×

මිනියක්, දෙකක්, දහයක්, සීයක් බෑවීම ප්‍රජාතන්ත්‍රවාදය වීම හෙවත් ස්ක්විඩ් ගේම්

ඉතා කෙටිකලක් තුළ මුලු ලොවක් තම ග්‍රහණයට නතුකර ගත් කතාමාලාවක් ස්ක්විඩ් ගේම්. සමාජ මාධ්‍ය ජාල අස්සක් මුල්ලක් නෑරම ඇසෙන වචනයක් ස්ක්විඩ් ගේම්. දකුණු කොරියානු ටෙලිනාට්‍ය සංස්කෘතිය වෙනත්ම මානයකට රැගෙන ගිය කතාමාලාවක් ස්ක්විඩ් ගේම්.


මොකද්ද මේ ස්ක්විඩ් ගේම්?

මේ දින වල සමාජ මාධ්‍ය ජාලා වල අස්සක් මුල්ලක් නෑරම ඇසෙන වචනයක් ස්ක්විඩ් ගේම්. ස්ක්විඩ් ගේම් යනු එපිසෝඩ නවයකින් සමන්විත නෙට්ෆ්ලික්ස් නාලිකාවට අලුතින් ම එකතු වූ, දකුණු කොරියානු කතාමාලාවකි. මෙය ත්‍රාසය, ක්‍රියාන්විත, නාට්‍ය, ෆැන්ටසි යන ජොනරාවන් රැසකට අයත් වන කතාමාලාවකි. විකල්ප නූතන සමාජයක ‘ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය’ පෙන්වන ස්ක්විඩ් ගේම් ධනවාදයෙන් ඇලී ගැලී සිටින ජනයා ‘වඩා යහපත් සමාජයක්’ උදෙසා පාලනය කරන අමුතුම ක්‍රීඩාවක් ගැන තොරතුරු හෙළි කරයි.

ස්පොයිලර් ඇලට්! ඔබ තවමත් ස්ක්විඩ් ගේම් නරඹා නොමැති නම්.. මෙම ලිපිය වහා කියවීමෙන් වැළකී සිටින්න.

දකුණු කොරියාවේ රහසිගත දූපතක සිදුකරන ‘ද ගේම්’ නම් තරඟාවලියකි. මෙය අද ඊයෙක ආරම්භ වූවක් නොවේ. දශක ගණනාවක් මුළුල්ලේ සිදුවූවකි. තරඟයේ නීති රීති සරලයි. සමස්ත තරඟාවලිය පුරාවට තරඟ හයක් පැවැත්වෙන අතර, තරඟකරුවන් 456 දෙනෙක් මීට සහභාගී වෙති. ඔවුන් විවිධ තරාතිරම් වල සිටිනවුන් ය. තරඟය තුළ උස්මිටිකම් – ලොකුපොඩිකම් – ස්ත්‍රී-පුරුෂභේදයන් කිසිවක් නැත. තරඟාවලිය පුරාවට පවතින තරඟ හයම දකුණු කොරියානු ජන සංස්කෘතියේ එන ළමා ක්‍රීඩා ඇසුරින් නිමවී ඇත. එබැවින් එකඳු තරඟයක් හෝ තරඟවදින්නන්ට අමුතු අත්දැකීමක් නොවේ. සෑම තරඟයකදී ම ජයග්‍රහණය ලබන තැනැත්තා ඊළඟ තරඟ වටය වෙත පියමනින අතර, තරඟ හයම දිනන තැනැත්තා ට කොරියානු වොන් බිලියන 45.6 ක මුදල් ත්‍යාගයක් හිමිවේ. තරඟයක් තුළ පැරදෙන තැනැත්තෙකුට උරුම වන්නේ… මරණයයි!


තරඟ සියල්ල සරලයි.. දකුණු කොරියානු ජන සමාජයේ ළමා ක්‍රීඩා ඇසුරින් සියළු තරඟ නිමවී ඇත..

ඔව්. තරඟ වටයක් තුළ පරාජය වන්නාට උරුම වන්නේ මරණයයි. මෙය බලහත්කාරයෙන් සිදුකරන මරණයක් ද නොවේ. තරඟයට එළඹීමට ප්‍රථම සෑම තරඟකරුවකුගෙන් ම ගිවිසුමක් අත්සන් කරවා ගන්නේ ද මේ නිසාම යි. සියළු මරණ සිදුවන්නේ අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී වූ රාමුවක් තුළය. තරඟ සංවිධායකයන්, ඝාතකයන්, ආරක්ෂක නිලධාරීන්, ආරාධිත අමුත්තන් සියල්ල මුහුණු ආවරණය කරගෙන සිටින්නේ ද මෙම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටයි. කිසිවකු කිසිවකුගේ මුහුණු සියැසින් දැක නොමැත. තරඟාවලිය පුරාවට ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ එසේ ය. තරඟයක් පැරදීම මරණයට සුදුසුකම් ලබන්නක් යැයි තීරණය කිරීමට ස්ක්විඩ් ගේම් සංවිධායකයින් හට අවසර ලබා දුන්නේ කවුරුන් විසින් දැයි යන්න පැහැදිලි නැත. එහෙත් මෙම ක්‍රීඩාව නීතිවිරෝධී බවක් දක්නට ද නොමැත. ද ගේම් හෙවත් ස්ක්විඩ් ගේම් තරඟාවලියට ජාත්‍යන්තර ජාලයක් ඇති බව නම් පැහැදිලිය. ඔවුනොවුන් සන්නිවේදනය කරන්නේ මිනිස් අක්ෂර හෝ වචන වලින් නොව මුදල් වලින් බව ද පැහැදිලි ය.

ස්ක්විඩ් ගේම් බැලූ බැල්මට ත්‍රාසය, මරණය, පිරි තවත් එක් මනස්ගාත ෆැන්ටසි කතාංගයක් මෙන් පෙණුන ද අතිශයින් ගැඹුරු සමාජ කියවීමක් එහි ගැබ්ව තිබේ. ස්ක්විඩ් ගේම් තරඟාවලියට සහභාගී වීමට ඇරයුම් ලබන පුද්ගලයන් ගේ ජීවිත ප්‍රවෘත්තීන් විමසා බැලුවහොත් මූල්‍ය වශයෙන් අන්ත බංකොලොත්භාවයක් පෙන්නුම් කරයි. ඔහු වෛද්‍යවරයකු විය හැකිය. ඇය වරලත් ගණකාධිකාරවරියක විය හැකිය. ඔහු පාරේ හිඟා කන යාචකයකු විය හැකිය. ඇය තම එක්කුස උපන් සොයුරා පෝෂණය කිරීමට මහදවල් මිනිසුන් ගෙන් සොරාකන හෙරක විය හැකිය. එහෙත් මෙම තරඟාවලිය තුළ ඒ කිසිවක් අදාළ නැත, ඔවුන් සියළු දෙනා මෙම ලේ වැකුණු භූමිය තුළ සමසේ ජීවිතය නන්නත්තාර වූවන් ය. ගෙවීමට ණය කන්දක් ඇති මහාසමාජය තුළ ඔවුනට කිසිදු ගැලවීමක් නැත. ණයකරුවන් අවි අමෝරා ගෙන සිටින්නේ මඟ රැකගෙන ය. ඊට වඩා මෙම ලේ වැකුණු භූමිය තුළ මිය යාම සැප ය. ‘ශක්තිවන්තයා ජයගනී’ යන්න සපථ කරමින් වොන් බිලියන 45.6 ක මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට සියල්ල තරඟ කළ යුතු ය. මහාසමාජයේ සංත්‍රාසයන් ගෙන් බේරීමට ඔවුනට ඇති එකම ගැලවුම් මාර්ගය ස්ක්විඩ් ගේම් ය. තරඟාවලිය තුළ පරාජය උරුම කරන්නේ මරණය බව දැනදැනත් ඔවුන් රැඳී සිටින්නේ මෙම හේතුව නිසා ය.


ජයගන්නාට තරඟයේ ඉදිරියට යා හැක. පරාජය වන්නාට වෙඩිතබා මරා දමයි..

ස්ක්විඩ් ගේම් කතාමාලාවට අනුව මෙම තරඟාවලිය ආරම්භ කර තිබෙන්නේ මෙම කතාන්දරය සිදුවන මොහොතේ අතිශයින් වයෝවෘද්ධ වූ කෝටිපති ව්‍යාපාරිකයකු විසිනි. ඔහුගේ අභිලාශය ජීවිතයට කිසිදු බලාපොරොත්තුවක් නොමැතිවූවන්ට බලාපොරොත්තුවක් ඇතිකරවීමයි. ඊටත් වඩා ඔහු සතු අතිමහත් ධනස්කන්ධය ‘කම්මැලිකමට’ කාට හෝ බෙදා දීමයි. නමුත් ඔහු ඒ සඳහා යොදාගන්නා උපායමාර්ගය අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදීව ම්ලේච්ඡයි. නූතන සමාජය තුළ සියල්ල මුදල් නැමති සාධකය මත රඳා පවතින බවත්, ධනය ඉදිරියේ සියළු ශුද්ධ වූ දේ කෙලෙසෙන බවත් මාක්ස්වාදය යොදා නොගනිමින් ස්ක්විඩ් ගේම් මනාවට කියා දෙයි. මුදල් මත මිනිස් ජීවිතයක පවතින වටිනාකම හෑල්ලු වීමේ උච්ඡතම අවස්ථාවක් ලෙස, ස්ක්විඩ් ගේම් ක්‍රීඩා පිටියේ ඉලක්කය වෙත දිවයාමට එකිනෙකා මරාගන්නා තරඟකරුවන් දෙස බලමින් අශ්ව රේස් ඔට්ටු දමන්නාක් මෙන් මුදල් ඔට්ටු දමන විදෙස් වීඅයිපී බලවතුන් කිහිපදෙනෙකු ප්‍රේක්ෂකාගාරයේ සිටිනු දක්නට හැකිය. ඔවුනට අනුව, ස්ක්විඩ් ගේම් තරඟකරුවන් යනු සොම්බින් පිරිසකි.

ස්ක්විඩ් ගේම් තුළ කිසිවිටක ‘සිස්ටම් චේන්ජ් කිරීමක්’ ගැන සඳහන් වන්නේ නැත. ඊට උත්සාහ දරන්නේ හෝ අරගල කරන්නේ ද නැත. බෝඩ් ලෑලි එල්ලා ගත් ‘දියව් දියව් සටන් පාඨ’ ද නොමැත. සිස්ටම් එක එලෙසම පවතී. සිස්ටම් එක කොපමණ ම්ලේච්ඡ වූව ද එය අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී ය. සාතිශය බහුතරය එම සිස්ටම් එකට කැමති ය. තාක්ෂණය අතිශයින් දියුණු ය. කිසිදු සංවේදනයක් නැත, කිසිදු චිත්තවේගයක් ද නොමැත. මරණය හමුවේ වැලපීමට කිසිවකු ද නොමැත. මරණයේ වේදනාව මිය යන්නාට නොව ජීවත්වන්නාට ය යන සමාජවාදී කියමන මෙම සමාජයට ආදේශ වන්නේ නැත. මිනිසකු මියයාම බල්ලෙකු බළලෙකු මියයාමට වඩා උසස් නැත. ජය, පරාජය අදාළ නොමැති, දිනන්නාට ඇතෙක් බරට වස්තුව ලබා දෙන, පරදින්නාට මියයාමට පෙර දෙවියන් සිහිකර ගැනීමට හෝ වේලාව ලබා නොදෙමින් මරා දමන කය හිරිවට්ටා ගත් චිත්තවේග රහිත මිනිසුන් කොට්ඨාශයක් විසින් ලොව පාලනය කරන බවට ස්ක්විඩ් ගේම් ඔබට යෝජනා කර සිටියි. ඔබ ජයගන්නේ හෝ පරාජයට පත්වන්නේ ඔබේම කල්ක්‍රියාවෙන් බව ද, ඔබ මරණයට පත්වන්නේ නම් ඊට හේතුව ද ඔබම බව ස්ක්විඩ් ගේම් තර්ක කරයි. ඔබගේ කල් ක්‍රියාවෙන් ජයගතහොත් එහි සතුට ඔබටම ය. පරාජයේ දුක ද ඔබටම ය.

ස්ක්විඩ් ගේම් වර්තමාන සමාජයට කොපමණ වලංගු ද යන්න මා දන්නේ නැත. එහෙත්, අධිපරිභෝජනය හා ජනප්‍රියතාවාදයට නතුවී දේදුනු මැද ජීවත් වීමට වෙරදරන මනුෂ්‍ය ජීවිතය, එම ප්‍රතිරූපයම පවත්වා ගැනීමට තවතවත් මුදල් මතම යැපීම නිසා යම් දිනෙක මනුසත්භාවයේ පාලනයෙන් තොරවූවහොත්,  එදින එළඹීමට ප්‍රථම ඊට එරෙහිව සිදුකරන මනා අනතුරු ඇඟවීමක් ලෙස ස්ක්විඩ් ගේම් හැඳින්විය හැකි බව මාගේ විශ්වාසයයි.

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි