×

රාමසානයට ලහිලහියේ සූදානම් වන පකිස්තාන සන්නාලියා

ජියා මුළුමහත් සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවටම ආදර්ශයක්!


35 හැවිරිදි ජියා සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකි. ඈ වෘත්තියෙන් ඇඟළුම් නිර්මාණය කරන්නියකි.

පකිස්තානයේ කරචි නගරයේ පිහිටා ඇති ඇගේ ඇඟළුම් සාප්පුව කාන්තාවන් සහ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වී තිබේ.

එමෙන්ම ඈ විසින් නිර්මාණය කරන ඇඳුම් වලට විශාල ඉල්ලුමක් ද තිබෙන්නේ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඇඳුම් නිර්මාණය කරන නිසාය.

මේ දින වල ජියා ලහි ලහියේ සූදානම් වන්නේ එළඹෙන රාමසානයට අවශ්‍ය ඇඳුම් නිර්මාණය කිරීමට ය.

ගතානුගතික මුස්ලිම් බහුතරයක් ජීවත් වන පකිස්තානයේ ඇඟළුම් කර්මාන්තයේ යෙදෙන වෙනත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හට තම නිශ්පාදන වලට වෙළඳපොළ ඉල්ලුම සාදා ගැනීම අභියෝගයක් ව තිබෙන මොහොතක, ජියා තම ව්‍යාපාරය සාර්ථකව රැගෙන යන්නීය.

රොයිටර් පුවත්සේවය වෙත අදහස් දක්වමින් ජියා පවසා සිටියේ පකිස්තානය තුළ නිවෙස් හිමියන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හට සාප්පුවක් පවත්වා ගෙන යාමට කාමර කුලියට ලබා දීමට මැලිකමක් දක්වන බවයි.

තම ව්‍යාපාරය ආරම්භයේදී ද බොහෝ අභියෝගයන් ට මුහුණ දීමට සිදුවූ බව සැල කරන ජියා, අවසානයේ තම අභිලාෂය සාර්ථක කර ගැනීමට සමත් ව තිබේ.

එමෙන්ම තම ව්‍යාපාරය තුළ පෙරදිග මෙන්ම බටහිර විලාසිතාවන්ට ද අනුකූල පරිදි ඇඳුම් මැසීම සිදුකරන බව ජියා පවසා සිටියාය.

තම ඇඟළුම් සාප්පුවෙන් ඇඳුම් මිළඳී ගැනීමට පැමිණෙන බොහෝ කාන්තාවන් ජියාට බෙහෙවින් ඇළුම් කරන අතර, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකුගේ දෑතින් නිමවන ඇඳුම් හැඳීම ඔවුන් ලද භාග්‍යයක් සේ සලකන බව ඔවුන් පැවසූ අවස්ථා අපමණය.

ඇඳුම් නිමවීමට පෙර සිරුරේ මිනුම් ගන්නා විට තමාට වෙනත් පුද්ගලයින් සමඟ සිටිනවා ට වඩා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු සමඟ සිටීම සුරක්ෂිත බවක් ගෙන දෙන බව ජියා ගේ පාරිභෝගික කාන්තාවන් පවසා තිබේ.

ඉකුත් 2018 වර්ෂයේදී තුන්වන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය නෛතික වශයෙන් පිළිගැනීමට පකිස්තාන පාර්ලිමේන්තුව කටයුතු කරන ලදී.

එමඟින් සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම මෙන්ම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත ලිපිලේඛන සංශෝධනය කර ගැනීමේ අයිතිය තහවුරු කරන ලදී.

2017 වර්ෂයේ දී සිදුකරන ලද සංගණන වාර්තා අනුව පකිස්තානයේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් දසදහසක් පමණ ජීවත්වන බව ඇස්තමේන්තු කර තිබිණි.

කෙසේවෙතත්, එරට මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මිලියන 220 ක ජනතාව ජීවත් වන පකිස්තානයේ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතා දරන පුද්ගලයන් ලක්ෂ තුන ඉක්මවා ජීවත් වන බවයි.

Bridge to Equality



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි