×

රොක් ඇන් රෝල් රජු එල්විස් ප්‍රෙස්ලිගේ තුන් කොන් ප්‍රේම කතාව

සත්‍යය හිරු වැනි ය. එය ටික කලකට පන්නා දමන්නට පුළුවන. නමුත් එය ඉවත් වන යන්නේ නැතැයි එල්විස් ප්‍රෙස්ලි වරක් කීවේය. ඔහුගේ ජීවිතයේ ආදර කතාව ද එවැන්නකි.


 මම ඔයා ගැන ගොඩක් දේවල් අහල තියෙනවා.” දෙදෙනා ම එකම වාක්‍ය එකවිට කියමින් සිටියහ. එනිසා දෙදෙනා ම වාක්‍ය මැදින් නතර කළහ. ඉන්පසු පිරී ගියේ සිනහවයි. එල්විස් ප්‍රෙස්ලි 1963 ජුලි පළමුවැනිදා හොලිවුඩය බලාගියේ සිය පහළොස්වැනි චිත්‍රපටය වන ‘ විවා ලාස් වේගස්” හි රූගත කිරීම් සඳහා ය. කතා වස්තුව ට අනුව එල්විස්, ගිටාර වාදනය ට ප්‍රියය කරන තරුණ මදයෙන් පිරීගිය මෝටර් රථ ධාවකයෙකි. එහෙත් රස්ටි නමැති පිහිනුම් උපදේශකවරිය මුණගැසීමත් සමඟ ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වෙයි. බරපතළ පෙම්වතකු බවට පත්වෙයි. සැබවින් ම එල්විස් හට සිදුවූයේ ද එයම ය.

රස්ටි ලෙස ඔහු ඉදිරියේ සිටියේ සුන්දර සහ ජීවයෙන් පිරුණු ඈන් මාග්‍රට් ඔල්සන් ය. පසුකාලීන ව එල්විස් කියු පරිදි, ඔහු ට හමුවූ පළමු හොඳම රංගන සහායිකාව ද ඇයයි. ජෝර්ජ් සිඩ්නි ගේ අධ්‍යක්ෂණයක් වූ එම චිත්‍රපටය අතරතුරදී මෙන් ම එයින් පසුව ද දෙදෙන හමුවූහ. බොහෝ අය කියු පරිදි එය “ හයි වෝල්ටේජ්’ හෙවත් අධි වෝලිටීයතා ප්‍රේමයක් විය. එය සැබවි, එකිනෙකා දකින විට ඔවුනොවුන් හට විදුලි සැර වැදෙන්නා සේ විය. ස්වීඩනයේ ඉපිද චිකාගෝ නුවර හැදී වැඩී හොලිවුඩය ට පැමිණ සිටි විසි දෙහැවිරිදි ඈන් මාග්‍රට් ඔල්සන් මේ වන විට අතිශයින් ම සරාගී උණුසුම් ම තරුණ නිළියක වූවාය. ඇය ට එල්විස් මුලින් ම මුණ ගැසුණේ ඇගේ තුන්වැනි චිත්‍රපටය වූ ‘ බයි බායි බර්ඩි’ තිරගත වීමෙන් තුන්මසකට පසුව ය. එල්විස් ව ඇය ට හඳුන්වා දුන්නේ එම චිත්‍රපටයේ ද අධ්‍යක්ෂකවරයා වූ සිඩ්නි විසිනි.

“ අපි සන්සුන් හා විනීත ලෙස එදා කතාබහ කළා” යැයි ඈන් මාග්‍රට් සිය ජීවිත කතාවේ සඳහන් කරන්නීය. “ ඒත් අපි ආයෙත් එක වතාවක් හරි මුණගැහුණොත් අපිට අපිව පාලනය කරගන්න බැරිවෙයි කියල මට එදා දැනුණා’ ඒ නැවත හමුවීම ඉතා ඉක්මනින් සිදුවූයේ සිඩ්නි සිය මීළඟ චිත්‍රපටයේ එල්විස් ගේ පෙම්වතිය ලෙස මාග්‍රට් තෝරාගැනීමත් සමඟිනි. ඇය සිතූ දෙය ම සිදුවූයේ ඒ හැඟීම එල්විස් හට ද දැනී තිබූ නිසා ය. චිත්‍රපටයේ රූගත කිරීම්වලට නර්තන අංග කිහිපයක් ද ඇතුළත් විය. ඔවුන්ගේ ඇස් මුණගැහෙන විට සිදුවන වෙනස පසුතලයේ සිටි අයගෙන් සඟවන්න බැරිවුණා” යැයි පසුතලයේ සිටි ජෝ එස්පොසිටෝ කියයි. එල්විස් දිනක් එස්පොසිටෝ ව කැඳවා කියා තිබෙන්නේ මාග්‍රට්හට සහකරුවකු සිටියිදැයි සොයා බලන ලෙස යි. නැත. ඇය තනිකඩ බැව් එල්විස් ට දැනුම් දෙනු ලැබීය. එල්විස් වහාම ඇය ට දුරකථන ඇමතුමක් ගත්තේය. “ රස්ටි. අපි අද එළියට ගිහින් යාළුවෝ මුණගැහුණොත් කොහොමද?”

 “එල්විස් ට අලුත් ප්‍රේමයෙන් ගැලවිල්ලක් නැති බව අපි හැමෝම දැනගෙන හිටියා.” මෙම්ෆීස් මාෆියා ලෙස ප්‍රකට වූ එල්විස් ගේ මෙම්ෆීස් පිරිවරේ සගයකු පවසයි.

 එය අහිංසක සහ මිත්‍රශීලී ඉල්ලීමක් සහ ඇරැයුමක් විය. එහෙත් කල් ගත වත් ම එල්විස් ඇය ව සිය හොලිවුඩ් නිවෙස වෙත ද කැඳවාගෙන ගියේය. රෑ බෝවන තෙක් ඔවුහු අනුරාගය සහ ආලය සමඟ යතුරුපැදි, සංගීතය සහ නිරූපණ ශිල්පය යන පොදු මාතෘකා පිළිබඳ කතා බස් කළහ. මුලින් ඈන් මාග්‍රට් මේ රහස මවුපියන්ට පමණක් කීවාය. එහෙත් එය වසං කළ නොහැකි විය. ඉක්මනින්ම දෙදෙන සිය හාලි ඩේවිඩ්සන් යතුරුපැදිවල නැගී ලොස් ඇන්ජලීස් හරහා යන හැටි දැකගන්නට ලැබිණි. එහෙත් එල්විස් මේ අලුත් පෙම් ගිනි සිල නිසා අභ්‍යන්තරයෙන් පිලිස්සෙමින් සිටියේය.

ඔහු නොසිතූ ලෙස තෝරාගෙන තිබුණේ අලුත් ප්‍රේමයක් සඳහා නරකම කාලයයි. ඒ වන විට ඔහු, සිය ළාබාල පෙම්වතිය වූ පි‍්‍රසිලා බීලියු ව සිය මෙම්ෆීස් නිවෙසේ වූ සයනයේ සතපවාගත්තා පමණි.” නමුත් එල්විස් ට අලුත් ප්‍රේමයෙන් ගැලවිල්ලක් නැති බව අපි හැමෝම දැනගෙන හිටියා.” මෙම්ෆීස් මාෆියා ලෙස ප්‍රකට වූ එල්විස් ගේ මෙම්ෆීස් පිරිවරේ සගයකු පවසයි. අනෙක් අතට එල්විස් ඈන්ගේ මවුපියන් මුණගැසීමට පවා ගියේය. තමන් ඈන් ව නොරවටන බවත් බරපතළ ලෙස ම ආදරය කරනා බවත් ඔහු පාපොච්චාරණයක් ලෙසින් කියා සිටියේය. කාලයත් සමඟ එල්විස් ගේ මෙම්ෆීස් නිවෙස ට ද ඈන්ගෙන් දුරකථන ඇමතුම් ලැබිණි. ඔහුගේ උපදෙස් මත ඇය කථා කළේ ත්‍රම්පර් යන අන්වර්ථ නාමය යොදා ගනිමිනි. ලාස් වේගස් හි දෙදෙනා ට රූගත කිරීම් යෙදී තිබිණි නම්, ඒ චිත්‍රපට දෙකක වුවද දෙදෙනා ම එකම දිනවල නිවාඩු සපයා ගත්හ. විවා ලාස් වේගස් එල්විස්ගේ ඉහළම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස ට ඉතිහාසගත විය. සරල කතාවස්තුවක්, නිෂ්පාදකයාට බරක් නැති වැයක් සමඟ අසමාන පෞරුෂයක් සහ සරාගී බවක් සහිත එල්විස් මේ චිත්‍රපටයෙන් හොලිවුඩයේ නව රැල්ලක් ඇති කළේය. ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පසුතලයේ දී ඇති වූ එල්විස් – ඈන් පෙම් කතාව ගැන විශේෂ වාර්තා සැපයීය. එයින් එකක මෙසේ සඳහන් වේ.

“ ඔවුහු අතිනත පටලවාගෙන ඔහුගේ ඇඳුම් අඳින කාමරය ට වැදී අතුරුදන් වූහ.” එල්විස්-ඈන් පෙම් පළහිලව්ව පිළිබඳ කියැවෙන පුවත් පත් ශීර්ෂ පාඨ පි‍්‍රසිලාගේ නෙත වැටිණි. එල්විස් ට මීට කලින් තිබුණේ පෙම් සබඳතා කිහිපයක් පමණක් බව ප්‍රිසිලා දැන සිටියාය. දැන් සැවොම, ඈන් ව හඳුන්වන්නේ “ එල්විස්ගේ කෙල්ල” කියාය. දෙදෙනා මහත්සේ දබර වූහ. පි‍්‍රසිලා ට විවාහය ඉක්මනින් අවශ්‍ය වුණද එල්විස් මඟහැරීය. ඇතැම් වාර්තාවකට අනුව, එල්විස් මෙතරම් ඈන් හට බැඳුණේ මන්දැයි වටහාගැනීම සඳහා පි‍්‍රසිලා ඇගේ චිත්‍රපට ගෙන්වාගෙන නරඹා, ඇගේ ඉරියව් තමන් ට ආදේශ කරගැනීමට පවා උත්සාහ කර තිබේ.

එහෙත් බයි බායි බර්ඩි චිත්‍රපටය සම්බන්ධයෙන් ලන්ඩනයේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඈන් මාග්‍රට්, තමන් සහ එල්විස් අතර සම්බන්ධයක් ඇතැයි ප්‍රසිද්ධියේ කියා සිටි විට පි‍්‍රසිලාගේ උපේක්ෂාව වෛරයක් බවට හැරිණි. එල්විස් ප්‍රිසිලා ට කියාසිටියේ මේ නොමනා ප්‍රසිද්ධිය මඟ හැරෙන තෙක් ලොස් ඇන්ජලීස් නුවරින් ඇය මෙම්ෆීස් වෙත නැවතත් යාම සුදුසු බවයි. එහෙත් ප්‍රිසිලා ක්‍රෝධයෙන් උමතු වූවාය. එයින් දින කිහිපයක ට පසුව එල්විස් සිය කොණ්ඩා සකසන්නා වූ ලැරී ගෙලර් හට මෙසේ කීය. “ මම දෙන්නටම ආදරෙයි. ඒත් මම විවාහ වෙන්න තෝරගන්නෙ මේ ක්ෂේත්‍රයේ නැති කෙනා වන ප්‍රිසිලාව.” 1967 වසරේ දී අවසානයේ එල්විස් ප්‍රිසිලා සමඟ විවාහ විය. එල්විස්ගේ ලෙයින් උපන් එකම දරුවා වූ පසුකලෙක පොප් රජු මයිකල් ජැක්සන් සමඟ අතිනත ගත් ලීසා මාරිගේ මව පි‍්‍රසිලා ය.

එල්විස් විවාපත් වී හරියට ම සතියක ට පසු ඈන් මාග්‍රට් ද වෛද්‍යවරයකු සමඟ අතිනත ගත්තාය. ගිටාරයක හැඩයෙන් යුත් අති දැවැන්ත මල් සැකසුමක් යවා එල්විස් ඈට සුබපැතීය. මේ දෙදෙනාම, තමන් අන් අයට අයිති යැයි විශ්වාස කිරීමට මැලි වූහ. එයින් දස වසරකට පසු, එනම් 1977 අගෝස්තු 16 වැනිදා අකාලයේ මිය යන විටත් එල්විස් ඇය ව නිරන්තරයෙන් ලාස් වේගස් හිදී හමුවෙමින් සිටියේය. -රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව ඇසුරිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි