×

“මේ අර්බුදයට මා වගකිව යුතුයි..” නෑ නෑ එයා නෙමෙයි.. එංගලන්තේ අගමැති!

ප්‍රශ්න මඟහැර යාම අතින් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා සූරයෙක් බව අමුතුවෙන් කිවයුතු නැහැ...


බ්‍රිතාන්‍යයේ ජීවන වියදම් ආශ්‍රිතව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා ඇතුළු රජය නිසි පරිදි ක්‍රියා නොකළ බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පාපොච්ඡාරණය කර තිබෙනවා.

බදුගෙවන්නන් ලෙස බ්‍රිතාන්‍ය පුරවැසියන් ලබා දෙන මුදල් මෙම අර්බුදය විසඳීමට ක්ෂණික විසඳුම් ලබා නොදෙන බව තමා පිළිගන්නා බව ද ඔහු පවසනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම පාපොච්ඡාරණය කර තිබෙන්නේ ඉකුත් අඟහරුවාදා (03) දින අයිටීවී නාලිකාවේ ගුඩ් මෝනිං බ්‍රිටේන් නම් වැඩසටහනට සහභාගී වෙමින්.

බ්‍රිතාන්‍ය විපක්ෂය යෝජනා කළ පරිදි තෙල් හා ගෑස් සමාගම් මත හදිසි බදු පැනවීමේ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කරන බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා, පිරිවැය අඩු කිරීම සඳහා ආයෝජනය කිරීමට බලශක්ති සමාගම් දිරිමත් කිරීමට රජය කටයුතු කරන බව ද සඳහන් කරනවා.

රජයක් වශයෙන් තව කළ හැකි බොදේ ඇති මුත් මෙම මොහොතේ තීරණාත්මක කරුණ වන්නේ මධ්‍යම හා දිගුකාලීන අන්දමින් මිළගණන් සමඟ ගනුදෙනු කිරීමට වග බලා ගැනීම බවද ඔහු අවධාරණය කරනවා.

බ්‍රිතාන්‍යයේ ජීවත් වන සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට තම ජීවන වියදම් බොහෝ සෙයින් කපා දැමීමට සිදුව ඇති බවත්, ශීත සෘතුවලදී උණුසුම්ව සිටීමට බස්රථයකට ගොඩවී රැය පහන් කිරීමට සිදුව ඇති බවත්, ඇතැම් වැඩිහිටි පුද්ගලයන්ට තම ආහාර වේල් තුනෙන් එක් වේලක් කපා දැමීමට පවා සිදුව ඇති තත්ත්වයට එරට ආර්ථිකය පත්ව ඇති බවත් අනාවරණය වෙද්දී, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා එකී කිසිඳු තත්ත්වයකට අදාළව සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලබා දී නැති බවයි ද ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ.

කෙසේවෙතත්, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ප්‍රමුඛ විපක්ෂය යෝජනා කරන තෙල් හා ගෑස් කර්මාන්තශාලා ඇතුළු මහා පරිමාණ සමාගම්වලින් අයකෙරෙන බදු ඉහළ නැංවීමේ යෝජනාව නම් ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කර සිටිනවා.

බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ බලශක්ති සමාගම් මත හදිසි බදු අයකළහොත් ආයෝජන අහිමි වීමේ අවදානමක් තිබෙන බවයි. එමඟින් බලශක්ති ක්ෂේත්‍රයට අදාළව මහජනතාව ගෙවිය යුතු මිළ අඩු කිරීමට ඇති හැකියාව ඇහිරී යන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා එසේ පැවසුවද, බ්‍රිතාන්‍ය ඛනිජතෙල් සංස්ථාව පවුම් බිලියන 5 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක) ලාභයක් මෙම වසරේ පළමු මාස තුන තුළ පමණක් ලබා තිබෙනවා.

බ්‍රිතාන්‍ය ඛනිජ තෙල් සංස්ථාව මෙලෙස අතිවිශාල ලාභයක් ලබා තිබීම මධ්‍යයේ බ්‍රිතාන්‍යයේ ජීවන වියදම හිනිපෙත්තට නැඟ තිබෙද්දී, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා කියන අන්දමේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන කඩා වැටීමේ අවදානම සහ ඒ හේතුවෙන් (විපක්ෂය යෝජනා කරන පරිදි) බලශක්ති සමාගම් වලට හදිසි බදු පැනවීම සිදුකළ නොහැකි වීම අයත් වන්නේ කුමන වර්ගයේ කුණුහරුපයකට ද යන්න ගැටළුවකි.

මේ අතර බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති සම්මේලනය නිවේදනය කරන්නේ ද ඛනිජතෙල් සංස්ථාව පවුම් බිලියන 05 ක තරම් අතිවිශාල ලාභයක් ලබා තිබෙන මොහොතක ජීවන විදයම හිනිපෙත්තට නැඟීම කිසිසේත්ම පිළිගත හැකි සත්‍යයක් නොවන බවයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය රජයේ පරිපාලනයේ බරපතල ගැටළුවක් ඇති බවත්, මෙය ජනතාව සූරාකෑමක් විය හැකි බවත් ඇතැමුන් තර්ක කර සිටිනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් දේශගුණ විපර්යාස පිළිබඳ ඡායා ලේකම් එඩ් මිලිබෑන්ඩ් පවසා සිටියේ, බලශක්ති සමාගම් ඔවුන්ගේ කොටස්හිමියන් වෙනුවෙන් සිය කාර්යභාරය ඉටුකරමින් සිටින මුත්, බ්‍රිතාන්‍ය රජය නොසැලිකිලිමත් අන්දමින් එරට ජනතාවට සේවය කිරීමට අසමත්ව සිටින බවයි.

බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඉහත රූපවාහිනී සාකච්ඡාවට සහභාගී වෙමින් පවසා තිබෙන්නේ, ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරගැනීමට පොලී අනුපාත සාධාරණ ලෙස හා ශක්තිමත් ලෙස තබා ගන්නා බවත්, ඉහළ නිපුණතා සහ ඉහළ වැටුප් සහිත රැකියා සඳහා මිනිසුන් බඳවා ගැනීම ඉහළ දැමීමට රජය කටයුතු කරන බවත් ය.

කෙසේවෙතත්, එය සිදුකරන්නේ කෙසේද යන්න මාධ්‍යවේදීන් ඇසූ පැණයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දීම මඟහැරි බවයි වාර්තා වන්නේ.

ප්‍රශ්න මඟහැර යාම අතින් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා සූරයෙක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ බව පසුගිය කාලසීමාවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත පාර්ටිගේට් සිදුවීමට අදාළව ඔහු හැසිරුණු අන්දමින් මනාව දැක ගැනීමට හැකිවූවා ඔබට මතක ඇති.

ඡායාරූප: ගෙටී ඉමේජස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි