×

බූවල්ලෙකුට පෙම් බැඳි මිනිසා – ‘My Octopus Teacher‘ – ‘ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ..‘

අසාමාන්‍ය ආදර කතාවක්


අප්‍රිකානු තුඩුවේ අතිශය ශීතල දකුණු දිග මුහුදු තීරයේ ක්‍රෙයිග් ෆොස්ටර් උඩු කය නිරුවතින් පිහිනමින් සිටියේය. මේ මුහුදු තීරය හැඳින්වෙන්නේ ‘කුණාටු තුඩුව‘ යනුවෙනි. ඔහු ඇය දුටුවේ එවිට ය. ඇය, සිප්පි සහ ගල් කැබලි ගොඩකින් සිරුර ඔතාගෙන සිටියාය.

එයින් වශීකෘත වූ ඔහු මේ අතිශයින්ම ලැජ්ජාශීලී සත්වයා දෙස ළඟා වූයේ ඒ විලෝපිකයෙකු නොවන බව තහවුරු කර ගැනීමට ය. එවිට ඇය පළා ගොස් සැඟවුණාය. සති ගණනක් ඔහු මගහැර සිටියාය. පැහැය වෙනස් කරමින් සිය බිළයේ ලැජ්ජාශීලී ලෙස සැඟවී සිටියාය. එසේත් නැතිනම් තරලමය සිරුර තල්ලු කරමින් අසල වූ ගල් පරයක් වෙත පළා ගියාය.

කෙසේ වෙතත්, කුමන හෝ හේතුවක් නිසා ක්‍රෙයිග් තීරණය කළේ දිනපතාම ඇය බලන්නට යන්නට ය.

දින 26කට පසුව, ඇබ්බැහියකින් මෙන් තමන් පසුපස එන මේ මිනිසා වෙත ඈ ළං වූවාය. ඔහුව ස්පර්ශ කළාය.

මිනිස් අත වටා බූවලු බාහු එතී ගියේය.

My Octopus Teacher නමැති අලුත්ම Netflix වාර්තා චිත්‍රපටය ඔහුගේත් ඇගේත් කතාන්දරයයි. Jackson Wild Media Award සම්මාන උළෙලේදී නාමයෝජනා 8 ක් දිනාගත් එය EarthxFilm Festival හිදී හොඳම විශේෂාංග චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙය 2010 වසරේදී රූගත කළ එකකි. ක්‍රෙයිග් ෆොස්ටර් නමැති සාගරයට පෙම්බැඳි මිනිසා, සාගරයෙන් පෙම්වතියක සොයාගත් වසර එයයි.

‘‘එය මිනිසුන් සමග මගේ සම්බන්ධතාවය පවා වෙනස් කළා..‘‘ යැයි ඔහු කියයි.

‘‘මා ඇය බලන්නට එන අමුත්තෙකු නොව, ඇගේම කෙටසක් බව ඇය මට දැනෙන්නට සැලැස්සුවා..‘‘

ඉතිරිව තිබූ ඇගේ කෙටි ජීවිතයේ වසරක සුළු කාලය තුළ දිනපතාම ඔහු ඇය බලන්නට ගියේය.

‘‘මා ඇය ව විශ්වාස කරන බව මාස කිහිපයක් තිස්සේ දුටු විට ඇය මා ඇගේ රහස් ලෝකය වෙත කැඳවාගෙන ගියා..‘‘ යැයි ක්‍රෙයිග් ෆොස්ටර් කියයි.

මෝරෙකු විසින් ඇගේ බාහුවක් ඩැහැගන්නා අයුරු ද එම කෙටි කාලය තුළ ඔහු දුටුවේය. එය නැවත තිබූ පරිදි ම වැඩෙන අයුරු ද ඔහු සියැසින් දුටුවේය. වරක් ඇය දඩයමේ යන විට ද ඔහු ව කැඳවා ගෙන ගියාය. ඇය එතරම් ඔහුව විශ්වාස කළාය.

අවසානයේ බිත්තර ලෑමෙන් පසු, ඒවාට දිවා රෑ නිරාහාරව පවන් සැලීමෙන් ද පසු සොබාදහමේ නියම පරිදි ඇය ජීවිතයෙන් සමුගෙන ගියාය.

ක්‍රෙයිග් සාගරයට අමුත්තෙකු නොවේ. වසර ගණනාවක සිට ඔහු දිනපතා සයුරේ කිමිදෙයි. මුහුදු බල්ලන්, තල්මසුන්, දැල්ලන් සහ මෝරුන් පවා ඔහු ස්පර්ශ කර තිබේ. ‘‘ඔවුන් මා වෙත ඇවිත් විශ්වාසයේ සහ උවදුරු සහගත බවේ නිමේෂයක් ගත කළා..‘‘ යැයි ඔහු කියයි.

නමුත් ඒ බූවල්ලා සමග ඇති කර ගත් බැඳීම තරම් ඒ කිසිදු බැඳීමක් ජීවිත කාලය පුරාම අමතක කළ නොහැකි තරම් ප්‍රබල නොවුණු බව ද ඔහු කියයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි