×

“මුගාබේ ආගාධයට” වැටුණු සිම්බාබ්වේ ක්‍රිකට්

මේ තත්ත්වය ලෝකයේ ඕනෑම රටක ක්‍රිකට්වලට පමණක් නොවන සියලු විෂයන් සහ දේශපාලන බලය පැවතිය යුතු ආකාරය ගැන උදාහරණ සපයන්නේය.


සිම්බාබ්වේ කණ්ඩායම 1992 දි ටෙස්ට් තත්ත්වය ලබන විට ලෝකය ප්‍රශ්න කරමින් සිටියේ ඔවුන්ට ටෙස්ට් තත්ත්වය නොදෙන්නේ ඇයි ද යන්නය.එහි සිටි ඇන්ඩි ප්‍රයිකෝෆ්ට් ප්‍රමුඛ ක්‍රීඩකයින් රැසක් ලොව ඕනෑම ටෙස්ට් කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට සුදුස්සන් ලෙස හැඳින්විය.ඊට අමතරව ඩන්කන් ප්ලෙචර්,ෆ්ලවර් සහෝදරයන් ඇතුළු දැවන්නතයෝ ගණනක් ටෙස්ට් පිටියට නො’ආවද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොමඳ ගෞරවයට පාත්‍රව සිටියේය

මේ නාම ලේඛණය ගත් විට ඇලිස්ටයාර් කැම්බල්,හීත් ස්ට්‍රික්,ඩේව්ඩ් හවුටන්.පෝල් ස්ට්‍රෑන්ග්,හෙන්රි ඔලෝන්ගා,එඩෝ බ්‍රැන්ඩස්, පූමි මබන්ග්වා ලෙස දිගට පෙගැස්විය හැකිය.නමුත් ටයිබු නම් යොවුන් නායකයාගේ ජාත්‍යන්තර පිටියේ ක්ෂණික සමුගැනීමත් සමඟ සිම්බාබ්වේ කණ්ඩායමේ යටි පෙළේ සැඟවී තිබෙන නරක දේශපාලන බලපෑම් එළියට එන්නට පටන් ගත්තේය.ඒ අතර හීත් ස්ට්‍රික් වැනි අදත් සිම්බාබ්වේ දේශයෙන් බිහි වූ හොඳම පන්දු යවන්නා ලෙස සැළකෙන ක්‍රීඩකයාද,පූමි මබන්ග්වා වැනි ස්ට්‍රික්ගේ සහයක වේග පන්දු යවන්නා ද වන්නේය.

දකුණු රොඩේෂියාව ලෙස සිම්බාබ්වේ මීට වඩා පළල් වූ අතර ඒ වෙනුවෙන් 1965 සිට කළ සටනකින් පසුව 1980 දී සිම්බාබ්වේ නිදහස් රාජ්‍යයක් බවට පත් විය.ඒ වෙනුවෙන් කැප වූ රොබට් මුගාබේ ජනතාව වැඩි කැමත්තකින් එහි නායකයා බවට පත් කර ගත්තේය.ඒ කැමත්ත ජනතාව කිහිප අවස්ථාවකම මුගාබේට ලබා දුන් අතර මුගාබේ එය පසුව තමන්ට සිතැඟි පරිදි ජාතිවාදය සහ අපිරිසිදු මූල්‍ය කළමනාකරණය මඟින් විනාශයට ඇඳ ගියේය.

අද සිම්බාබ්බවේ මුගාබේ ජීවත්ව නැනත් ඔහුට සාප කරන රටක් බවට පත් වී ඇත.අඩුම තරමේ අද සිම්බාබ්වේට මුදල් ඒකකයක් හෝ නැත.ඒ තරමටම මුදල අවප්‍රමානය වි වියැකී ගොස් භාවිතාවෙන් ඉවත්ව ඇති අතර අද ජාත්‍යන්තර මුදල් ඒකකවලින් එරට ගනු දෙනු කරන තත්ත්වයට පත්ව ඇත.

වංචාව,දූෂණය,මුදල් කළමනාකරණයේ දුබලතා මෙන්ම වර්ණය පදනම් කරගෙන ජනතාවට වෙනස් කොට සැළකීම වැනි කාරණා නිසා දරුණු මානව හිමිකම් කඩ කරන රටක් ලෙස ආර්ථික සම්බාධක වැටෙන සහ ලෝකයෙන් කොන් කරන ජාතියක් බවට සිමබාබ්වේ පත් වෙමින් තිබිණ.ක්‍රිකට් නොව වෙන කිසිඳු ක්‍රීඩාවකදී ලෝකය සමඟ ගනු දෙනු කරන්නට නොහැකි හුදෙකලා රටක් බවට සිම්බාබ්වේ පත්වෙමින් තිබෙන මොහොතක රට තුළ ඇති වූ හමුදා කැරල්ලකින් මුගාබේගේ දරදඩු අපියකරු පාලනයේ මෙහෙයුම් කාර්යයට යොදාගත් හමුදාවම මුගාබේව පළවා හැරියේය.

ජාතිවාදය,මූල්‍ය අවපාලනය වැනි සියලු කරුණු හේතුවෙන් විරැකියාව,උද්ධමනය සමඟ මිනිස්සුන්ට හිමි දායාදය දුප්පත්කම,බඩගින්න සහ නූගත්කම බවට වැඩෙමින් පැතිරෙමින් තිබියදී මුගාබේගේ රාජ්‍ය පාලනයේ හිතවත්තු සිදු කළේ,මුගාබේ පදයට අඩව් ඇල්ලිමය.සීමාවක් නැතුව ඔවුන් මුදල් අච්චු ගැසූ අතර ලොව පුරා පැතිර ගියේ පාන් රාත්තලකට විල් බැරෝවක් පුරවා සල්ලි අවශය්‍ය වන තරමට සිම්බාබ්වේ මුදල් ඒකකය පිරිහ ඇති බවය.අච්චු ගැසීම හැර තිබෙන මුදල කළමණාකරණයට ඉඩ නොතැබූ දූෂිත පාලනය සියලු අත විසිර පැතිර යාමේ ප්‍රතිපලයක් ලෙස සිම්බාබ්වේ ක්‍රීඩාවටද රටේ සියලු මානව සම්පත්වලට හිමි වූ අපිරිසිදු මානව කළමණාකරණයේ අවිධිමත්භාවය උරුම විය.

ඒ නිසා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්බවේ තරග දෙස ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැන් අවශ්‍යය සියලු තරග පහසුවෙන් ජය ගැනීමය.සිම්බාබ්වේ දේශපාලනය සහ ආර්ථිකය එරටට අත් කර දී තිබෙන ඇත්ත තත්ත්වය මෙබඳුය.එහෙත් මිට දශක දෙකකට පමණ එහා අතීතය ඊට වෙනස්ය.හීත් ස්ට්‍රීක් ගේ පන්දු හෝ ෆ්ලවර් සහෝදරයන්ගේ පිති සමඟ දිනීම ගැන හිතන්න පහසු නැත.පරදින්න ඉඩ ඇතිකමක් සහිතව පිටියට බසින ශ්‍රී ලංකාව බොහෝ විට ආරක්ෂා වූයේ පිත්තටත් වඩා ශ්‍රී ලංකාව සතුව සිටි විශ්මිත පන්දු යවන්නන් දෙදෙනා වන මුරලිගේ සහ වාස්ගේ පන්දු යැවීම් නිසා ය.ශ්‍රී ලංකාව ලද අපකීර්තිමත්ම ජයග්‍රහණය වාර්තා වෙන්නේ අරවින්ද සිල්වා සහ අර්ජුන රණතුංගු එක් වී තැබූ අපූර් සබඳතාවයකින්ය.අද ද දිනුවට වඩා කීර්තියක් පැරදුණානම් යැයි සිතෙන තරමට විනිසුරුවන් විසින් වැරදි කළ එම තරගය එකල සිට ක්‍රිකට් බලන්නෙකුට හොඳටම මතක තිබෙනවාට සැක නැත.

කෙසේ හෝ ක්‍රිකට් පමණක් රටක නොපවතින බව මුගාබේගේ දේශයේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන්හි කඩා වැටීම හරහා කියවා ගැනීම වැදගත්ය.ක්‍රිකට්වලට ක්‍රිකට් ලෙස පැවතිමේ අවකාශය දේශපාලනික වශයෙන් සර්ව බලධාරි වීමේ හැඟීමත් සමඟ අහිමිව යන බව මුගාබේගේ පාලනය හරහා ඔප්පු විය.ස්ට්‍රීක් වැනි සුදු ක්‍රීඩකයන් පමණක් නොව ටයිබු,මබන්ග්වා වැනි ක්‍රීඩකයෝද ඒ බව කීහ.මුගාබේගේ ස්වරූපය සියල්ලට ආවේශ වී තිබූ රටේ පාලකයාගේ රුචිකත්වය පරිදි සියල්ල සිදු විය.ඒ නිසා මුගාබේ ක්‍රිකට් නොගැසුවාට මුගාබේට ඕනි විදිහේ ක්‍රිකට් සිම්බාබ්වේ ක්‍රිකට් විනාශ කළේය.

මේ තත්ත්වය ලෝකයේ ඕනෑම රටක ක්‍රිකට්වලට පමණක් නොවන සියලු විෂයන් සහ දේශපාලන බලය පැවතිය යුතු ආකාරය ගැන උදාහරණ සපයන්නේය.සිම්බාබ්වේ නොවි සිටීමට සහ සිම්බාබ්වේ වීමට එහි ඇති සාධක ඉවසිල්ලෙන් කියවා බැලීම වැදගත්ය.ශ්‍රී ලංකාවට 3 – 0 ක් ලෙස ජය ගැනීමට ඉඩ තිබුණු තරගාවලියක් 2 – 1 ලෙස ජයගෙන නිමා කරන්නට සිදු විය.ශ්‍රී ලංකාවට දිනන්නට ගැලපෙන සත්කාරත්වයට එහි අනන්‍යතාවය අනුව හිමි විය යුතු තනතීරුවක් ලැබුණේ අවසාන තරගයේ දී පමණය.එසේම මෑත කාලයේ දක්ෂතා අතර සිටින බොහෝ දෙනෙක්ට පීඩාවක් වන ආකාරයට පැමිණ තිබෙන යෝග්‍යතා පරීක්ෂණය එක පාරට කඩා වැටීම ක්‍රීඩාවට බලපාන පමානය තේරුම් ගන්නට තව කාලයක් ඉවසිල්ලෙන් බලා සිටිය යුතුය.නමුත් එය ඉවසිල්ලෙන් ක්‍රමිකව කරගෙන යන්නේනම් කාලයකදී එය යහපත් ප්‍රතිපල ගෙන එන දෙයක් වනු ඇත.

නමනීයත්වය පාලනයකට වැදගත්ය.දේශපාලනය හැම තැනකදීම අත පෙවීම නිසා ඒ ඒ කේෂ්ත්‍රයන්හී ඒ විෂයන්ට අදාළව තිබිය යුතු නමනීයත්වය අහිමි වූ සිම්බාබ්වේ අසාර්ථක වූයේ දේශපාලනයෙන් පමණක් නොව,සමස්තයෙන්මය.තවත් පැහැදිළිව කිව්වොත් රටක් හැටියටය. රටක දේශපාලනය යනු ඒ නිසා ක්‍රීඩාවට සෘජුවම අදාළ වන බැවින් පුරවැසියා ක්‍රීඩාව ගැන හිතන තරමටම දේශපාලනය ැන නිවැරදි දැක්මක් ඇති කර ගැනීමද බෙහෙවින් වැදගත්ය.

රණසිංහ මුදියන්සේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි