×

බොරිස් ජොන්සන්ගේ පියාගේ ප්‍රචණ්ඩත්වය කරළියට – මවගේ නාසය කැඩෙන සේ පහර දීලා

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ මව, නාසය කැඩෙන සේ බොරිස්ගේ පියාගෙන් පහර කා ඇති බව හෙළිදරව් වේ.


මෙය ‘ගෘහස්ථ සිද්ධියකදී‘ සිදුවූ බව ද කියැවේ.

මේ කරුණ අනාවරණය කරන්නේ බොරිස් ජොන්සන්ගේ ජීවිත කතාව ‘The Gambler‘ යනුවෙන් ලියන ටොම් බොවර් විසිනි. මෙම ‘The Gambler‘ යන්න අපට සිංහලයට පරිවර්තනය කරන්නට සිදුවන්නේ ‘සූදු අන්තුවා‘ යනුවෙනි. බොරිස් ජොන්සන් දේශපාලන ජීවිතයේදී බ්‍රෙක්සිට් වෙනුවෙන් එක්සත් රාජධානිය බිලි දෙමින් සූදුවක නිරත වී සිටින බව රහසක් නොවේ. නමුත් ඔහුට මේ සම්බන්ධයෙන් පවුල් ඉතිහාසයක් ඇති බව හෙළිදරව් වන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම පොතේදී කතුවරයා බොරිස් ජොන්සන්ගේ පවුල ගැන බොහෝ කරුණු හෙළි කරයි. බොරිස් ජොන්සන්, ස්ටැන්ලිගේ පළමු විවාහයේ පුත්‍රයා වන අතර, ඔහු විවාහ වී සිටියේ චාලට් සමග ය. එම පළමු විවාහය ප්‍රචණ්ඩත්වයෙන් සහ නොසතුටෙන් පිරුණු එකක් බව නව පොතෙන් හෙළිදරව් වේ.

‘‘ඔහු මගේ නාසය කැඩුවා. මට එහෙම කරන්න ඕනෙ කියන හැඟීම ඇති වන විදිහට ඔහු හැසිරුණා..‘‘

යැයි බොරිස් ජොන්සන්ගේ මවගේ ප්‍රකාශයක් ද මෙහි උපුටා දක්වා ඇත.

තවද චාලට් කතුවරයා සමග මෙසේ ද කියා තිබේ.

‘‘මට මේ ඇත්ත කියන්න ඕනෙ…‘‘

මෙම සිදුවීම පවුලේ මිතුරන් විසින් ද තහවුරු කර ඇති අතර, ඔවුන් තවදුරටත් කියා තිබෙන්නේ, මෙය, මෙවැනි සිද්ධිවලින් එකක් පමණක් බව ය.

මේ අනුව බොරිස් ජොන්සන්ගේ පියා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට වරදකරුවෙකු විය යුතු වුවද බොරිස්ගේ මව නීතිය හමුවට ගොස් නැති බව ද පෙනේ.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ලංකාවේ පවා දඬුවම් නියම වන අපරාධ වරදකි.

මේ වන විට බොරිස් ජොන්සන්ගේ පියා 80 හැවිරිදි ය. ඔහු එම සිද්ධිය ගැන පසුතැවිලි වන බව ද කියැවේ. නමුත් පුදුමය වන්නේ චාලට් හට රෝහල්ගත වන්නට සිදුකළ එම සිදුවීම කිසිසේත්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් නොවන බව ඔහු විසින් පැවසීමයි.

එයින් අදහස් කරන්නේ බොරිස් ජොන්සන්ගේ පියා, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ‘සාමාන්‍ය දෙයක්‘ ලෙස පිළිගෙන ඇති බවද?

බොරිස් ජොන්සනුත් පියාගේ අඩි පාරේ ද?

බොරිස් ජොන්සන්

මේ අතර මෙයට වසරකට පමණ පෙර වාර්තා වූයේ බොරිස් ජොන්සන්, සිය සහකාරිය වන කේරි සීමන්ඩ්ස් ( Carrie Symonds) සමග ජීවත් වූ මහල් නිවාසය වෙත හදිසියේ යාමට පොලිසියට සිදුවූ බවයි. අසල්වාසීන් විසින් 999 අමතා පොලිසිය කැඳවා තිබුණේ ඔවුන් දෙදෙනා බහින් බස් වන බව පමණක් නොව පහරදීමක් ගැන ද ඔවුන් සැක කළ නිසා ය. පිඟන් පොළොවේ ගසන ශබ්දයක් ද ඇසුණු බව අසල්වාසීහු කීහ. ඒ අනුව පොලිසිය ගොස් තුන් වරක් දොරට තට්ටු කර ඇති නමුත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැත. ඉන්පසු තත්වය සාමකාමී වී යැයි අසල්වාසීහු කීහ.

බොරිස් ජොන්සන්ගේ දරුවෙකුට ද මෙයට මාස කිහිපයකට පෙර උපත ලබාදුන් කේරි සීමන්ඩ්ස් කොන්සවේටිව් පක්ෂයේ හිටපු මාධ්‍ය ප්‍රධානියා වශයෙන් ද සේවය කළාය.

කේරි සීමන්ඩ්ස්

බොරිස් ජොන්සන් ද පියා මෙන්ම කිහිප වරක් විවාහ වූ අයෙකි.

කෙසේ නමුත් ප්‍රචණ්ඩකාරී හැසිරීම් ගැන බ්‍රිතාන්‍යයේ අගමැති පවුලේ වාර්තාව, මේ අලුත් පොත සමග නැවතත් කළ එළි බැස තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි