×

මානව වර්ගයාගෙන් 40%ක් පාරිසරික විනාශයේ ගොදුරු බවට පත් වෙද්දී 2021 ලෝක පරිසර දිනය සැමරේ

2021 ලෝක පරිසර දිනයට සමගාමීව අද පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘‘පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීමේ එක්සත් ජාතීන්ගේ දශකය‘‘ (UN Decade on Ecosystem Restoration) නමැති යෝධ වැඩසටහන ආරම්භ කරයි.


 ඒ, මිනිසා විසින් වනසා ඇති පරිසර පද්ධතිවලට සිදුව ඇති හානිය පිළිසකර කර ගැනීමට ය.

‘පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය‘ (Ecosystem Restoration) යන්නෙන් අදහස් කරන්නේ පරිසර පද්ධතියක් පෙර තිබූ තත්වයටම පත් කර ගැනීමයි. මෙය අතිශයින්ම ප්‍රායෝගික නොවන අදහසක් වන නමුත්, ඒ සඳහා උත්සාහ කිරීමට අපට තවම කාලය ඇති බව ජගත් සංවිධාන ප්‍රධානියා පවසයි.

‘‘අපේ සමාජ තැනීමට උර දුන් මුක්කු (underpin – යටි තහවුරු) වශයෙන් පැවති පරිසර පද්ධතිම අප විසින් වනසමින් සිටිනවා. මනුෂ්‍යත්වයෙන් 40%ක්, එනම් බිලියන 3.2 කට දැනටමත් එයින් උවදුරු ඇති වෙලා.. නොනැසී සිටීමට උවමනා ආහාර, ජලය සහ සම්පත් කෙමෙන් අඩු වෙමින් යනවා..‘‘ යැයි ජගත් සංවිධාන ප්‍රධානී අන්තෝනියෝ ගුටරෙස් පැවසුවේය.

‘‘නමුත් අපේ වාසනාවට පෘථිවිය ඔරොත්තු දෙනසුලුයි. අප කළ හානිය ආපස්සට හරවන්නට අපට තවමත් පුළුවන්..‘‘

ඔහු එහිදී අවධාරණය කළේ තිරසාර සංවර්ධනයේ සියලු ඉලක්ක (SDGs) සපුරා ගන්නට වැඩ කරන්නේ නම් මෙය ආපස්සට හැරවිය හැකි බවයි.

තිරසාර සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසරය ද රැක ගැනීමයි. එසේ නොමැතිව පරිසරයට අත නොතබනු යැයි කියා සංවර්ධන ව්‍යාපෘති සිදු නොකර සිටීම හෝ, පරිසරය භංග වේවා කියා සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම නොවේ. ඒ දෙක අතර සමතුලිතතාවයක් සොයාගැනීමයි.

ඒ බව අමතක වී ඇති ලංකාව ද ඇතුළු ලෝකයට තිරසාර සංවර්ධනයේ පාඩම නැවත කියා දීමට සිදුව තිබේ.

ලෝකයේ පළමු පරිසර දිනය සැමරුණේ 1974 වසරේදී ය. එහි තේමාපාඨය ‘එකම එක පෘථිවියයි‘ ( ‘Only One Earth’) යන්නයි.එදා පටන් අද දක්වා ලෝකය පරිසර දින කීයක් සමරා තිබේද? එය මේ වන විට සැමරීමකට වඩා පැමිණිලි කිරීමක් සහ විලාපයක් බවට පත් ව තිබේ. නමුත් ඒ විලාපය අහම්බයක් නොවේ.  සෑම දිනයක්ම පරිසර දිනයක් වන තෙක්, අපට මෙම විලාපය නතර කර ගැනීමට නොහැකි වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි