×

යන්නේ නෑ නෑ මයි! බොරිස් ජොන්සන්ට අත්වන්නේත් මහින්ද ගේ ඉරණමම ද?

දේශපාලනය තුළ ප්‍රතික්ෂේප වනවා නම්, ජනතාවගෙන් ද ප්‍රතික්ෂේප වනවා නම් තවදුරටත් බලකෑදරකමින් ධුරයේ රැඳී සිටීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට කළ හැකි නින්දිතම අවමානයන් ගෙන් එකක්.


ඔන්න බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වචනේ දීලා.. ඔහු කියනවා පාර්ටිගේට් සිදුවීමට අදාළව ජ්‍යේෂඨ සිවිල් සේවිකා සූ ග්‍රේ විසින් නිකුත් කළ කැබිනට් විමර්ශන වාර්තාවේ සඳහන් කරුණු අනුව තමා ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ කියලා!

සූ ග්‍රේ මහත්මිය ගේ වාර්තාව අනුව, මුලුමහත් රටක් වසංගතයක් මධ්‍යයේ නිවසට වී සිරබත් කන්නාක් මෙන් දුක්විඳින විට රජයේ කොවිඩ් විධිවිධාන උල්ලංඝනය කරමින්, අධික ලෙස මත්පැන් පානය කරමින්, සුළුසේවකයන්ට හා ආරක්ෂක නිලධාරීන්ට නරක අන්දමින් සලකමින් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා අතිශය දරුණු වරද ගණනාවකට චූදිතයකු බවට පත්ව තිබුණා.

සූ ග්‍රේ වාර්තාවෙන් අවධාරණය කර තිබූ වැදගත්ම කරුණ තමයි නො. 10 ඩවුනිං වීදියේ කාර්යාලය තම නරක සංස්කෘතිය දිගටම පවත්වාගෙන යාම පිළිබඳ වගකීම දැරිය යුතුයි යන්න!

කුපක්‍රට පාර්ටිගේට් ජරමරය ගැන අපි මීට කලිං කතා කරලා තියනවා. කොවිඩ් උවදුර මැද සෞඛ්‍ය විධිවිධාන අමුඅමුවේ උල්ලංඝනය කරමින් තම නො.10 ඩවුනිං වීදියේ කාර්යාලයේ ජයටම සවුදිය පිරූ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා’ යන විරුදාවලිය ලද ඔහුගේ කෙරුවාව මාධ්‍ය මඟින් අනාවරණය වන විට, කැබිනෙට්ටු විමර්ශන හා මෙට්‍රොපොලිටන් පොලීසියේ විමර්ශන වලින් අනාවරණය වන විට, වරක නෑසුනා මෙන් හැසිරෙමින් ද, වරක ප්‍රශ්නය මඟහැර යමින් විපක්ෂ නායක කියර් ස්ටාර්මර් ට පරිභව කරමින් ද, වරක සමාවෙන්න යැයි කියමින් ද ප්‍රශ්නය ඇඟට නොගනිමින් ද රාජ්‍ය නායකයකුට කිසිසේත්ම නොගැළපෙන හැසිරීමක් දැක්වූ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා, බල කෑදරකමේ අවසාන තුරුම්පුව ද ගසා ඇති බවකි දැන් පෙනෙන්නට තිබෙන්නේ.

පාර්ටිගේට් ජරමරය සමඟ බ්‍රිතාන්‍යයේ දේශපාලන පිටිය උණුසුම් වුණා. විපක්ෂයේ පමණක් නොව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට නම්බු නාම පිට ඉවත්ව යන ලෙස බලකර සිටියා. එතැනින් ද නොනැවතී බොරිස් ජොන්සන් ගේ කැත දොස් වහගෙන පාලනාධිකාරියේ හිටපු මුනිරා මිර්සා වැනි කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් පවා මේ පාර්ටිගේට් ජරමරය නිසා ඔහු අහිමිකර ගත්තා. කිසිදාක නොවූ පරිදි ඔහුට විරුද්ධව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ම විශ්වාසභංග ලිපි ඉදිරිපත් වන්න ගත්තා. ඉතිහාසයේ පළමු වරට බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නායකයකු ලද චෝදනාවකට වරදකරු බවට පත්වන ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බොරිස් ජොන්සන්!

ඒ ඔක්කොම එහෙම වෙද්දී, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඉකුත් බදාදා (25) දින මාධ්‍ය හමුවක් කැඳවමින් නිර්ලජ්ජිත ලෙස ප්‍රකාශ කරන්නේ, නැහැ තමා ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැහැ කියා. තමා දිගටම තම ගමන යන බව ද ඔහු මාධ්‍යයට සඳහන් කරනවා.

ජොන්සන් එහෙම කියනකොට ලංකාවේ අපිට කාවදෝ මතක් වෙනවා නේද?

පාර්ටිගේට් සිදුවීමට අදාළව බොරිස් ජොන්සන් මේ ගතවූ වසරක එක හමාරක පමණ කාලය තුළ කළ ප්‍රකාශ ඔබට මතක ද? පාර්ටිගේට් ජරමරය ගැන මුල්ම වරට මාධ්‍ය වාර්තා පළවන විට, ඡායාරූප සමාජ මාධ්‍ය වල සංසරණය වන විට ඔහු කියා තිබුණේ මේ සියලු චෝදනා ‘අමූලික බොරු’ බව ය. මෙම සිදුවීම හටගත්තේ යැයි කියවෙන කාලසීමාව තුළ තම කාර්යාලයේ දී ‘සියලු කොවිඩ් විධිවිධාන වලට අනුකූලව’ තමා හැසිරී ඇති බවට සපථ කළා. එතැනින් මත්තට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව ප්‍රශ්න කරන විට වරක ඔහු ප්‍රශ්නයට පිළිතුරු දෙනු වෙනුවට කුප්‍රකට ළමා අපයෝජකයකුට දඬුවම් නොපැමිණවීම ගැන නීති ක්ෂේත්‍රයේ බැහැර කළ තර්කයක් ගෙන හැර පාමින් හිටපු අධිචෝදකයකු වූ වත්මන් විපක්ෂනායක ශ්‍රීමත් කියර් ස්ටාමර්ට පරිභව කළා. තවත් වරක මෙම සිදුවීම ගැන ‘මෙට්‍රොපොලිටන් පොලීසියේ විමර්ශන අවසාන වනතුරු සන්සුන් ව සිටින’ ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියා තිබුණා. තවත් වරක සෘජුව ප්‍රකාශ නොකළත් රුසියානු-යුක්රේන යුද්ධය නිදහසට කරුණක් ලෙස ගෙනහැර පාමින් යුක්රේනයට බ්‍රිතාන්‍යය සහාය දක්වන බැවින් පාර්ටිගේට් විමර්ශන නවතා දැමිය යුතු බවට තම මාධ්‍ය හිතවතුන් හරහා කියෙව්වා. අවසානයේ මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් ද බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා අදාළ චෝදනා වලට වරදකරු බවට නිගමනය කරන විට සමාවන්න යැයි කියා සිටියා, නො. 10 ඩවුනිං වීදියේ පැවැත්වූ සාද වල දී ‘කොවිඩ් විධිවිධාන උල්ලංඝනය කළ බව තමා දැනගෙන නොසිටි බව’ කියා සිටියා.

එසේ කියූ බොරිස් ජොන්සන් දැන් නැවත වරක් දක්ෂිණාංශයේ උද්දච්ඡකම මනාව පසක් කරමින් සූ ග්‍රේ මහත්මිය ගේ වාර්තාව ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ ඇගේ චෝදනා තමාට ‘ඇදහිය නොහැකි’ බවයි. තමා කලිං පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශ නොදැනුවත්කම මත කළ ඒවා බව වගේ කතාවක් දැන් බොරිස් ජොන්සන් කියාගෙන එනවා. ඒ අනුව, තමා පාර්ලිමේන්තුව නොමඟ හැර ඇති බව වක්‍රාකාරයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පිළිගන්නවා. මෙය ඉතාම බරපතල තත්ත්වයක්!

බොරිස් ජොන්සන් ගේ මේ ප්‍රකාශ වලින් ම පැහැදිලි වන්නේ ඔහු ජනතා නියෝජනය සහ මහජන මතය තඹ දොයිතුවකට ගනන් ගන්නේ නැති බවයි. මේ චර්යාව අතින් කුසලාන ගහපු දේශපාලඥයන් ඉන්න රටක ජීවත් වන අපට මෙය හොඳින්ම දැනිය යුතුයි.

කොහොමත් යුරෝපීය රටවල මිනිසුන් ගේ ජීවන රටාව අපේ රටවලට වඩා දියුණු මට්ටමක තියන නිසා අපේ රටවල දේශපාලඥයන්ගේ දූෂණ වංචා වගේ ඒ රටවල දේශපාලඥයන්ගේ දූෂණ වංචා වලට අපේ ජන විඥාණය එතරම් සංවේදී නැහැ. හැබැයි රටහදන තැන අපේ ඈයෝ යි ඒ රටවල් වල රටහදන තැන ඈයෝ යි අතර වැඩි වෙනසක් නැති බව දැන් පැහැදිලි වනවා.

කොහොම වුනත්, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා තම පූර්වගාමීන් වන තෙරේසා මේ සහ ඩේවිඩ් කැමරොන් ගෙන් ඉගෙන ගත යුතු පාඩමක් තිබෙනවා. 2016 වර්ෂයේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්ව යාම හෙවත් බ්‍රෙක්සිට් පිළිබඳ විවාදයේදී කැමරෝන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වය දැරිය යුතුයි යන මතයේ හිඳිමින් ජනමත විචාරණයක් ඉදිරිපත් කරනු ලැබුවා. එයින් පරාජය වූ ඩේවිඩ් ඉතාම නම්බු නාම පිට තම ධුරයෙන් ඉල්ලා අස්වී ඔහුගේ අනුප්‍රාප්තිකයා වන තේරේසා මේ ට අවස්ථාව ලබා දුන්නා. තේරේසා ට 2018 දී පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට නොහැකි වූ තැන තම ධුරයෙන් ඉල්ලා අස්වී බොරිස් ජොන්සන්ට අවස්ථාව ලබා දුන්නා.

දේශපාලනය තුළ ප්‍රතික්ෂේප වනවා නම්, ජනතාවගෙන් ද ප්‍රතික්ෂේප වනවා නම් තවදුරටත් බලකෑදරකමින් ධුරයේ රැඳී සිටීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට කළ හැකි නින්දිතම අවමානයන් ගෙන් එකක්. අත්හැරීමේ ගුණාංගය බොරිස් ජොන්සන් තවමත් අවබෝධ කරගෙන නැති සැටියකි. බොරිස් ජොන්සන් දැනට ආරක්ෂිතයි, මන්ද ඔහුට තව අවුරුද්දක් පමණ ධුරයේ රැඳී සිටීමට බලය තිබෙන නිසා. එහෙත් බොරිස් ජොන්සන් දිගටම මේ අන්දමින් හැසිරුණහොත් ඔහුටත් අර අපේ ඈයන්ගේ අගතනතුර දරපු යන්නේ නෑ නෑමයි කීපු මහින්ද ට ඉකුත් මැයි 09 වන දින වුනා වගේ ඉරණමක් අත්වන්නටත් ඉඩ නැතුවා ම නොවෙයි..

ඡායාරූප: බීබීසී

කියවන්න:

පාර්ටිගේට් බෝම්බයෙන් දෙදරායන දක්ෂිණාංශය සහ ලන්ඩනයේ දේශපාලන පෙරළිය

පාර්ටිගේට් නිසා දුෂ්ටයකු වූ, යුක්රේනය නිසා වීරයකු වූ බොරිස් ජොන්සන්ට දඩ වදිද්දී තමා වරදක් කළ බව මතක් වෙලා!

පාර්ටිගේට් ජරමරය: සද්දයක් නැති මෙට්‍රොපොලිටන් පොලීසිය රුසියාවේ ඔත්තුකාරයෙක් ද?

යුක්රේනයේ වලි නේ, ඉතිං අපි පාර්ටිගේට් විමර්ශන අතාරිමු!

පාර්ටිගේට් ජරමරය: සොරි කියපු බොරිස් ජොන්සන්ට මෙට්‍රොපොලිටන් පොලීසියෙන් නෛතික ප්‍රශ්නමාලාවක්!

ප්‍රජාතන්ත්‍රවාදය දැඩි සත්කාර ඒකකයේ – බොරිස් ජොන්සන් දැන්ම ඉඳන් සුදුකොඩි එල්ලනවා ද?

සුනිල් පේරේරාට ගීතය වැරදුනා වත් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා හෙවත් බොරිස් ජොන්සන් ලංකාවේ පොරක් ද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි