×

ලංකාවේ කොරෝනා භීතිකාවට දකුණු කොරියාවෙන් පාඩමක්

උණු වතුර බොන්න! - පැය 8 ක් නිදාගන්න! - දකුණු කොරියාව කොරෝනා පැරදවූ හැටි


දකුණු කොරියාව කොරෝනා මර්දනයේ කුසලානය ඔසවා ගත්තේ ජනතාව බොරුවට බිය නොගන්වා කළ යුතු දේ කළ යුතු පරිදි කිරීම නිසා ය.

පෙබරවාරි 23 වැනිදා දකුණු කොරියානු ජනපති මූන් ජේ-යින් (Moon Jae-in) පැහැදිලිවම කීවේ ඉදිරි දින කිහිපය සිය රටට තීරණාත්මක බව ය. රටේ තත්වය අවදානම්කාරී අඩියකට පැමිණ තිබෙන බව ය.

එසේ කී පමණින් ඒ රටේ මිනිසුන් ලංකාවේ තරම් ‘පැනික්‘ වූයේ නැත. ලංකාවේ ඊයේ සිට සුපිරි වෙළඳසැල්වල මහා ගාල ගෝට්ටියකි. සාමාන්‍ය වෙළඳපොළට වඩා රුපියල් 10-20 මිල අධික ධාන්‍ය වර්ග පවා උණු කැවුම් ලෙස පැකට් දුසිම් ගණනින් විකිණෙයි. ලබන සතිය වන විට ලංකාවේ සුපර් මාකට්වලින් සැමන් ටින් එකක්වත් සොයාගැනීමට නොහැකි වනු ඇත.

නමුත් දකුණු කොරියාව කළේ කළ යුතු දෙයයි. ඔවුහු නොපමාව රට පුරාම මහා පරිමාණ නිරෝධායන ක්‍රියාවලියක් අති සාර්ථක අන්දමින් දියත් කළේ තාක්ෂණික සහාය ද ලබා ගනිමිනි.

දකුණු කොරියානු නායකයා පෙබරවාරි 23 වැනිදා එම ප්‍රකාශය කරන විට එරටින් රෝගීන් 6 දෙනෙකු මිය ගොස් 600 දෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වී තිබිණි.

ඒ අනුව පෙබරවාරි 25 වනවිට (ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් දින23 කට පසු) රට පුරා ‘උපරිම‘ නිරෝධායන ක්‍රමවේදයක් (‘Maximum’ Quarantine Steps) දියත් කර තිබිණි.

දකුණු කොරියාවට කොරෝනා ආසාදනය පැතිරුණු හැටි ගැන ද රසවත් කතාවක් තිබේ. විදේශයක සිට පැමිණි, නිරෝධායනය ප්‍රතික්ෂේප කළ අයෙකු දේගු පළාතේ යම්කිසි ආගමික නිකායකට අයත් පල්ලියක දේව මෙහෙයකට සහභාගිවීමෙන් පසු, එහි සිටි සියලු දෙනාට කොරෝනා වැළඳුණු බව එයින් කියැවේ. ඒ අනුව දකුණු කොරියාවට කොරෝනා වැළඳුණේ බුරුතු පිටිනි. ‍නමුත් ජනපතිවරයා එයින් දින කිහිපයකට පසු දේගු පළාතට මුහුණු වැස්මක් ද පැළඳ පැමිණියේය. ‘‘අපට මෙය සම්පූර්ණයෙන්ම පරදවන්නට පුළුවන්‘‘ යැයි නොබියව කීවේය.

මාර්තු 6 වනදා වන විට දකුණු කොරියානුවන් 140,000 ක් කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමට දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීහු සමත් වූහ. එයින් රෝගයේ තත්වය ගැන පැහැදිලි චිත්‍රයක් ලබාගැනීමට දකුණු කොරියාව සමත් විය. එයින් දැක්වුණේ මරණ අනුපාතිකය 0.6%ක් පමණක් බව ය. එනම් කොරෝනා වැළඳුණු විට මිය යන්නේ 1000 කට 6 දෙනෙක් පමණක් බව ය.

ඒ වන විට දකුණු කොරියාවේ කොරෝනා රෝගීහු 6000 ක් සිටියහ.

මේ අතර දකුණු කොරියාවෙන් මෙන්ම ඇමරිකාවෙන් ද පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ එකම දවසක ය!

නමුත් දකුණු කොරියාවේ කොරෝනා මරණ ප්‍රතිශතය ඇමරිකාවට වඩා බෙහෙවින් අඩු අගයක් ගත්තේය. මේ කියන දිනය වන විට ඇමරිකාවේ කොරෝනා මරණ ප්‍රතිශතය 5%කි. (නිල වාර්තාවලට අනුව චීනයේ 4%කි) ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වෛරසයේ මරණ ප්‍රතිශතය ගෝලීය වශයෙන් 3.4%කි. එනම්, ඇමරිකාව පැහැදිලිවම සිටින්නේ අපේක්ෂිත සාධන අගයට වඩා අඩු අගයක ය.

ඇමරිකාවටත් වඩා දකුණු කොරියාව ඉදිරියට ආ හැටි

බොහෝ මාධ්‍ය විසින් අනාවරණය කළ අන්දමට ඇමරිකාවේ දියුණු තාක්ෂණයන් තිබියදීත් කොරෝනා මරණ ප්‍රතිශතය මෙතරම් ඉහළ අගයක් ගත්තේ ඇමරිකාව තුළ කොරෝනා පරීක්ෂා කිරීමේ මෙවලම් කට්ටල හා එකී පහසුකම්වල කැපී පෙනෙන අඩුපාඩුවක් තිබූ නිසා ය.

එනිසා ට්‍රම්ප් කළ යුතුව තිබුණේ ස්වකීය ජාත්‍යාලය පෙන්වනු පිණිස ‘සියලු විදේශිකයන්ට ඇමරිකාව තහනම්‘ හෝ ‘උඹල නිසා තමයි අපිට බෝ වුණේ‘ යැයි යුරෝපයට දොස් කිම හෝ, ඇමරිකානු භූමියෙන් විදේශිකයන්ට පිටවීම සීමා කිරීම වැනි උදාන වාක්‍ය කියනු වෙනුවට සිය රටේ පුරවැසියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමයි.

පළමු රෝගියා වාර්තා වී සති 6 ක් ගත වන විටත් ඇමරිකාව වෛරස් පරීක්ෂාව කිරීමට සමත් වී තිබුණේ 1500 දෙනෙකුට පමණි. නමුත් සති 6 ක් වන විට දකුණු කොරියාව 140,000 දෙනා වෛරස් පරීක්ෂාවට ලක් කිරීමට සමත් ව තිබුණේය.

විනාඩි 10 ක් ඇතුළත වෛරස් පරීක්ෂාවක් සම්පූර්ණයෙන්ම කර ගත හැකි drive-thru testing clinics

අද වන විට දකුණු කොරියාව දිනකට වෛරස් පරීක්ෂා 10,000 ක් සිදුකිරීමට සමත් ය. ඔවුන් විසින් විනාඩි 10 ක් ඇතුළත වෛරස් පරීක්ෂාවක් සම්පූර්ණයෙන්ම කර ගත හැකි drive-thru testing clinics පිහිටුවා තිබේ. මේවායේදී දකුණු කොරියානුවෙකුට රෝහලදී වෛරස් වාර්තාව ලබාගැනීමට ගතවන කාලයෙන් 2/3 ක් අඩු කර ගත හැකිය. ඔවුන් ඉතා කෙටි කාලයක් ඇතුළත සිය රටේ ආසාදිතයන් 6000 ක් දෙනා සිටින බව අනාවරණය කර ගත්තේ එසේ ය.

ජර්මනිය වැනි යුරෝපා රටවල් ද ආසාදිතයන් වාර්තා වන විට කළේ රට තුළ නිදහසේ ඔබ මොබ යන ඕනෑම කෙනෙකුට තමන් කොරෝනා ආසාදිතයෙකුදැයි සොයාගත හැකි ආකාරයට (ඩ්‍රයිව් තෘෘ ක්‍රමයට පවා) ටෙස්ට් ලැබ් ස්ථාපිත කිරීමයි. අද වන විට ජර්මනිය ද සාර්ථක ලෙස රෝගය පාලනය කරන රටකි.

මීට අමතරව ලංකාව මෙන්ම ආසියාතික සංස්කෘතියකින් හෙබි දකුණු කොරියානුවෝ, මෙම රෝගයෙන් බේරීම සඳහා සම්ප්‍රදායික ඔසු අත්හදා බලති. ඒවායේ පරමාර්ථය වී තිබෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවා ගැනීමයි. ඒ අනුව ඇතැම්හු බහුල ලෙස සුදුලූණු ආහාරයට එක් කර ගනිති. තේ කෝපි වැනි හුරුපුරුදු පානයන් වෙනුවට කහ කුඩු ස්වල්පයක් නටන ජලයට එක් කර තේ මෙන් පානය කරන්නෝ ද වෙති. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔවුන් විසින් රෝ බිය පැරදවීම සඳහා සිය දෛනික ජීවන රටාව වෙනස් කර ගෙන තිබීමයි. ඒ අනුව ඔවුන් විසින් පැය 8 ක නින්දක් අනිවාර්ය කර ගෙන තිබේ. පැය8 ක් සුවසේ නිදාගත් විට ශරීරයේ ප්‍රතිශක්තිකරණය බෙහෙවින් ඉහළ යන බව වෛද්‍ය විද්‍යාව විසින් ද සනාථ කර ඇති කරුණකි.

ලංකාව දැනටමත් ප්‍රමාදයි!

ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා රෝගියා (චීන ජාතික කාන්තාව) වාර්තා වන්නේ ජනවාරි 8 වැනිදා ය. නමුත් ලංකාව කළේ ඇය සුව වූ බවට දේශපාලනික මාධ්‍ය සංදර්ශන පවත්වමින් ලංකාව කොරෝනා වලින් ආරක්ෂිත බවටත්, සංචාරය කිරීමට සුරක්ෂිත බවට ඉරාජ්ලා ලවා ෆේස්බුක් පෝස්ට් දැම්මටත් හැර ලංකාව වැඩි යමක් කළේ නැත. විදෙස්වල සිට පැමිණෙන ‘රට විරුවන්‘ නිරෝධායන මධ්‍යස්ථානවල මුලින් රඳවා තැබුණේ එකිනෙකාගෙන් මීටරයක පරතරයකින්වත් නොවේ. අද වන විට ලංකාව, ගෙළ සිරවූ ගවයෙකු මෙන් මොරගාමින් සිටින්නේ රෝග නිවාරණය හෝ රෝග පාලනය කෙසේ සිදුකළ යුතුදැයි ජාතික ප්‍රතිපත්තියක් අදටත් නොමැති කම නිසා ය. දැන් උද්ගත වී තිබෙන තත්වය අනුව සාමාන්‍ය නිව්මෝනියාවක් නොව, හෙම්බිරිස්සාවක් හැදුණත් රෝහලකට යාමට නොසිතනේනේ අල්ලාගෙන ගොස් ෂරියා විශ්ව විද්‍යාලයට දමාවිදැයි සැක සහිත නිසාය!

ඉතින් ලංකාවට මේ මොහොතේ ඕනෑ නම් ඇමරිකාව වගේ විය හැකිය. නැතිනම් දකුණු කොරියාව මෙන් වීමට උත්සාහ කළ හැකිය. නැතිනම් ඡන්දයක් කට ළඟටම ඇවිත් ඇති වේලාවේ, නගර සභා ඡන්දය ප්‍රකාශ කිරීම නිවසේ සිට සිදුකිරීමට පහසුකම් සැලසූ ප්‍රංශය වගේ විය හැකිය.

කෙසේ වෙතත් මෙවර තෝරාගැනීම පුරවැසියන් අත නොවේ, පාලකයන් අත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි