×

මාරක කොරෝනා වෛරසය -වවුලන්ගෙන් හටගෙන පැන්ගොලින් සතුන් හරහා මිනිසුන්ට!

කොරෝනා වෛසරය වවුලන්ගෙන් ඇති වී පැන්ගොලින් සතුන් හරහා මිනිසුන්ට බෝවී ඇති බවට ඒ පිළිබඳ පළ වන අලුත්ම වාර්තාවල දැක්වේ.


ස්කයි නිව්ස් පුවත් සේවය Coronavirus: Pangolins identified as ‘most likely’ intermediate host
යනුවෙන් ලිපියක් පළ කරමින් පවසන්නේ කෘමි භක්ෂක පැන්ගොලින්, කොරෝනා වෛරසයේ අතරමැදි ධාරකයා ලෙස සැලකීමට බොහෝ දුරට හැකියාව තිබෙන බවයි.

මේ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා කොරෝනා වෛරසය මිනිසුන්ට බෝවූයේ කෙසේදැයි පැවති කල්පිතයන් වන නයින්ගෙන්, සුනඛ මස්වලින් යනාදී සියල්ල අබිබවා, මෙම විද්‍යාත්මක සොයාගැනීම මේ වන විට පෙරමුණට පැමිණ තිබේ.

 

Sky News

කොරෝනා වෛරසයත් සොබා දහමෙන් දුන් දඬුවමක්ද?

ලෝකයේ එකම කොරපොතු සහිත ප්‍රාවරණයක් සහිත ක්ෂීරපායී සත්වයා වන්නේ පැන්ගොලින් ය. අන්තර්ජාතික නීතිය යටතේ මේ අසාමාන්‍ය පෙනුමැති කෘමි භක්ෂකයා දඩයම් කිරීම තහනම් ය.

නමුත් පැන්ගොලින් සතුන්, කබල්ලෑවෙකුට සමාන උන්ගේ පිට පොත්ත (ප්‍රාවරණය) හේතුවෙන් නීති විරෝධී ජාවාරම්කරුවන්ගේ ජනප්‍රියම තෝරාගැනීමකි. ආසියාවේ නීති විරෝධී සත්ව ජාවාරමේ ප්‍රධානතම ගොදුරක් බවට පත්ව තිබෙන්නේ මෙම පැන්ගොලින් සතුන් ය.

කොරපොතු ලබාගැනීම සඳහා මෙන්ම, ආහාර සහ ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම සඳහා ද මේ අහිංසකයා දඩයම් කරනු ලබයි.

විශේෂයෙන්ම චීනය තුළ ‘පැන්ගොලින් මස්‘ රස මසවුළක් සේ සලකයි. සම්ප්‍රදායික චීන වෙදකම තුළ පැන්ගොලින් පිට පොත්තට තිබෙන්නේ අධික ඉල්ලුමකි.

සම්ප්‍රදායික චීන වෙදකම සඳහා පැන්ගොලින් කොරපොතු ප්‍රවාහනය කර හසුවූ අවස්ථාවක්

මේ නිසා, පැන්ගොලින් සතුන්ව දඩයම් කරන චීනයට, පැන්ගොලින් හරහාම සොබාදහම විසින් එවනු ලැබූ දඬුවමක් ලෙස ද කොරෝනා වෛරසය විටෙක හඳුන්වනනු ලැබේ.

රෝග නිවාරණයට වැදගත් සොයාගැනීමක්

මේ අන්දමින් මාරක කොරෝනා රෝගයේ අතරමැදි ධාරකයා සොයාගැනීම රෝග නිවාරණයේදී ඉතාම වැදගත් බව පර්යේෂකයෝ පවසති.

‘‘මේ අලුත්ම සොයාගැනීම රෝග නිවාරණය සහ වෛරසයේ උත්පත්තිය සම්බන්ධයෙන් සුවිශේෂී වැදගත්කමක් උසුළනවා‘‘ යැයි දකුණු චීන කෘෂිකර්ම විශ්ව විද්‍යාලය සිය වෙබ් අඩවියේ ප්‍රකාශයකින් දක්වයි. මෙම සොයාගැනීමට අදාළ පර්යේෂණය සිදු කළේ ඔවුන් විසිනි. මේ සම්බන්ධ විද්‍යාත්මක දත්ත සහ පර්යේෂණ පත්‍රිකාව ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ය.

මෙම පැන්ගොලින් සම්බන්ධය ගැන මේ වන විට වසංගතවේදය සහ වෛරස් විද්‍යාව පිළිබඳ වියතුන් විසින් ද අදහස් දක්වා ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය පවසන්නේ මෙය බොහෝ දුරට විය හැකි දෙයක් බවයි.

මෙයට සමාන උදාහරණ අතීතයේ පැවති බවට ද සාක්ෂි තිබේ.

උදාහරණයක් ලෙස හෙන්ද්‍රා (Hendra ) වෛරසය ද කොරෝනා වෛරසය මෙන්ම මුලින්ම හට ගත්තේ වවුලන්ගෙනි. නමුත් එය වවුලන්ගෙන් අශ්වයන්ට බෝ වී අශ්වයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව පසුකාලීනව සොයාගනු ලැබිණි.

ජීවී සතුන් මස් පිණිස විකිණීමට තබා තිබෙන චීනය වැනි රටකින් මෙවැනි වෛරස් ඇති වීම විද්‍යාත්මකව වියහැකි දෙයක් බව ද ඔවුහු තවදුරටත් පවසති.

SARS වසංගතය ඇති වූයේ ද චීනයේ ජීවී සතුන් විකිණීමට තබා ඇති ‘තෙතබරිත‘ වෙළඳපොළ ආශ්‍රිතව ය.

කොරෝනා වෛරසය ගැන ද මුල් වරට වාර්තා වූයේ මෙවැනිම තෙතබරිත විවෘත සත්ව වෙළඳපොළවල් බහුල වුහාන් පළාතෙනි.

මේ අතර ෂිංහුවා පුවත් වාර්තාවක දැක්වෙන්නේ නොවෙල් කොරෝනා වෛරසයේ ජාන අනුක්‍රමය (genome sequence), පැන්ගොලින් සතුන්ගේගෙන් වෙන් කරගත් ජාන අනුක්‍රමයට 99%ක්ම සමාන බවයි.

Cover Photo: Ocean of Words



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි