948

ඒ අනුව වඩාත් මධ්‍යස්ථ මතධාරියෙකු, මානව හිමිකම් ප්‍රවීණයෙකු, නීතිය හා යුක්තිය පිළිබඳ සංජානනයක් ඇති ප්‍රවීණයෙකු වෙතට බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ සුක්කානම භාර වන මොහොත දෛවෝපගත ය. ලෝකයේ භයානකම වසංගතය හේතුවෙන් රට මරණයේ දේශයක් බවට පත්වෙමින් තිබෙන යුගයක NHS සෞඛ්‍ය සේවය දැඩි සේ වෙර ගැන්විය යුතු ව තිබෙන සමයක ‘ශ්‍රීමත් කෙයර්‘ ගේ ඉදිරි වැඩපිළිවෙළ විසින් සමස්ත බ්‍රිතාන්‍යයේම දේශපාලන සිතියම අලුතෙන් ඇඳෙන්නට පවා ඉඩකඩ තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි