×

මෙහෙම ද දික්කසාද විය හැකිය!

දික්කසාදයක් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි ලෝකයේ රටින් රටට වෙනස් වේ.


ඇතැම් රටක එය ඉතා අසීරු දෙයක් වන අතර, ඇතැම් රටකදී දික්කසාද වීම සඳහා අධිකරණය ඉදිරියේ සිදුකරන සරල සඳහනක් පමණක් වුව සෑහේ. පහත දැක්වෙන්නේ දික්කසාද වීම සඳහා විවිධ රටවලදී සාර්ථක හේතු ලෙස පිළිගැනුණු කරුණු දහයකි. ඒවා ඇතැම්විට විකාරරූපී ලෙස ඔබට පෙනී යා හැකිය.

1. පෝලන්ත කාන්තාවක් වරක් සිය සැමියාගේ නින්දෙන් ගෙරවීම මත දික්කසාදය ලබාගත්තා ය. ඈ කියා සිටියේ ඔවුන් විවාහ වූ දා සිට එක් රාත්‍රියක්වත් තමන්ට සුවදායී ලෙස නිදාගත නොහැකි වූ බවයි.

2. එක්තරා ඉතාලි තරුණයෙක් සිය මවට කොතරම් ආදරය කළේ ද යත් මධුසමය දිනයේ පවා මවගෙන් ඈත්වී සිටීමට අකමැති විය. ප්‍රතිඵලය වූයේ ඔහු සිය මව මධුසමය දා රාත්‍රියේදී හෝටලයට කැඳවාගෙන යාමයි. මනාලිය සති තුනකට පසු දික්කසාදය ඉල්ලා සිටියා ය.

3. 2007 වසරේදී දික්කසාද ඉල්ලා සිටි අමෙරිකානු යුවළකට අවශ්‍ය වූයේ සිය විවාහක නිවෙසේ ම තවදුරටත් ජීවත් වන්නට ය. ඒ නිසා විනිසුරු, නිවෙස හරියට ම දෙකට බෙදෙන සේ මැදින් බිත්තියක් බැඳීමට නියම කළේය.

4. 2008 වසරේදී රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළ පරිදි එක්තරා සර්බියානු ගොවියෙක් සිය බිරියගෙන් වෙන් විය. තීන්දුව අනුව එතෙක් කල් ඔවුන් දෙදෙනාට ම අයිති වූ සෑම දෙයක් ම සමාන ලෙස දෙකට බෙදිය යුතු වූයෙන් එම ගොවියා, බිම හාන යන්ත්‍රය පවා විදුලි බලයෙන් දෙකට ඉරුවේ ය.

5. එමා බ්රු නමැති අමෙරිකානු කාන්තාව, සිය සැමියා විසින් තමන් දික්කසාද කර තිබෙන බව මුලින් ම දැනගත්තේ ෆේස්බුක් හරහා ය. ‘නීල් බ්රු, එමා සමඟ සිය විවාහය අවසන් කළේය’ යැයි ඇගේ සැමියා එහි අප්ඩේට් එකක් දමා තිබිණි.

6. වරක් ප්‍රංශයේ අධිකරණයක් සැමියාගේ දුරාචාරය සඳහා සාක්ෂි වශයෙන් ගිරවකු කැඳවීය. එහිදී එම ගිරවා සැමියා විසින් අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගිය කාන්තාවන් තිදෙනකු ඔවුන්ගේ ඡායාරූපවලින් නිවැරදිව හඳුනාගැනීමට සමත් විය.

7. තායිවාන කාන්තාවක් වරක් සිය සිව් වසරක විවාහ ජීවිතය නීතියෙන් අවසන් කර දැමුවේ සිය සැමියාගේ ජනනේන්ද්‍රිය තමන්ව තෘප්තිමත් කිරීමට නොසෑහෙන බව කියා සිටීමෙනි.

8. 2009 වසරේදී බ්‍රිතාන්‍ය යුවළක් සිය වසර 77 ක විවාහ ජීවිතය අවසන් කරමින් වෙන්වූහ. එයට හේතුව වී තිබුණේ 40 දශකයේදී සිය බිරිය විසින් පවත්වාගෙන ගිය පෙම් සබඳතාවක් සැමියාට හසු වීමයි. ලෝකයේ වැඩිම කාලයක් යුග දිවිය ගත කිරීමෙන් පසුව දික්කසාද වූ යුවළ ලෙස ඔවුන් හැඳීන්වේ.

9. 2012 වසරේදී චීන සැමියෙක් සිය බිරිය ගෙන් දික්කසාදය මෙන් ම වන්දියක් ද ලබාගත්තේ ඇය ප්ලාස්ටික් සැත්කමක් කර ගෙන සිටි බව තමන්ට වසං කිරීමේ හේතුව මත ය. විවාහ කර ගත් බිරිය බෝනික්කියක් මෙන් ලස්සන වුව ද, උපන් දියණිය අවලස්සන වීමට හේතුව සොයායාමේදී මේ බව හෙළි වී තිබිණි.

10. අමෙරිකාවේ ඩෙලාවෙයා ප්‍රාන්තයේදී යුවළකට, සිය විවාහය විහිළුවක් හෝ හිනාවට කාරණාවක් බවට පත්වී ඇතැයි හැඟී ගියහොත් එය දික්කසාදය ලබාගැනීම සඳහා හේතුවක් වේ.

PBS ඇසුරිනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි