×

සීනි කොලනියේ වහල් දූපත – බාබඩෝස් ලෝකයේ අලුත්ම ‘ජනරජය‘ බවට පත් වූ හැටි

වසර 396 ක බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය නිමා කරමින් බාබඩෝස් අද (30) දිනයේ ලෝකයේ අලුත්ම ජනරජය බවට පත් විය.


 ඒ අනුව ‘කැරිබියන් දූපත් සහ බාබඩෝස්‘ යනුවෙන් මෙතෙක් හැඳින්වූ බ්‍රිතාන්‍ය මහරැජිනගේ යටත්විජිතවල අවසන් නාමාවලියෙන් බාබඩෝස් ද ඉවත් වෙයි.

ඊයේ මධ්‍යම රාත්‍රී 12 කණිසමට මහරැජින නියෝජනය කරමින් පැවති ‘රෝයල් ස්ටෑන්ඩර්ඩ්‘ ධජය අඩකුඹු විය. බ්‍රිජ්ටවුන් හි වීරයන්ගේ චතුරස්‍රයේ රැස්ව සිටි මහ සෙනගක් මැද ජාතික සංස්කෘතික පදනමේ ප්‍රධාන විධායකයා, බාබඩෝස් හි ආණ්ඩුක්‍රමය වෙනස් වීමේ හෙවත් සංක්‍රාන්තියේ නිල ප්‍රකාශය කියැවීය.

අගවිනිසුරුවරයා විසින් නව ජනපතිනියක් පත් කිරීම ද සිදුවිය. ඒ අනුව සැන්ඩ්‍රා මේසන් ජනපතිනිය වශයෙන් දිවුරුම් දුන්නාය.

‘‘බාබඩෝස් ජනරජය ඇගේ මංගල ගමන දියත් කළා..‘‘ යැයි රටේ පළමු ජනපති/නිය බවට පත් වූ සැන්ඩ්‍රා මේසන් පැවසුවාය. ඇය හිටපු බාබඩෝස් ආණ්ඩුකාරිය ද වේ.

රිහානා ජාතික වීරවරියක් බවට

බාබඩෝස් අගනුවර ෂැම්බර්ලෙන් පාලම මත රැස්ව සිටි ප්‍රීති ඝෝෂා නගන ජනකාය මැද වෙඩි මුර 21 ක් පත්තු කෙරුණේ අලුත් ජාතික ගීය ගයන අතරවාරයේ ය. බාබඩෝස් හි ඉපිද ලෝකයම දික්විජය කළ සුපිරි ගායිකා සහ මෝස්තර නිර්මාණ ශිල්පිනී රිහානා ද මේ උත්සවයට පැමිණ සිටියාය.

එම උත්සවයේදී රිහානා ජාතික වීරවරියක් බවට පත් කෙරිණි.

චාල්ස් කුමරු උත්සවයේ

බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කරමින් චාල්ස් කුමරු ද උත්සවයට එක් ව සිටියේය.

‘‘අපේ අතීතයේ අඳුරුතම දවස්වල සිට සහ අපගේ ඉතිහාසය සදහටම කැළැල් කරන වහල්භාවයේ බිහිසුණු කුරිරුකමේ සිට, මෙම දිවයිනේ මිනිසුන් ඔවුන්ගේ මාවත අසාමාන්‍ය ධෛර්යයෙන් යුතුව සකස් කරගත්තා..‘‘ යැයි චාල්ස් කුමරු එහිදී පැසුවේය.

මීට පෙර බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයෙන් රටවල් ඉවත් වූයේ 1970 දශකයේදී ය. නමුත් පසුගිය වසරේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයත් සමග කළු වාර්ගිකත්වය පිළිබඳ සාකච්ඡාව උණුසුම් වූ අතර, බාබඩෝස් ද මහරැජිනගේ පුරවැසියන් බවට නොව, තමන්ගේම රටේ පුරවැසියන් බවට පත් වීමට තිබෙන අවශ්‍යතාවය අවධාරණය කළේය.

වැඩිපුරම ජනප්‍රිය හැරී කුමරු

මේ අතර, බාබඩෝස් වාර්තා පෙන්වා දෙන්නේ මෑත භාගයේ බ්‍රිතාන්‍ය මහරැජිනගේ ජනප්‍රියත්වය බෙහෙවින් පහත වැටී තිබුණු බවයි. බ්‍රිතාන්‍යය තුළ ජීවත් වන බාබඩෝස් වැසියන් සම්බන්ධයෙන් Windrush අපවාදය නමැති සිද්ධියේදී මහරැජිනගේ භූමිකාව කුමක්ද යන්න ගැන ද ප්‍රශ්න පැන නැගී තිබිණි. මෙම අපවාදය 2018 වසරේදී පැන නැගුණු දේශපාලන අපවාදයක් වූ අතර, එහිදී වැරදි සහගත ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති මිනිසුන්ගේ අයිතිය ප්‍රශ්න කෙරිණි. බාබඩෝස් හි රාජ්‍ය නායිකාව මෙන්ම බ්‍රිතාන්‍යයේ ද රාජ්‍ය නායිකාව මහ රැජින වන තත්වයක් තුළ, බ්‍රිතාන්‍ය යේදී අත්අඩංගුවට පත් වන බාබඩෝස් වැසියන් පිටුවහල් කළ හැකිද යන ගැටළුව මෙහිදී මතු විය.

ජන මත විමසුම්වලින් ද පෙනී ගොස් තිබුණේ දෙවැනි එලිසබෙත් මහරැජිනගේ ජනප්‍රියත්වය දැන් අතීතයට අයිති දෙයක් බවයි.

නමුත් හැරී කුමරු ට තවමත් බාබඩෝස් හි වැඩිම ජනප්‍රියත්වයක් හිමි වී තිබෙන බව ද එම ජනමත විමසුම්වලින් තවදුරටත් හෙළි විය.

කෙසේ නමුත් බාබඩෝස් හි ආර්ථිකයට වැඩිම සම්මාදමක් එක් කරන සංචාරක කර්මාන්තය පිළිබඳව සලකා බලන විට එහි එන සංචාරකයන්ගෙන් 1/3 ක් බ්‍රිතාන්‍ය ජාතිකයන් ය.

සීනි කොලනියේ වහල් දූපත්

1536 වසරේදී බ්‍රසීලය අල්ලා ගන්නට යන ගමනේදී පෘතුගීසීන් කැරිබියන් මුහුදේ පිහිටා තිබූ බාබඩෝස් වෙරළ තීරය හරහා ගියහ. ඔවුන් මේ දූපත් ගැන වාර්තා කළේ ‘රැවුල්කාර දූපත්‘ (“the bearded ones”) යනුවෙනි. දූපත් වල යහමින් වැඩෙන, රැවුල් මෙන් දිස්වන කරුමය මුල් සහිත නුග ගස් සමූහය එයට හේතු විය. බාබඩෝස් යන නමෙහි ස්පාඤ්ඤ තේරුම වන්නේ ද එයයි. නමුත් කිසියම් හේතුවක් නිසා පෘතුගීසීන් බාබඩෝස් ආක්‍රමණය කළේ නැත.

ලක්ෂ 3 ක පමණ ජනගහනයක් ජීවත් වන බාබඩෝස්, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් ග්‍රහණයට නතු කර ගන්නේ 1625 වසරේ ය. බ්‍රිතාන්‍ය ජනපදිකයෝ මේ දූපත් ‘සීනි කොලනියක්‘ බවට පත් කළහ. දහස් ගණන් ස්වදේශිකයන් වහලුන් බවට පත් කර ශ්‍රමය සූරාකෑම සිදුවිය.

එකල බාබඩෝස් හැඳින්වුණේ ‘සීනි සහ වහල්භාවය මත පදනම් වූ ධනවත් ආර්ථිකයක්‘ හිමි රටක් ලෙස ය. පසුව වහල් වෙළඳාම නීති විරෝධී කරන්නට බ්‍රිතාන්‍යය තුළින් පැන නැගුණු සිවිල් ව්‍යාපාරය හමුවේ 1834 වසරේදී බාබඩෝස් හි වහල්ක්‍රමය අවසන් කෙරිණි.

නිදහස ලැබීම සහ මහරැජිනගෙන් වෙන් වීම

1627 වසරේ පටන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව පැවති බාබඩෝස් වෙත 1961 වසරේදී ස්වයං පාලන බලතල ලැබිණි. 1966 වසරේදී එය පූර්ණ ස්වාධීනත්වය දිනා ගත්තේය. නමුත් බාබඩෝස් හි අග්‍රාණ්ඩුකාර (ගවනර් ජනරල්) යන පදවිය මගින් එය තවදුරටත් බ්‍රිතාන්‍යය සමග සම්බන්ධතා පවත්වාගත්තේය. බාබඩෝස් රාජ්‍ය තන්ත්‍රය තුළ බ්‍රිතාන්‍යය නියෝජනය වූයේ පෙර කී අග්‍රාණ්ඩුකාර පදවිය හරහා ය. ලංකාවේ අවසන් ආණ්ඩුකාරවරයා වූ විලියම් ගොපල්ලව ගේ ධුර කාලය 1962-1972 ට සීමා වෙයි. ඒ, 1972 ආණ්ඩුක්‍රමය සම්මත කර ගැනීමත් සමග ය. නමුත් ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයෙන් නිදහස් වී පූර්ණ ස්වාධීනත්වය ලබාගන්නේ 1948 වසරේදී ය. ඒ අනුව බාබඩෝස් හි අග්‍රාණ්ඩුකාර පදවිය, ලංකාවේ 1972 ට පෙර පැවති ආණ්ඩුකාර පදවියට කාර්යසම වේ. ඒ අනුව බාබඩෝස් ද මහරැජිනගෙන් සම්පූර්ණයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ව්‍යූහය තුළ වෙන් වූයේ නිදහස ලැබීමෙන් දශක ගණනකට පසුව ය. බාබඩෝස් හි ද තත්වය එයම ය. මේ වන විට ඔවුහු සිය රට තුළ සකස් කරගත් පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවට නංවමින් සිටිති. එය කී වතාවක් සංශෝධනය කරන්නට වේදැයි කිසිවෙකු නොදන්නේ, ලංකාව මෙන්ම එය ද සිය යටත් විජිත උරුමයන් තවදුරටත් පෝෂණය කරමින් සිටින නිසා ය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැරුණු විට දණ්ඩ නීති සංග්‍රහය ප්‍රමුඛ බොහෝ නීති, ඒ කාලයේ ‘රැජිනගේ අය‘ පාවිච්චි කළ ඒවා ය.

1966 වසරේ පටන් 2021 වසර දක්වා එහි පැවතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාජාණ්ඩුවකි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ද එහි වූයේ, තත්කාලයේ බලපැවැත්වූ වෙස්මිනිස්ටර් ක්‍රමය අනුදකිමිනි. එලිසබෙත් රැජින බාබඩෝස් හි ද රැජින විය. රාජ්‍ය නායිකාව ද වූවාය.

ලංකාව ජනරජයක් බව ප්‍රකාශයට පත් කරන්නේ 1972 වසරේදී ය. ඒ අනුව බාබඩෝස් දැන් පටන් ගන්නේ 1972 වසරේ ලංකාව සිටි තැනින්ද? එය එසේ වීමට ද බොහෝ දුරට ඉඩකඩ තිබේ. සියලු වෙඩි මුර, මල් වෙඩි, රිහානාගේ ගීත මැදින් බාබඩෝස් දැන් ජාතිකත්වයේ දුෂ්කර සහ අපැහැදිලි මාවතට අවතීර්ණ වී සිටියි. කිසිදු මගක් පහසු නැති නිසා ම, බ්‍රිතාන්‍යයෙන් සහමුලින්ම මිදීම යනු සැමරීමට කාරණයක් බව පමණක් දැනට ලියා තැබිය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි