×

බොරිස් ජොන්සන්ගේ සහකාරියටත් කොවිඩ්-19 වැළඳෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දැනට දින 10කට පෙර කොවිඩ්-19 තත්වයට ගොදුරු වූ බවත් ඊයේ රාත්‍රියේ ඔහු ව රෝහල්ගත කළ බවත් මීට පෙර පුවතකින් අපි සඳහන් කළෙමු.


මේ අතර වාර්තා වන්නේ ඔහුගේ පෙම්වතිය හා සහකාරිය වන කේරි සිමන්ඩ්ස් හටත් කොවිඩ්-19 තත්වය ආසාදනය වී ඇති බවයි.

මේ වන විට ඇය ගැබිණියක වන අතර, මේ ගිම්හානයේදී අගමැතිවරයා සමග විවාපත් වීමට සූදානමින් සිටියි.

32 හැවිරිදි කේරී සිමන්ඩ්ස් තමන්ට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි කළේ සිය සහකරු වන බොරිස් ජොන්සන් ස්වයං නිරෝධනයට ලක්වූ පසුව ය. ඒ බව සිය ඡායාරූපයක් ද සමග එක් කළ ට්විටර් සටහනක් මගින් ඇය හෙළි කර තිබිණි.

එහිදී ගැබිණි කාන්තාවන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම ගැන පවසන ඇය, විශේෂයෙන් පරිස්සම් වන ලෙසට ද ඔවුන්ගෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය මාර්තු 16 වැනිදා, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටී විසින් ගැබිණි මව්වරුන් ‘විශේෂ අවදානමක් සහිත‘ කාණ්ඩයට ඇතුළත් කරන ලදී.

මෙයට සති 3කට පෙර කොවිඩ්-19ට ගොදුරු වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිනී නදීන් ඩොරිස්, කේරි සිමන්ඩ්ස්ගේ ට්විටර් සටහනට වහාම ප්‍රතිචාර දක්වා ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නේ #InThisTogether හෑෂ්ටැගය ද සහිතව ය. ඇය මේ වනවිට සුවය ලබමින් සිටින බවත්, දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටින බවත්, තමන් ඇය පිළිබඳ සැලකිල්ලෙන් පසුවන බවත් එහි දැක්වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි