×

බ්‍රිතාන්‍ය සංචාරක නීති සංශෝධනය කරයි – ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් රතු ලැයිස්තුවට

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් රැසක් රතු කලාපයේ රටවල් ලෙස නම්කර ඇති අතර මීට අමතරව අප්‍රිකානු සහ ඇමරිකානු රටවල් බහුතරයක් රතු කලාපයේ රටවල් ලෙස නම්කර තිබෙනවා.


අගෝස්තු 08 වැනිදා අළුයම සිට බලපැවැත්වෙන පරිදි මහා බ්‍රිතාන්‍යයට ඇතුළු වන පුද්ගලයන් සම්බන්ධයෙන් අනුගමනය කළ නීති සංශෝධනය කර තිබෙනවා. ලොවපුරා රටවල පවතින වසංගත තත්වය පිළිබඳව සලකා බලා මෙම සංශෝධන සිදුකර තිබේ.

ඒ අනුව ලොවපුරා රටවල් කොල, කහ, රතු ලෙස ‍කාණ්ඩ තුනකට වර්ගීකරණය කර ඇති අතර රතු කාණ්ඩ‍යේ රටවල් සමග ගුවන් ගමන් සබඳතා හැකිතරම් සීමා කර තිබෙනවා. රතු කාණ්ඩයේ රටවල් වෙත සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස එරට රජය සිය රටවැසියන්ට දැනුම් දී තිබෙන අතර එම රටවලින් පැමිණෙන හෝ අවසන් දින 10 ක කාලය තුළ රතු කාණ්ඩයේ රටවල සංචාරය කළ පුද්ගලයන්ගෙන් මහා බ්‍රිතාන්‍යයට ඇතුළු විය හැක්කේ බ්‍රිතාන්‍ය වැසියන්ට සහ බ්‍රිතාන්‍ය තුළ ජීවත් වීමේ හිමිකම් සහිත පුද්ගලයන්ට පමණි.

එසේ අවසර තිබෙන පුද්ගලයන් බ්‍රිතාන්‍යයට පැමිණීමට පෙර නිරෝධායනය වීම අනිවාර්ය වන අතර ‍පරීක්ෂණ දෙකකින්ම ආසාදිතයෙකු නොවන බව තහවුරු කළ යුතුය. බ්‍රිතාන්‍යයට ගොඩබැසීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වීම අනිවාර්ය වන අතර එම කාලය අතරතුර තවත් පරීක්ෂණ දෙකකට පෙනී සිටීමට සිදු වේ.

කහ කාණ්ඩයේ රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට මීට වඩා ලිහිල් ක්‍රමවේදයක් අනුගමනය කරන අතර බ්‍රිතාන්‍යයට පැමිණීමට දින තුනකට පෙර සිදු කරන කොවිඩ් පරීක්ෂණයෙන් සමත් විය යුතුය. බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසුව දින 10 ක නිවාස නිරෝධායනය ප්‍රමාණවත් වන අතර එම කාලය තුළදී පරීක්ෂණ දෙකකට පෙනී සිටිය යුතුය.

කොල කාණ්ඩයේ රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට කොවිඩ් පරීක්ෂණයට පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් වන අතර එම පරීක්ෂණයෙන් සමත් වූ පුද්ගලයන්ට සාමාන්‍ය සමාජයට නිරාවරණය වීමේ අවස්ථාව හිමි වේ.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් රැසක් රතු කලාපයේ රටවල් ලෙස නම්කර ඇති අතර මීට අමතරව අප්‍රිකානු සහ ඇමරිකානු රටවල් බහුතරයක් රතු කලාපයේ රටවල් ලෙස නම්කර තිබෙනවා. මෙම රටවල් බහුතරයක් චීන සයිනෙපාම් හා සයිනොවැක්ස් එන්නත් භාවිතා කරන රටවල් වේ. යුරෝපා රටවල් බහුතරයක් තවමත් චීන එන්නත් ප්‍රතික්ෂේප කරන අතර එම එන්නත් ලබා ගන්නා පුද්ගලයන්ට සිය රටවලට ඇතුළුවීමට අවසර ලබා දෙන්නේ නැත.

චීන එන්නත් භාවිතා කරන රටවල් රතු කලාපයට ඇතුළත් කර ඇති නමුත් චීනය කහ කලාපයේ රටක් ලෙස බ්‍රිතාන්‍ය බළධාරීන් විසින් නම්කර තිබෙනවා. තවත් රටවල් රැසක් කහ කලාපයට ඇතුළත් වේ.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ තවත් යුරෝපා රටවල් කිහිපයක් පමණක් කොල කලාපයේ රටවල් ලෙස නම්කර තිබේ. එම රටවල සිට කිසිදු බාධාවකින් තොරව මහා බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේ අවස්ථාව හිමි වේ.

තවත් තොරතුරු මෙතැනින්….



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි