×

බීට්ල්ස්: කවදා හෝ හිරු උදාවනු ඇත…

මිනිස් ශිෂ්ටාචාරයේ කුමන හෝ යුගයක මිනිස් උමතුව වෙනුවෙන් නමක් යෝජනා කරන්න කිව්වොත් මම එකවරම කියන්නේ බීට්ල්ස් කියල.


මිනිස් ශීෂ්ටාචාරය ගැන නිශේධනාත්මක දැක්මක් තියෙන කෙනෙක් නම් කියයි නාසිවාදය කියල. ඔව්, නාසිවාදය වගේ මිනිස් ශිෂ්ටාචාරයේ අඳුරුම යුගයක් අපි පහුකළාට පස්සේ තමයි බීට්ල්ස් අපට හමු වෙන්නේ. ලෝක යුද්ධ දෙකක් පහු කරලා, ඒවායේ වියළී නොගිය ලේ කඳුළු මතින්, අහිමිවීම් රාශියක් ඔස්සේ, මිණී කන්දක් පාමුළ, විසි වෙනි සියවසේ හරි මැද, දවල් සිහිනයක් එක්ක, දරු නැළවිල්ලක හඬින් අපිට ඇහෙනවා ‘මෙන්න හිරු නැඟෙනවා’ (Here comes the sun) කියල.

මිනිස් ශිෂ්චාරයට කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැති වෙලාවක තමයි බීට්ල්ස්ල කියන්නේ ‘මට ඔබේ අතින් අල්ලා ගන්න ඕනි’ (I want to hold your hand) කියල. ඉතින් ලෝකයේ සියලු මිනිස්සු ඒ හඬ එක්ක බැඳුණා. හැමෝටම තේරෙන සරල ම සරල ඒ පදමාලා වෙනුවෙන් මිනිස්සු උමතු උණා. ලස්සනට ඇඳ පැළඳ ගත්ත, නීට් එකට කොන්ඩේ පීරපු, ලස්සන සපත්තු දාපු, පිළිවෙලට වේදිකාවට නැගපු ඒ කොල්ලෝ හතර දෙනා වෙනුවෙන් කොච්චර නම් කෙල්ලෝ ප්‍රමාණයක් ආශාවේ සතුටු කඳුළු හෙලන්න ඇත්ද? ආත්මයේ වේදනාව නිවන බීට්ල්ස් ලා ගේ ඒ වචන මිනිස් හදවත් වල කොතරම් නින්නාද වෙන්න ඇත්ද?

මුළු බටහිර ශිෂ්ටාචාරයම පීරලා හෙව්වත් බීට්ල්ස් ඒ බටහිර ආත්මයට අරන් ආපු ධනාත්මක බලාපොරොත්තුවේ, වැළඳ ගැනීමේ ස්ත්‍රී හැඟීම වෙන කිසිම දාර්ශනිකයෙක් අරන් එන්න නැතුව ඇති. එයාල වේදිකාවේ සිංදු කිව්වා විතරක් නෙවෙයි වේදිකාවේ පල්ලෙහා ඉන්න මිනිස්සු තමන්ගේ සිංදුවට සම්බන්ද කර ගත්තා. එයාල ශාන්ත ජූඩ්ගෙන් ඉල්ලුවේ සියල්ල යහපත් අතට පත් කරන්න කියල. කරදරයක් වෙච්ච වෙලාවට මරියා මව් තුමිය ඇවිල්ලා උදව් කරයි කියල. දේවල් හොඳ අතට හැරෙයි කියල. ජීවිතය ගැන බලාපොරොත්තු තියා ගන්න කියල.

මම ළඟ තියෙන්නේ ආදරය විතරයි. ඔයා ජීවත් කරන්න මම ඒ ආදරය ඔබ වෙත දෙන්නම් කියල ඔවුන් ලයාන්විතව කිව්වා. ඉතිං ඒ කවදාවත් නොවින්ද ආදරය වෙනුවෙන් කෙල්ලෝ යටි ගිරියෙන් කෑ ගහල අන්තිමට සිහිසුන් උණා. එයාල එහෙම්මම වේදිකා ඉස්සරහා පතබෑ උනා. ආයේ නොනැඟිටින ලෙස. උන් හීනෙනුත් මිමිණුවේ ජෝන් (ලෙනන්), පෝල් (මැක්කාර්ට්නි), ජෝර්ජ් (හැරිසන්), රින්ගෝ (ස්ටා) කියල. මගේ ආදරය උණුසුම්ව තියාගෙන ඔයා වෙනුවෙන් ඉන්නවා කියල. ආදරය වෙනුවෙන් මැරෙනවා කියන එක උන්ට මහලොකු දෙයක් උනේ නැහැ.

ආදරය නොතිබ්බ, නොමිනිස් තරඟය විතරක් තිබ්බ, ඒ තරඟය නිසා මිළියන ගණනක් වලපල්ලට යවපු සමස්ත බටහිර ශිෂ්ටාචාරයට බීට්ල්ස්ලාගේ වචන ඇහුණේ වෙන ලෝකෙකින් ආපු දිව්‍ය වාක්‍ය වගේ. යේසුස්ගේ පණිවිඩය වෙනත් ඒලියන් විදියකට ඔවුන්ට ඇහෙන්න ගත්තා. බීට්ල්ස් ඒ අනුව ඔවුන්ගේ හදවතේ පතුළටම ගමන් කළා. අවිඥාණය කළඹන්න පටන් ගත්තා. ඒ අනුව ඔවුන් ආගමක් උණා. ‘බීට්ල් මේනියා’ (Beatlemania) කියන්නේ ඒ ආගමික උන්මාදයට. වන්දනාවකට. උමතු ආදරයේ වන්දනාවකට. අන්තිමට ලෝකය කිව්වා බිට්ල්ස් යේසුස්ටත් වඩා ජනප්‍රියයි කියල. ඔව්, ආදරයේ නාමයෙන් ඒක ඇත්ත.

නමුත් මේ බීට්ල්ස් කණ්ඩායම ඔවුන්ගේ තරුණ විය පහුකරමින් ටිකක් වැඩිහිටි වෙනකොට සමාජයේ ඒ ආදරයේ කඳුළු යට තිබ්බ වේදනාව දකින්න ගන්නවා. සිංදු වලින් ඒ කඳුළු නිවන්න බැරි බව ඔවුන් තේරුම් ගන්නවා. ජෝන් ලෙනන් වගේ කෙනෙක් සම්පුර්ණයෙන් වෙනත් මඟක් වෙත අවතීර්ණ වෙනවා. මොකක් හරි සාමාජීය වරදකාරී බවක් ඔවුන් වෙත ඇතුල් වෙනවා. වෙළඳ පොළ වෙන්න ඇති සමහර විට. ඒ වරදකාරී බව එක්ක ඔවුන් වෙන් වෙනවා. නමුත් ඔවුන් විසි වෙනි සියවසට ගෙනාපු බලපෑම මෙතකැයි කියන්න බැහැ. විශේෂයෙන් සමාජ දේහයේ ගැඹුරින් ම ගත්තම ඔවුන් ස්ත්‍රිය කොතරම් බලවත් ද කියල පෙන්නුවා ලෝකයේ ප්‍රථම වතාවට.

ඔවුන් අවදි කලේ ස්ත්‍රී ආත්මය. ඒ අවදි කළ ආත්මය ඔවුන් ගෙදරින් මහපාරට ගේනවා. ඔවුන් ගල්ලෙන බිඳිනවා. ලෙන් දොර අරිනවා. අඳුරු වික්ටෝරියානු ගෘහස්ත ස්ත්‍රීය වෙත ඔවුන් නිදහස් ආදරයේ පණිවිඩය ගෙන යනවා. නොනිම් ආදරය හඹා යන්න කියල පොළඹවනවා. ඔයාලගේ කඳුල අපිට තේරෙනවා කියල කියනවා. ඔයාලගේ ආත්මය ඉල්ලන ආදරය අපි ළඟ තියනවා කියනවා. අප වෙතට එන්න කියල ආරාධනා කරනවා. මෙලන්කොලියාවෙන් මිදීලා මගේ අත අල්ල ගන්න කියල කියනවා. ලෝකයේ සියළු ස්ත්‍රී ආත්මයන් ඒ පණිවිඩය එක්ක ඒකාත්මික වෙනවා. ආදරයට වඩා මිනිස් ආත්මය ඉල්ලන තව දෙයක් තියෙනවද?

මම නම් හිතන්නේ අපි කවුරුත් නොහිතන වෙලාවක කාර්මික නූතන එංගලන්තයේ ලිවර්පූල් වල ඒ ඉපදුණේ පෙරදිග ආදරය කියල. අපරිමිත ආදරයේ අර්ථයෙනුත්, ස්ත්‍රී අර්ථයෙනුත්, වේදනාව සුවපත් කිරීමේ අර්ථයෙනුත්, ගැඹුරු ආත්මීය ධනාත්මක බවේ අර්ථයෙනුත්, බීට්ල්ස් මට පෙරදිගයි. අහන අහන සිංදුවක් පාසා මට ඒක දැනෙනවා.

ඔව්, මේ හිම දියවෙනු ඇත.. කවදා හෝ හිරු උදාවනු ඇත…එතෙක් අවදියෙන් ඉන්න.

– මහේෂ් හපුගොඩගේ ෆේස්බුක් පිටුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි