×

යුරෝපා (EU) අධිකරණය හොඳටම කරයි! සියළු සාමාජික රටවල් සමරිසි දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන්ට නීතිමය රැකවරණය ලබා දිය යුතුයි!

යුරෝපා සංගමයේ ඉහළම අධිකරණය වන යුරෝපා අධිකරණය හෙවත් යුරෝපියන් කෝර්ට් ඔෆ් ජස්ටිස් විසින් යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන සියළු රටවල් සමරිසි දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවන් සඳහා නීතිමය පිළිගැනීම ලබා දිය යුතු බවට ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ.


ඒ අනුව මෙම තීන්දුව යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් 27 ට ම වලංගු වේ.

බල්ගේරියාවේ සමරිසි විවාහය නීත්‍යානුකූල වශයෙන් පිළිනොගෙන තිබීම සහ එරට සමරිසි යුවළකට දාව ඉපදුනු දියණියකට උප්පැන්න සහතිකය නිකුත් කිරීමට බල්ගේරියානු බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම මත මෙම කතිකාවත යුරෝපා සංගමය තුළ ඇවිලෙන්නට විය.

ඒ අනුව යුරෝපා අධිකරණය විසින් නිකුත් කළ තීන්දුවෙන් දැක්වෙන්නේ යුරෝපා සංගමයට අයත් එක් රාජ්‍යයක් සමරිසි දෙමාපිය-දරු සබඳතාවය පිළිගන්නේ නම් සියළු සාමාජික රාජ්‍යයන් එසේ පිළිගැනීමට කටයුතු කළ යුතු බවයි.

මෙම අධිකරණ තීන්දුවට පාදක වූ බල්ගේරියාවේ සිදුවීමේදී එම බිළින්දිය ගේ එක් මවක් ඉපිද තිබෙන්නේ බල්ගේරියාවේ ය. අනෙක් මව බ්‍රිතාන්‍ය දේශසීමාවට අයත් ජිබ්‍රෝල්ටාවේ ය.

මෙම බිළින්දිය ඉපිද තිබෙන්නේ ස්පාඤ්ඤයේ වන අතර, ස්පාඤ්ඤය යනු සමරිසි විවාහය නීත්‍යානුකූල කළ යුරෝපා රාජ්‍යයක් බැවින් මෙම කාන්තාවන් දෙදෙනා ගේ නම් අලුතින් උපත ලද බිළින්දිය ගේ මව්වරුන් ලෙස උප්පැන්න සහතිකයේ සඳහන් කිරීමට ස්පාඤ්ඤ බලධාරීන් කටයුතු කර තිබේ.

කෙසේවෙතත්, ස්පාඤ්ඤ නීතියට අනුව මෙම බිළින්දියට පුරවැසිභාවය ලබා දීමට නොහැකි බව ස්පාඤ්ඤ බලධාරීන් ප්‍රකාශ කර තිබේ. මීට හේතුව වන්නේ ඇගේ මව්වරුන් දෙදෙනාම ස්පාඤ්ඤයේ ඉපිද නොතිබීමයි.

තත්ත්වය තවත් ව්‍යාකූල කරමින් මෙම බිළින්දියට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා දීම ද ප්‍රතික්ෂේප වී තිබේ. ඊට හේතුව නම්, 1981 බ්‍රිතාන්‍ය ජාතිකත්වය පිළිබඳ පනත ට අනුව, ජිබ්‍රෝල්ටාර් හි උපත ලද දෙමාපියකු සහිත දරුවකුට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා දිය නොහැකි වීමයි.

එවන් වාතාවරණයක් තුළ සමරිසි විවාහය පිළිනොගැනෙන බල්ගේරියාව විසින් ද ඇගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම නිසා අදාළ බිළින්දියට නීත්‍යානුකූල පිළිගැනීම කිසිදු රාජ්‍යයකින් ලබා නොදෙන තත්ත්වයක් උද්ගත වෙමින් තිබිණි.

එනම්, ඇගේ එක් මවක් උපත ලද බල්ගේරියාව, අනෙක් මව උපත ලද බ්‍රිතාන්‍ය නීතියට යටත් ජිබ්‍රෝල්ටාව සහ ඈ උපත ලද ස්පාඤ්ඤය යන රාජ්‍යයන් තුනම ඇගේ පුරවැසිභාවය ප්‍රතික්ෂේප කරන පසුබිමක් නිර්මාණය වෙමින් තිබිණ. ස්පාඤ්ඤය ඇගේ උප්පැන්න සහිතකය නිකුත් කිරීමට එකඟ වූව ද පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම නිසා අධ්‍යාපනය, සෞඛ්‍යය හා සමාජ ආරක්ෂාව වැනි අයිතීන් රැසක් අනාගතයේ මෙම බිළින්දියට අහිමි වීමේ අවදානම නිර්මාණය වෙමින් තිබිණ.

ඒ අනුව, යුරෝපා අධිකරණ තීන්දුවේදී යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන කිසිදු රටක දරුවකුගේ හෝ දෙමාපියකුගේ නිදහස සඳහා ඇති අයිතිය අහිමි නොවිය යුතු බවට ප්‍රකාශ වී ඇති අතර, මෙම බිලින්දියට සියළු අයිතිවාසිකම් ලැබිය යුතු බවට නිගමනය වී ඇත.

එමෙන්ම, සමරිසි දෙමාපියන් සිටින පවුල් ඒකකයක් සඳහා නීතිමය රැකවරණය ලබා දීම, යුරෝපා සංගමයට අයත් සමරිසි විවාහය නීත්‍යානුකූල නොවන රාජ්‍යයක ජාතික අනන්‍යතාවය අවතක්සේරු නොකරන හා මහජන ප්‍රතිපත්තියට තර්ජනයක් ඇතිනොකරන බව ද එම අධිකරණය විසින් නිගමනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් යුරෝපා අධිකරණය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්:
https://curia.europa.eu/jcms/upload/docs/application/pdf/2021-12/cp210221en.pdf

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි