×

‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නොවෙයි‘‘ – ක්‍රයිස්ට් චර්ච් ඝාතකයා දිවි ඇති තෙක් සිරගෙට

පුරා දින 4 ක් තිස්සේ ඇසෙන, නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් සංහාරයට වගකිව යුතු ඝාතකයා පිළිබඳ නඩු තීන්දුව අද උදෑසන ලබාදුන් අතර මේ අධිකරණයේදී දිගහැරුණු ශෝකයේත් කෝපයේත් කතාන්දරවල එකතුවකි.


අධිකරණ ශාලාව පිරී ගොස් තිබෙන්නේ කෝපයෙන් වියරු වැටුණු වින්දිතයන්ගෙනි. ඔවුන්, 2019 වසරේදී නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් සංහාරයට බිලිවූවන්ගේ ඥාතීන් ය. හිතමිතුරන් ය. බ්‍රෙන්ටන් ටැරන්ට් නමැති තුවක්කුකරු ඔවුන් ඉදිරියේ සිටියි. ජීවිත කාලයක් විඳවා ගත යුතු – ප්‍රියයන් අහිමි වීමේ මහා වේදනාව ඝාතකයාගේ මුහුණටම මුදාහරින්නට ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැකිය. එතෙක් ඔවුන්ගේ සිත්වලට සංහිඳියාවක් නැත. එය ඔවුන්ගේ ශෝක වීමේත්, කෝප වීමේත් අයිතියයි.

ඝාතනයට ලක් වූ 51 දෙනා වෙනුවෙන් 90 දෙනෙක් පමණ කතා කළහ.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේ පල්ලි දෙකකට ඝාතකයා උමතු වෙඩි පහර එල්ල කළේය. ඔහු තෙවන ප්‍රහාරයක් ද සැලසුම් කර තිබු බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

මේ 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයා මිනීමැරුම් චෝදනා 51කටද, ඝාතන උත්සායන් 40කට ද, එක් ත්‍රස්තවාදී චෝදනාවකට ද ලක්ව සිටියි.

අධිකරණ ශාලාව කඳුළින්ද විලාපයෙන්ද වැසී යයි. කුරානයේ පාඨ කියනු ඇසේ. ඔවුහු තමන් මේ ලෝකයේ වඩාත්ම ආදරය කළ අයගේ ඡායාරූප අත දරා සිටිති. ඒවා චූදිතයාට පෙනෙන්නට ඔසවාගෙන සිටිති. අධිකරණය ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගනියි.

Presentational grey line

‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නෙවෙයි..‘‘

සාරා ක්වාසම්

එසේ කියූ සාරා ක්වාසම්ගේ පියා මිය ගියේ අල් නූර් පල්ලියේදී චූදිතයාගේ වෙඩි පහරට ගොදුරු වීමෙනි.

‘‘මගෙ නම සාරා ක්වාසම්. දිදුළමින් සිටි මිනිසෙකුගේ – අබ්දෙල්ෆටා ක්වාසම්ගේ දියණිය.. ඒ නම මතක තියා ගන්න..‘‘ යැයි 24 හැවිරිදි සාරා කීවාය.

සිය පියාගේ ජීවිතයේ අවසන් නිමේෂයන් කිහිපය ගැන මතකය අවදි කළාය. ‘‘ඔහුට රිදෙන්න ඇති.. ඔහු බය වෙන්න ඇති.. ඔහු අන්තිමට මොනව හිතන්න ඇතිද…? මේ ලෝකෙ හැම දේටමත් වඩා මම ප්‍රාර්ථනා කරන්නෙ ඒ වෙලාවෙ ඔහුගෙ අත අල්ලගෙන හැම දෙයක්ම හරි යයි කියල ඔහුට කියන්න මට තිබුණ නම් කියලයි.. ඒත් මට ඒක කරන්න බැරි වුණා…‘‘

පියා සමග විනෝද ගමන් යන්නට සිතා සිටි බවත්, ඒ විනෝදගමන්වලදී පියා පිසින කෑමවල සුවඳ තමන්ට දැනෙන්නා සේ බවත් ඇය තවදුරටත් කීවාය.

ඉන්පසු මොහොතකට නතර වූවාය. හඬන්නට පටන් ගත්තාය. ටැරන්ට් දෙස බලා මෙසේ කීවාය.

‘‘මේ කඳුළු නුඹ වෙනුවෙන් නෙවෙයි..!‘‘

Presentational grey line

‘‘මට හිතෙන්නෙ නුඹයි මෙතන වින්දිතයා.. අපි බේරුණු අය…!‘‘

දෙනෙත් පියා ගැනීමට පෙර දින 48 ක් තුවාළ සමග පොර බැදූ හමියා තුයාන්ගේ බිරිඳ සෙකාරියා තුයාන් ය. සිය අහිමි වීම ගැන ඇය පැවසුවේ මෙවදන් ය.

‘‘මගෙ පුතාලගෙ තාත්තව ආපහු ගේන්න සල්ලි කොයි තරම් තිබුණත් බැහැ.. මට ඔහුව මතක් වෙනවා. ඔහු කෑම පිසූ හැටි.. ඔහුගෙ විහිළු තහළු.. ඔහු තමයි මගෙ ශරීරාරක්ෂකයා වුණේ. මාව විනෝදයෙන් තැබූ කෙනා වුණේ.. මාව සුව පහසුවෙන් තැබූ කෙනා වුණේ.. ඒ වගේම මගෙ හොඳම මිතුරාත් ඔහු…‘‘

‘‘මගෙ ලොකු පුතාට තාත්තා ගැන අවුරුදු පහක මතකයන් තිබෙනවා. මගෙ පුතා අහනවා ‘‘ ඇයි ඔහු මගෙ බාබව මැරුවෙ කියලා..මම ඔහුට කිව්වා තාත්තව මරපු කෙනා හරියට පෙර පාසලේ අනික් ළමයි එක්ක සෙල්ලම් කරන්න දන්නෙ නැති නිසා ඒ ළමයින්ට ගහන ළමයෙක් වගේ කියලා..‘‘

‘‘අනෙක් දරුවො තාත්තලත් එක්ක ඉන්නැද්දි මගෙ පුතාගෙ ඇස්වල තියෙන පාළුව මට පේනවා…‘‘

‘‘ඒත් නුඹේ නිහීන ක්‍රියාවන නිසා දහස් ගණන් නවසීලන්ත ජාතිකයන් අපිත් එක්ක සහයෝගයෙන් එකතු වුණා..

‘‘මට හිතෙන්නෙ නුඹයි මෙතන වින්දිතයා.. අපි බේරුණු අය…!‘‘

Presentational grey line

‘‘නුඹ කුණු කූඩයක්..!‘‘

අල් නූර් පල්ලියේදී අහාද් නබී හට සිය වියපත් පියා සදහටම අහිමි විය. නිව්සීලන්ඩ් වොරියර්ස් රගර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන අහමද්, සිය පිටාර ගලන කෝපය වසං කිරීමට උත්සාහ කළේ නැත.

‘‘නුඹ ඉහඳ පණුවෙක්..‘‘ යැයි පැවසූ ඔහු, ‘‘නුඹේ පියා කුණු එකතු කරන කෙනෙක්, නුඹ සමාජයේ කුණු කූඩයක් බවට පත් වුණා.. නුඹව කුණුගොඩක වළදාන්න ඕනෙ..‘‘ යැයි මහ හඩින් කෑ ගැසුවේය.

Ahad Nabi is seen during the sentencing hearing for Christchurch mosque gunman Brenton Tarrant
GETTY IMAGES
අහබ් දබි

ඉන්පසු ඔහු විනිසුරුගෙන් ආයාචනාවක් කළේ, මේ තැනැත්තාට කිසි දිනෙක සිපිරිගෙයින් පණ පිටින් එළියට එන්න තබන්න එපා යනුවෙනි.

Presentational grey line

‘‘ඔවුන්ගේ එකම අපරාධය මුස්ලිම් වී ඉපදීමද?‘‘

මයිසූන් සලාමා, මුහමද් අතා එලායාන්ගේ මව ය. සිය පුතුගේ ජීවිතයේ අවසන් මොහොත ගැන ඇය හැඬු කඳුළින් සිහිපත් කළාය.එහිදී ඇගේ පවුලේ ඥාතීන්ට සහ හිතමිතුරන්ට ඇයව වරින් වර වත්තම් කර ගැනීමට ද සිදුවිය.

‘‘අම්මා කෙනෙක් විදිහට මගෙ හදවත මිලියන වාරයක් බිඳී ගිහින්.. දරු ප්‍රසූතියේ වේදනාවට සමාන වේදනාවක් මට නැවත නැවතත් දැනෙනවා…‘‘

‘‘මගෙ ආදරණීය ආටාට ඒ වේදනාව කොහොම දැනෙන්න ඇතිද කියල මට හැම තිස්සෙම හිතෙනවා..‘‘

‘‘ඔහු කොහොමද වෙඩික්කරුවට මුහුණ දුන්නෙ.. මේ ජීවිතයේ මේක අවසානය කියල තේරුම් ගත්තාම ඔහුගෙ හිතේ මොනව තියෙන්න ඇතිද? නුඹ අහිංසක මිනිසුන් 51 දෙනෙකුගෙ ආත්ම බිල්ලට ගත්තා..

‘‘ඔවුන් කරපු එකම අපරාධය මුස්ලිම් ජාතිකයන් වී ඉපදීම…!‘‘

Presentational grey line

‘‘නුඹ පරාදයි… නුඹ අපිව ශක්තිමත් කළා…‘‘

කිහිප වරක් වෙඩි වැදෙන විට වසීම් සාති අලි දරාග්, අල් නූර් පල්ලියේ සිටියේ සිය දියණිය සමග ය. ඔහු  එක එල්ලේම චූදිතයාගේ මුහුණ දෙස බලා කතා කරන්නට පටන් ගත්තේය.

‘‘සුබ සන්ධ්‍යාවක් හැමෝටම.. නුඹට හැර…‘‘ ඔහු කීවේය. ‘‘හරියට තුවක්කුවක් පාවිච්චි කරන්න නුඹ දන්නෙ නැති නිසා අද අපි මෙතන ඉතිරි වුණා..‘‘

Wasseim Daragmih is seen during the sentencing hearing for Christchurch mosque gunman Brenton Tarrant
GETTY IMAGES
Wasseim Daragmih

මෙය අසා ඝාතකයා මහ හඬින් සිනාසුණු අතර, ඉන්පසු වහාම සිය  මුව වසා ගත්තේය.

ඉන් අනතුරුව දරාග්මියාගේ වදන් බරපතළ ස්වභාවයක් ගත්තේය. ‘‘නුඹ අපේ ප්‍රජාව විනාශ කරන්න අසමත් වුණා..‘‘ යැයි ඔහු කීවේය.

‘‘නුඹ හිතනව නම් නුඹ කරපු දේවල් නිසා අපේ ප්‍රජාව විනාශ වෙලා අපේ විශ්වාසය දෙදරල ගියා කියලා, නුඹ අසාර්ථකයි. නුඹ අපිව එකමුතු කළා. එක අරමුණකින් එක තැනකට එකතු කළා..‘ යැයි ඔහු පැවසුවේය.

* * *

මේ සියල්ල අතරතුර ඝාතකයා කිසිවක්ම කීවේ නැත.

ඔහු මොනවා කියන්නද? නීතියට හසු නොවුණත් හෘද සාක්ෂියේ අධිකරණයෙන් ඔහු මරණයට නියම වී සිටියි. මරණ දණ්ඩනය නවසීලන්තයේ තහනම් කර ඇති නිසා පමණක් සිය ඉතිරි ජීවිත කාලය ගත කරනු ඇත්තේ සිපිරි ගෙයි ය.

මේ අතර එක් කාන්තාවක් මෙසේ කීවාය. ‘‘කවදහරි මම ඔහුට සමාව දෙනවා… නමුත් අද නෙවෙයි..‘‘

* * *

ක්‍රයිස්ට් චර්ච් ඝාතකයාගේ තීන්දුව නවසීලන්ත වේලාවෙන් අද උදෑසන ලබාදුන් අතර, එහිදී ඔහුව දිවි ඇති තෙක් කිසිදු සමාව ලබාදීමකින් තොරව සිපිරිගෙට නියම කෙරිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි