×

‘‘මගේ ජීවිතයේ ආදරය ඔබයි!“ – ලොව වැඩියෙන්ම රෝම වැවෙන යුවතිය, පෙම්වතා සමග විවාපත් වෙයි.

‘‘මෙහෙම එකියෙකුට කාටද ආදරය කරන්න පුළුවන්?“ යැයි මේ ඡායාරූපය දුටු සැණින් ඔබට සිතෙන්නට බැරි කමක් නැත.


 ඒ ගැන පුදුමයක් ද නැත. නමුත් ලෝකයේ වේගයෙන්ම රෝම වැඩෙන මේ යුවතිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා එසේ සිතන්නේ නැත.

‘‘ලෝකයේ වැඩිපුරම රෝම වැවෙන යුවතිය‘ (world’s hairiest girl) ලෙස 2010 වසරේ පටන් ගිනස් වාර්තාව උසුළන ඇයට ඒ පට්ටම ආභරණයක් නොවේ. පුදුමාකාර වදයකි. ඇම්බ්‍රාස් සහලක්ෂණය හෙවත් ඇම්බ්‍රාස් සින්ඩ්‍රෝමයෙන් (Ambras Syndrome) (ඇතැම්විට Werewolf Syndrome යනුවෙන් ද හඳුන්වන රෝගය) ඇය පෙළෙන්නේ ඇගේ වරදකින් ද නොවේ. නමුත් ඇගේ නොවන වරදක් නිසා ඇය අහස උසට දුක් උහුළමින් සිටියාය. ඇගේ ඇත්ත නම සුපත්‍රා ‘නාත්‘ සාසුෆාන් (Supatra “Nat” Sasuphan) වුවත් බොහෝ අය ඇයට කතා කළේ ‘චෙව්බෙකා‘ (‘Chewbacca’ ) කියා ය. එය ‘ස්ටාවෝස්‘ චිත්‍රපටයේ ‘වෙචී‘ හෙවත් චෙව්බෙකා චරිතය අනුසාරයෙන් බිඳී ආවකි. ස්ටා වෝස් හි චෙවී යනු, වලහෙක් මෙන් ඇඟපත පුරා රෝම වවාගෙන සිටින ප්‍රබන්ධමය චරිතයයි.

Wikipedia
‘ස්ටා වෝස්‘ හි චෙව්බෙකා| Wikipedia

අනවශ්‍ය රෝම හේතුවෙන් මේ ලෝකයේ වැඩිපුරම දුක් විඳි යුවතියක වී නම් ඒ, තායිලන්තයේ සුපත්‍රා ය. ඇගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම අනවශ්‍ය රෝම ය. ඒවා කොතරම් ඉවත් කළ ද නොකඩවා වැවෙයි. පසුකලෙක මේ ඉවත් කිරීමෙන් කිසිම පලක් නැති බව දැන, මේ රෝගයට ප්‍රතිකාර ද නැති බව දැන, ඇය ඒවා කපා දැමීම අත් හැර දැමුවාය. ඇය ලෝක වාර්තා පොත්වලට එක්වූයේ ඉන්පසුව ය.

නමුත් ලෝක වාර්තාවකට පුරවන්නට බැරි ජීවිතයේ අඩුව පුරවා දැමුවේ, හදිසියේ හමුවූ ඇගේ පෙම්වතා විසිනි. 17 හැවිරිදි ඇය, පසුගියදා ඔහු සමග විවාපත් වීම සඳහා වසර ගණනකට පසු ඒ රෝම කපා දැමුවාය. ඇය විසින් මෙම ඡායාරූපය පළ කරමින් ෆේස්බුක් හි තැබූ සටහන මෙසේ ය. ‘‘ඔබ මගේ පළමු පෙම්වතා පමණක් නොවෙයි, මගේ ජීවිතයේ ආදරයත් ඔබයි!“

ඇය සිය පෙම්වතා සමග | Facebook
ඇය සිය පෙම්වතා සමග | Facebook

මේ රෝග තත්වයෙන් පෙළෙන මිනිසුන් ලොව සිටියි නම් ඒ ගණන 50 දෙනෙකුට වැඩි නැත. මිනිස් සමාජයේ මෙය අලුත් තත්වයක් නොව, මධ්‍යතන යුගයේ පටන් දැකගත හැකි තත්වයකි.

ඇය තවමත් රෝගයෙන් පෙළෙමින් සිටින්නීය. අමතර/අනවශ්‍ය රෝම දිනපතා ඇයට වධ දෙමින් තිබේ. නමුත් ගිනස් වාර්තාවට වඩා ඇයට ජීවිතයේ ප්‍රේමය වැදගත් ය. එදා 2010 වසරේදී ගිනස් පොතට ගිය විට ඇගේ ධෛර්යය දැක ගිනස් සංවිධායකයෝ පුදුමයට පත්වූහ. දුර්ලභ ගණයේ වධකාර රෝගයකින් පෙළෙමින් සිටියද ඇය අවධාරණයෙන් කියා සිටියේ තමන්ට අවශ්‍ය, අනෙක් අයට මෙන්ම වෙනස්කමක් නැති පිළිගැනීම බවයි. ‘‘මට විශේෂයක් කරන්න එපා‘‘ යැයි ඇය කීවාය. මේ දැරිය සමස්ත දරු පරපුරටම ‘රෝල් මොඩ්ල්‘ කෙනෙක් බව ගිනස් සංවිධායකයෝ එදා කීය. එදා නව හැවිරිදි වූ මේ දැරිය අද 17 හැවිරිදි ය. නමුත් ඇගේ ධෛර්යයේ වෙනසක් නැත. සිතිවිලි, හැඟීම් යනාදියෙන් තමන් ද සාමාන්‍ය මනුෂ්‍යෙයක් බව ඇය අද වන විට ඔප්පු කර තිබේ. අද ද එදා මෙන්ම ඇය කියන්නේ, ‘‘මට විශේෂයක් කරන්න එපා, මාවත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට පිළිගන්න‘‘ කියා ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි