×

බුර්කීනා ෆාසෝ රාජ්‍යයට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් – 105 ක් මරුට

මාලි රාජ්‍යයට යාබදව පිහිටා ඇති බුර්කීනා ෆාසෝ රාජ්‍යයේ දේශසීමා නගරයකට ජිහාඩ් ත්‍රස්තවාදීන් විසින් පහර දී තිබේ.


ගැටුම් ඇවිලී ගියේ බුර්කීනා ෆාසෝ හි අර්බින්දා නගරයේ ය.

මෙම ගැටුම්වලින් සිවිල් වැසියන් 35 දෙනෙක් සහ ජිහාඩ් සටන්කාමීන් 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය සිවිල් වැසියන්ගෙන් බහුතරය කාන්තාවන් බව ද හමුදා නිවේදනයේ දැක්වේ.

හමුදා සාමාජිකයන් සිව් දෙනෙක් පමණ ද ගැටුම්වලින් මරණයට පත්ව ඇත.

පැය කිහිපයක් තිස්සේ ගැටුම් ඇවිළී ගිය අතර, කිසිවෙකු විසින් ප්‍රහාරයේ වගකීම තවම භාරගෙන නැත.

බුර්කීනා ෆාසෝ රාජ්‍යයේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ගණනාවක් සක්‍රියව සිටිති. බුර්කීනා ෆාසෝ හි නගර ගණනාවක ජිහාඩ් සටන්කාමීන් විසින් බලය අල්ලාගෙන සිටින අතර, 2013 වසරේදී ඒ අතරින් නගර කිහිපයක් නිදහස් කර ගැනුණේ ප්‍රංශ හමුදාවේ ආධාරයෙනි.

බටහිර අප්‍රිකානු කලාපයේ පිහිටා ඇති බුර්කීනා ෆාසෝ රාජ්‍යය 2016 සහ 2017 වසරවලදී ත්‍රස්තවාදී අවදානම අධික රාජ්‍යයක් ලෙස සැලකිණි. එහි අගනුවර වන Ouagadougou නගරයේදී සංචාරක මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් එම වසරවලදී ජිහාඩ් අන්තවාදී ප්‍රහාර ගණනාවක් එල්ල විය.

ප්‍රංශයේ සහ ඇමරිකාවේ නිරන්තර හමුදා පුහුණුව ලබතත්, බුර්කීනෝ ෆාසෝ හි හමුදාව මේ දක්වා සිය රටෙහි ත්‍රස්තවාදී උවදුර මර්දනය කර ගැනීමට සමත් වී නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව රටේ උතුරු නැගෙනහිර පවතින ජිහාඩ් ගැටුම් හේතුවෙන් මේ දක්වා මිලියන භාගයක් දෙනා, එනම් ලක්ෂ 5 ක් දෙනා අවතැන් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි