×

‘‘මගේ රටෙන් 1/3 ක් ජලයෙන් යට වුණා‘‘- බංග්ලාදේශ අගමැතිනිය ලෝකය වෙත ලියූ ලිපිය – සිංහල පරිවර්තනය

මෙය උදව් ඉල්ලා හඬා වැටීමක් නෙවෙයි. මෙය අනතුරු ඇඟවීමක්!


මගේ රටෙන් තුනෙන් එකක් පසුගිය මාසයේ ගංවතුරට යට වුණා. දශකයකින් පමණ හටගත් විශාලම වැස්ස තවමත් පහ වී ගොස් නැහැ. බංග්ලාදේශ වැසියන් මිලියන 1.5කට ආසන්න පිරිසක් එයින් අවතැන් වුණා. දස දහස් ගණන් වූ කුඹුරු හෙක්ටයාර ප්‍රමාණයක් සෝදාගෙන ගියා. මගේ රටවැසියන් මිලියන ගණනකට මේ වසරේ ආහාර සහනාධාර උවමනා වේවි.

විපත් කිසිවිටෙකත් තනිව පැමිණෙන්නේ නැත. මැයි මාසයේ අම්ෆාන් සුළි සුළඟත් සමග ආරම්භ වූ මහා විනාශය කොරෝනා වෛරසය සමග සටන් වැදීම අසීරු දෙයක් බවට පත් කළා. කොවිඩ්-19 වසංගතයේ මහා අවදානමෙන් ඉවත් නොකරමින් මිලියන 2.4 ක ජනතාවක් සුළිසුළඟේ විනාශකාරී මාවතෙන් ඉවත් කිරීමට සිදුවුණා. ස්ථිර ප්‍රතිකර්මයක් සොයාගන්නා තෙක් ආසාදනයන් සහ මරණයන් තවදුරටත් පවතීවි. ආර්ථිකමය ලොක්ඩවුන් කිරීම් අපේ ඇඟලුම් සහ අපනයන කර්මාන්තයන්ට පහර දී තිබෙන්නේ සිය දහස් ගණන් වූ අපගේ අන්තර්ජාතික සංක්‍රමණික ශ්‍රමිකයන් ආපසු සිය රට කැඳවමින් සහ ඔවුන්ගෙන් අති බහුතරය රැකියා විරහිත කරමින්.

ලෝකයේ දේශගුණික අවදානම්වලට ලක් වී ඇති රටවල් මෙන්ම බංග්ලාදේශයත් ජීවිත ආරක්ෂා කිරීමට වෙහෙස ගන්නවා. මූල්‍ය කඩා වැටීම් වළක්වා ගනිමින් සෞඛ්‍ය සේවා පද්ධති ඉහළ නැංවීමටත් මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධයෙන් ආර්ථික කම්පනය පාලනය කරන්නටත් වෙහෙස ගන්නවා.

නමුත් මෙය උදව් ඉල්ලා හඬා වැටීමක් නෙවෙයි. එය අනතුරු ඇඟවීමක්. දේශගුණික අර්බුදයට අඩුවෙන් නිරාවරණය වූ රටවල් වුණත්, එහි විනාශකාරී බලයෙන් දිගු කාලයකට පැන යාමට සමත් නොවේවි. මගේ රටට වඩා ගොඩක් වාසනාවන්ත රටවල් අප දැන් සටන් වැද සිටින විනාශකාරී බලයෙන් පැන යාමට සමත් නොවේවි. මෑතකදී කළ පර්යේෂණයක් යෝජනා කරන්නේ සාගර ජල මට්ටම ඉහළ යාම නිසා මිලියන සිය ගණනක් මිනිසුන්ට පහත් බිම්වල පිහිටා ඇති වෙරළබඩ නගර, මේ සියවස මැද වන විට අත්හැර දැමීමට සිදුවන බවයි. මේ මහා විනාශය වළක්වා ගැනීමට ලෝක ප්‍රජාව නිසි කලට වැඩ කරනු ඇතිද?

අපේ දේශගුණික හදිසි තත්වය සහ කොවිඩ්-19 ගෝලීය තර්ජනයන්. ඒ දෙකම කල් තබා කිව හැකි, සහ කිව හැකිව තිබූ, කිව යුතුව තිබූ ඒවායි. එසේ වුණා නම් අවදානම බෙහෙවින් අවම කර ගන්නට හැකි වේවි. නමුත් දැන් ඒවා අප කරා ඇවිත්. නිසැක ලෙසම ඒවාට ප්‍රතිචාර දැක්විය හැකි හොඳම ක්‍රමය, අන්තර්ජාතික ලෙස සාමූහික ලෙස ක්‍රියා කිරීමයි.

දේශගුණික අර්බුදය සහ වසංගතය යන දෙකම ප්‍රබල සහ සංකීර්ණ ගැටලු. ඒවා එක්කෝ සාමූහිකව විසඳෙනු ඇති. නැතිනම් කිසිම විදිහකින් විසඳෙන එකක් නැහැ. වසංගතයේ වියරුව වෙනත් තැනකින් මතු වන විට එක් රටක් සඳහා පමණක් කොවිඩ්-19 වැක්සිනයක් නිපදවන්නට ඩොලර් බිලියන සිය ගණන් වියදම් කිරීම නිෂ්ඵල දෙයක්. මේ අන්දමින්ම, ලෝකයේ විශාලතම කාබන් විමෝචකයන් සිය විමෝචනයන්ට කටකලියා නොයොදන්නේ නම්, බහුතර ජාතීන් විසින් තමන්ගේ කාබන් විමෝචයන් පාලනය කරමින් වඩා තිරසාර ආර්ථිකයන් ගොඩනගා ගැනීම අර්ථ විරහිතයි.

G20 රටවල් සමස්ත ගෝලීය (කාබන්) විමෝචනයෙන් 80%කට වග කිව යුතුයි. ඒ අනුව සෙසු රටවල් 100 ක් පමණ විමෝචනය කරන්නේ 3.5%ක් පමණයි. හැම කෙනෙකුගෙන්ම සුවිශේෂී ක්‍රියාකාරිත්වයක් ලබා නොගෙන ලෝකයට දේශගුණික අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නට බැහැ.

ගෝලීය උණුසුම අඩු කිරීමට සහ එහි වඩාත් විනාශකාරී බලපෑම් සීමා කරගැනීමට අපට දැනට තිබෙන හොඳම අවස්ථාව වන්නේ 2015 පැරිස් ගිවිසුමයි. අද දක්වා රටවල් 189 ක්, පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 2කට වඩා ඉහළ නොදැමීමත්, හැකිනම් සෙල්සියස් අංශක 1.5කට මිහිතල උණුසුම සීමා කර ගන්නටත් උර දෙමින් සාමූහිකව විමෝචනන් කපා හැරීමට කැප වෙමින් සම්මුතියක් අපරානුමිත කර තිබෙනවා. අවසාන සහ වඩාත්ම අපේක්ෂා සහගත ඉලක්කය යෝජනා කළේ මා සභාපතිත්තවය දරන, රටවල් 48 ක කණ්ඩායමකින් යුතු දේශගුණික අවදානම් සංසදය (CVF) යි. මෙම රටවල් 48,  මිහිතලය උණුසුම් වීමෙන් අසාමාන්‍ය ලෙස බලපෑමට ලක් වූ රටවල්. බංග්ලාදේශයත් ඒ අතර තිබෙනවා. CVF රටවල් දේශගුණික හැඩගැසීම්වල මෙන්ම දේශගුණික අනුවර්තනයේ පෙරමුණේ සිටින්නේ සුළිසුළං වලට එරෙහිව ශක්තිමත් ආවරණයන් තැනීම සහ වෙරළබඩ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා කඩොලාන වනාන්තර නැවත සිටවීම වැනි මුල පිරීම් ප්‍රවර්ධනය කරමින්. මේ වැදගත් කාර්යයට පිළිගැනීම ලබා දෙමින් අනුවර්තනය පිළිබඳ ගෝලීය මධ්‍යස්ථානය, දකුණු ආසියාව පුරා මේ හොඳම භාවිතයන් ව්‍යාප්ත කිරීම සඳහා මේ මාසයේ ඩකා අගනුවර කාර්යාලයක් පිහිටුවීමට නියමිත යි.

දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි ලෝකයේ දුප්පත්ම සහ වඩාත්ම අවදානම්කාරී තත්වයන්ගේ පසුවන රටවල් විසින් කේවල් කිරීම අපේ පැත්තේ තබා තිබෙනවා. 2020 තිරසාර සංවර්ධන වාර්තාවට අනුව අප්‍රිකාවේ සහ ආසියාවේත් ලතින් ඇමරිකාවේත් රටවල් 43 ක් අපගේ ගෝලීය දේශගුණික ක්‍රියාකාරී ඉලක්ක සපුරා තිබෙනවා. ධනවත් ලෝකය එසේ කර නැහැ. දේශගුණික වෙනස්කම් සඳහා වන ජාත්‍යන්තර අරමුදල තවමත් අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුයි. එපමණක් නොවෙයි, අදට ගැළපෙන සුවිශේෂී විසඳුම් ලබාදී තිබෙන පුරෝගාමී දේශගුණික පර්යේෂණයන්, හොඳ නායකත්වයන් සහ ලෝක මට්ටමේ තාක්ෂණයන්ගෙන් තොරව නව, අපේක්ෂා තැබිය හැකි දේශගුණික මුලපිරීම් සාර්ථක වන බවක් පෙනෙන්නේ නැහැ.

AFP/ Getty Images

රටෙන් 1/3 ක් ගිල්වා දැමූ බංග්ලාදේශයේ ගංවතුර

අපේ අපේක්ෂාවන් වැඩි කර නොගන්නේ නම්, අපි සියලු දෙනාම නැති වී යාවි. බොහෝ රටවල් සහ සමාගම් විසින් සනාථ කර ඇති අන්දමට අඩු කාබන් විසඳුම් සොයාගැනීම සහ දේශගුණික අවදානම් අවම කිරීම වඩාත් ඔරොත්තු දෙන, වඩාත් කාර්යක්ෂම සහ වඩාත් තරගකාරී ආර්ථිකයන් ගොඩනැගීමේ හොඳම ක්‍රම වෙනවා. අඩු කාබන් මට්ටමක් දරා සිටින ලෝකයක වාණිජ හවුල්කරුවන්ගෙන් අප හැම කෙනෙක්ම ප්‍රයෝජන ලබනවා. නිසැක වශයෙන්ම විකල්පය වන – ධනවත් රටවල් පවා දරිද්‍රතාවයට පත්වන ගෝලීය උණුසුමේ විනාශකාරී බලය නමැති බිඳුණු ගෝලීය නියෝගයට අප කිසිවෙක් පක්ෂ නැහැ.

දේශගුණික අර්බුදය, කොවිඩ්-19 සහ එයින් ඇති කළ ආර්ථිකමය කඩාවැටීම හඬ නගන්නේ ජාත්‍යන්තර නායකත්වය හා සහයෝගීතාවය වෙනුවෙන්. දැන් ලෝකයේ කිසිදු රටක් වෙනත් රටකට පිටු නොපෑ යුතුයි. එක්සත් ජාතීන්ගේ පාර්ශවකරුවන් සඳහා වූ දේශගුණික විපර්යාස සමුළුවේදී රටවල් විසින් ඔවුන් ජාතික මට්ටමෙන් තීරණය කළ දායකත්වය ඉහළ නැංවීමට කැප විය යුතුයි. එයින් අවසානයේ අපගේ සාමූහික පැවැත්මට බලපාන අනෙකුත් සියලු ගැටළු විසඳීම ගැන අපට බලාපොරොත්තුවක් ලබාදෙන්නට එයට පුළුවන් විය යුතුයි.

පසු සටහන

මෙම විවෘත ලිපිය ලියන ෂේක් හසීනා බංග්ලාදේශයේ අගමැතිනිය වන අතර, දේශගුණික අවදානම් සමුළුවේ සභාපතිනිය ද වේ. මේ වන විට බංග්ලාදේශය දකුණු ආසියාවේ දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමේ විශාල ව්‍යායාමයක පෙරමුණ ගෙන ඇත.

ඉංග්‍රීසි ලිපිය මෙතැනින් කියවන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි