×

මාර්තුවේදී වෛද්‍ය විශ්ලේෂකයන් කළ අනතුරු ඇඟවීම මෝදි ගණන්ගෙන නැහැ

රටට දැඩි බලපෑමක් ඇති කළ හැකි කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ඉන්දියාවේ ව්‍යාප්තවීමට ඉඩ ඇති බවට ඉකුත් මාර්තු මාසය මුලදී ඉන්දීය වෛද්‍ය විශේෂඥයින් කළ අනතුරු ඇඟවීම රජය නොතකා හැරියේ යැයි එම සෞඛ්‍ය අංශ පවසයි.


පෙර දැනුම්දීමක් කළද, රජය ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවත්, දැඩි සීමා පැනවූයේ නැති බවත්, තැකීමක් නොකළ බවත් එම කමිටුවේ විශේෂඥවරු පස්දෙනෙක් පෙන්වාදෙති.

දැනුම්දීම කරන කාලයේදීත්, මිලියන ගණනක පමණ හින්දු ජනයා රැස්වෙමින් මුඛ ආවරණ රහිතව සතියකට වැඩි කාලයක් ‘කුම්භ් මේලා’ නම් ආගමික උත්සවය පැවැත්වූ අතර, එය නැවැත්වීමට රජය ක්‍රියා නොකළේය.

එසේම දහස් ගණන් ගොවීහු නව දිල්ලි නුවරට රැස්වී මෝදිගේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති වෙනස්කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කරන්නට වූහ.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයත්, සෙසු දේශපාලන පක්ෂවල දේශපාලඥයිනුත් එක්ව මැතිවරණ ප්‍රවර්ධන රැස්වීම් පවත්වන්නට වූයෙන් දහස් සංඛ්‍යාත ජනයා ඒ වටා එක්රොක් වූයේ කොරෝනා දෙවන රැල්ල එන බව පෙනි පෙනීය. ඡන්දය ලබාදීම සඳහා ගම් බලා ගිය පිරිසත්, රංචු ගැහෙමින් දුරස්ථකරණය නොපවත්වා ඡන්දය ලබාදීමට ගිය පිරිසත් කොරෝනා ව්‍යාප්තියට මග සැලසූයේ ඉහත කී පාලකයන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙනි.

ලෝකයේ දෙවනියට ජනප්‍රියතම රට දැන්, කොරෝනා වයිරසයෙන් ගැලැවිය නොහැකි මළපුඩුවක සිරව සිටී. මෙවර කොරෝනාවේ බලපෑම ඉකුත් වසරට වඩා බරපතලය.

අගමැති මෝදිගේ රජය 2014දී බලයට පැමිණීමෙන් අනතුරුව මුහුණදුන් බරපතලම අභියෝගය මෙය බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. විචාරකයන් පෙන්වාදෙන්නේ, කොරෝනා මර්දනය කිරීමට මෝදිගේ රජය ක්‍රියාකරන ආකාරය අනුව, ඔහුගේ පක්ෂයේ දේශපාලනයේ අනාගතය තීරණය වෙනු ඇති බවයි. කෙසේවෙතත්, යළි මැතිවරණයක් පැමිණෙන්නේ 2024දීය.

ඉන්දීය රජයේ අනුදැනුම මත, සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ, INSACOG නම් සෞඛ්‍ය විශ්ලේෂකයන්ගේ එකතුවක් දෙසැම්බර් මාසයේදී පිහිටුවාගැනිණි.

මෙම පිරිස ඉන්දියාවේ පර්යේෂණාගාර 10ක් සමඟ එක්වෙමින් මේ පිළිබඳව පර්යේෂණ කරමින් සිටියහ. ඔවුන් B.1.617 නම් ඉන්දීය ප්‍රභේදය හඳුනාගත්තේ පෙබරවාරි මාසයේදීය. මාර්තු 10 වැනි දිනට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දෙනු ලැබිණි. ඔවුන් මේ බව රජයේ උසස් නිලධාරීන්ගේ මාර්ගයෙන් අග්‍රමාත්‍යවරයාට දැනුම් දී තිබිණි. උතුරු ඉන්දියාවේ පර්යේෂණාගාරවල අධ්‍යක්ෂවරුන් පවා මැදිහත්වී මේ බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත.

කෙසේවෙතත් මාර්තු සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඉන්දීය දේශපාලනඥයෝ මහමැතිවරණය ඉලක්ක කරගනිමින් කාර්යබහුල වෙමින් සිටි අතර, මැතිවරණය වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් ලබාදෙමින්, කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහ.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා රොයිටර් පුවත් සේවය අග්‍රමාත්‍යවරයා සම්බන්ධකරගැනීමට උත්සාහ කළද, ඉන්දීය රජය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

ඇතැම් විශ්ලේෂකවරු කියාසිටියේ, බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව ප්‍රභේදය ඇතුළු ඉන්දියාවෙන් හඳුනාගත් අනෙක් ප්‍රභේද හේතුවෙන් ඉන්දියාව වත්මන් තත්වයට මුහුණ දී සිටින බවයි. ඊයේ දිනය වනවිට ඉන්දියාවෙන් නව ආසාදිතයන් 386,452ක් වාර්තා වී තිබිණි.

‘අපි අවධාරණය කරලා කිව්වා පැහැදිලිවම, දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අපිට ප්‍රමාද වෙන්නයි වෙන්නේ කියලා. දැන් අපි ඉන්නේ සොහොන්පලක් වගේ රටක. මිනිස්සු සෞඛ්‍ය නිලධාරීන් කියන දේවල්වලට වඩා අහන්නේ දේශපාලඥයින් කියන දේවල්. මීට වඩා හොඳට අපිට මේ දේ කරන්න තිබුණා, මිනිස්සු බේරගන්න තිබුණා’ යි එම පිරිස පවසති.

(රොයිටර් පුවත් ඇසුුරිනි)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි