×

මැතිවරණ උණුසුම මැද ඇමරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත් වෙයි – එසේ කළ ලොව පළමු රාජ්‍යය බවට ද පත් වෙයි

දේශගුණික වෙනස්වීම් අවම කිරීම පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊයේ නිල වශයෙන් ඉවත් විය.


පැරිස් එකඟතාව 2015 වර්ෂයේ දී කෙටුම්පත් කෙරුණේ දේශගුණ වෙනස්වීමට එරෙහි ගෝලීය ප්‍රතිචාරය ශක්තිමත් කිරීමට ය.

එහි අරමුණ මේ සියවසේ ගෝලීය උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක 2කට අගයෙන් පහළ තබා ගනිමින් උෂ්ණත්ව වර්ධනය 1.5C අගය වෙත තබා ගැනීමට උත්සාහ දැරීම යි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගනු ලැබුවේ 2017 වසරේ ජූනි මස (මෙයට වසර 3කට පෙර) වූ අතර, ඊයේ සිදුවූයේ නිල වශයෙන් එම තීරණය ක්‍රියාත්මක වීමයි. මුළු ලෝකයම පැරිස් සම්මුතිය, දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ වැදගත්ම ජාත්‍යන්තර සම්මුතිය ලෙස සලකද්දී ට්‍රම්ප් දේශගුණික වෙනස්වීම් සැලකුවේ ‘‘එහෙම දේවල් නෑ‘‘ හෝ ‘‘චීනයේ වැඩක්‘‘ වැනි අදහසකිනි. පැරිස් සම්මුතිය මගින් නියම කරන කොන්දේසි හරහා පරිසරය සුරැකීම රටේ සංවර්ධනයට බාධාවක් වශයෙන් ද ඔහු සැලකුවේය.

මෙම පැරිස් සම්මුතියට ඇමරිකා එක්සත් ජනපදය අත්සන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ නොවීම ද විශේෂත්වයකි. 2015 දෙසැම්බර් මාසයේ මෙම සම්මුතිය අත්සන් කරන සමයේ ජනාධිපතිවරයා ව සිටියේ බරාක් ඔබාමා ය. ඒ කාලයේදී ද ජනපතිවරයා ට්‍රම්ප් වූයේ නම් ඔහු මෙයට අත්සන් කරනු ඇතැයි ද සිතිය නොහැකි ය.

අනාගත පරපුර වෙනුවෙන් අත්සන් කළ සම්මුතියක්

එදා ඔබාමා පරිපාලනය වෙනුවෙන් හිටපු රාජ්‍ය ලේක්ම ජෝන් කෙරී  ජගත් සංවිධාන මූලස්ථානයේදී පැරිස් ගිවිසුමට අත්සන් තැබුවේ සිය මිණිබිරිය ද ඇකයේ තබාගෙන ය.

එයින් සංකේතවත් වූයේ ඒ සම්මුතිය අනාගත පරපුර වෙනුවෙන් බවයි.

වසර 3 කට පෙර ට්‍රම්ප් ට කිරීමට උවමනා වූ දෙය, දැන් සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රෙගුලාසිවලට අනුව එය බලාත්මක වීම ඊළඟ එක්සත් ජනපද මැතිවරණයට පසුදින සිදුවිය යුතුව තිබූ නිසා ය. ට්‍රම්ප් මෙම තීරණය ගත් අවස්ථාවේදී ඇමරිකාව පුරා උද්ඝෝෂණ ද ඇති විය. ‘‘ට්‍රම්ප් විද්‍යාව ප්‍රතික්ෂේප කරයි. ඇමරිකාව ගිනි ගෙන දැවෙයි‘‘ යැයි එවන් එක් උද්ඝෝෂණයකදී සඳහන් විය.

2015 දෙසැම්බර් මාසයේ අත්සන් කරනු ලැබූ මෙම ගිවිසුම, 2016 නොවැම්බර් 4 වැනිදා පටන් නිල වශයෙන් බලාත්මක විය. එදින වන විට ලෝකයේ ගෝලීය විමෝචනයන් සිදුකරන රාජ්‍යයන්ගෙන් 55%ක් පමණ මෙයට අත්සන් තබා දින 30 ක් ඉක්ම ගොස් තිබිණි. බලත්මක කිරීමෙන් පසු වසර 3 ක් යන තෙක් කිසිදු රාජ්‍යයකට මෙයින් ඉවත් වීම දැනුම් දිය නොහැකි අතර, එසේ දැනුම් දීමෙන් පසුව ද සාමාජික රාජ්‍යයක් මාස 12 ක් සම්මුතිය සමග සිටිය යුතුය. මේ කාල සීමාවන් අවසන් වූයේ මෙයට දින 2 කට පෙර 2020 නොවැම්බර් 4 වැනිදා ය.

කියවන්න – ට්‍රම්ප් ඉටු කළ පොරොන්දු සහ ඉටු නොකළ පොරොන්දු

ඒ අනුව පැරිස් සම්මුතියෙන් ඉවත් වූ ලොව ප්‍රථම රට බවට ද ඇමරිකා එක්සත් ජනපදය පත් විය.

අනාගතයේදීත් යම් ජනාධිපතිවරයෙකු මෙම සම්මුතියෙන් ඉවත් වීමට කල්පනා කළහොත්, එයට මුහුණ පෑම සඳහා සංකීර්ණ කොන්දේසි අන්තර්ගත කළ යුතු විය. කෙසේ වෙතත් ට්‍රම්ප් මෙසේ එයින් ඉවත් වුවත්, ඉදිරියේදී යම් ජනාධිපතිවරයකු නැවත ඊට සම්බන්ධ වන්නට තීරණය කරන්නේ නම් එසේ කිරීමට ද හැකියාව ඇත.

දේශගුණික වෙනස්වීම සම්බන්ධ ගෝලීය එකතුවක් ඇති කිරීමට පෙර දී ගත් උත්සහයන් ව්‍යර්ථ වී ගියේ එක්සත් ජනපදයේ අභ්‍යන්තර දේශපාලනික හේතූන් නිසා ය.

මෙයට පෙර ද ඇමරිකාව පාරිසරික ගිවිසුම්, සම්මුති සහ එකඟතාවයන් සම්බන්ධයෙන් මෙයට සමාන අත්දැකීම් ලබා තිබේ.

1997 වසරේදී ඇමරිකාව දේශගුණය සුරැකීමට අදාළ කියොතෝ සම්මුතියට ජාත්‍යන්තර වේදිකාවේදී එකඟ වුවත්, ක්ලින්ටන් පරිපාලනය ඒ සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය ලබාගැනිමට අසමත් විය.

ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමෝචකයා ඇමරිකාවයි

මෙසේ පැරිස් සම්මුතියෙන් ඉවත් වූයේ මිහිතලය උණුසුම් වීමට බලපාන හරිතාගාර වායූන් විමෝචනයන්ගෙන් 15%කට, එනම් වැඩිම කොටසකට වග කිව යුතු රාජ්‍යය වීම ඛේදවාචකයකි. ලෝකයේ විශාතලම හරිතාගාර වායු විමෝචකයා ඇමරිකාව වන අතර, ලෝකයේ වැඩියෙන්ම හරිතාගාර වායු විමෝචනය කරන ප්‍රබල ආර්ථිකය වන්නේ ද ඇමරිකාවයි.

එසේ තිබියදීත් එදා ට්‍රම්ප් ගත් අනුවණ තීරණය මේ වන විට යථාර්ථයක් බවට පත් ව ක්‍රියාවට නැංවී තිබේ. ඇමරිකානුවන්, අනාගත ජනාධිපතිවරයෙකු යටතේ මේ වරද නිවැරදි කර නොගන්නේ නම්, ඇමරිකාවේ කුමන දේශපාලන පරිවර්තන සිදුවුවත්, පාරිසරික හදිසි තත්වයන් හමුවේ ඔවුන් අනාථ දරුවන් බවට පත් වනු නිසැක ය.

පෙර ලිපිය
බයිඩන්ගෙන් ඓතිහාසික වාර්තාවක් : ජනප්‍රිය ඡන්දයෙන් 2008 වසරේදී ඔබාමා තැබූ වාර්තාව බිඳ හෙළයි

Update: ට්‍රම්ප් ආධාරකරුවෝ ආයුධ සන්නද්ධව ඡන්ද ගණන් කිරීමේ ස්ථාන වටලති

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020
https://outboundtoday.com/tag/uselection2020/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි