×

ලංකාව සනීපාරක්ෂක තුවායට 15%ක බදු ගසද්දී ස්කොට්ලන්තය ‘සියල්ල නොමිලේ‘ දෙන්නට තීරණය කළ කතාන්දරය

ලංකාව රුධිර බද්ද වැඩි කරද්දී ස්කොට්ලන්තය බදු පමණක් නොව මිල ද කපා දැමුවේය.


වසරකට පවුම් මිලියන 9.7 ක වැයබරක් දරා ගනිමින් ස්කොට්ලන්තය ලෝකයේ ආර්තව දුගී බව දුරලූ පළමු රට බවට පත් වන්නට Period Products (Free Provision) (Scotland) Bill හරහා ඊයේ තීරණය කළේය. මේ පුවත වාර්තා වූ ඊයේ දිනයේම, පාර්ලිමේන්තුවේදී හෙළි වූයේ ආනයනික සනීපාරක්ෂක තුවා 5%, 10%, 15% වශයෙන් රේගු බද්ද වැඩි කරන්නට යන බව ය. ‘සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉහළ දමා ඇත‘ යන පුවත සමග සමාජ මාධ්‍ය ගිනි වැදී තිබුණු අතර, හවස් ජාමය වන විට ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා ‘‘මම පෞද්ගලිකව හිතන්නේ සනීපාරක්ෂක තුවා සඳහා බදු ගැසීම නොකළ යුතුයි‘‘ යනුවෙන් ට්විටර් ඔස්සේ කියා ජාම බේරාගන්නා ආකාරය ද දැකගන්නට ලැබුණේය.

දේශීය පෑඩ් නිෂ්පාදකයන්ට මෙය සුබාරංචියක් විය හැකිය. දැන් ඔවුන්ගේ වෙළඳපොළ කොටස වැඩි කර ගත හැක. නමුත් එයට අදාළ යටිතල පහසුකම් තිබේද? පුහුණු ශ්‍රම බලකායක් තිබේද? ඒ කිසිවක් නැත. විශේෂයෙන්ම මේ වසංගත කාල පරිච්ඡේදය තුළ මෙයින් සිදුවිය හැකි එකම දේ පෑඩ්වල සුලබතාවය අඩු වීම පමණයි. ඕනෑම වෙළඳපොළක දේශීය විදේශීය නිෂ්පාදන දෙවර්ගයම තිබීමේ වාසි ද තිබෙන බව මෙහිදී අමතක නොකළ යුතුය. එයින් ප්‍රධාන වාසියක් වන්නේ තරගකාරිත්වය වැඩි දියුණු වීම තුළින් ඉහළ ගුණාත්මයෙන් යුක්ත නිෂ්පාදන පාරිභෝගිකයාට ලැබීමේ අවස්ථාව වැඩි වීමයි. ඒ සියල්ලටමත් වඩා, දේශයේ නිපදවූවත්, විදේශයේ නිපදවූවත් ඒ සනීපාරක්ෂක තුවායන්ගෙන් ආවරණය වුණේ අපේ රටේ ගැහැණුන්ගේ වේදනාවේ රුධිර ධාරා පමණක්ම බව අප වටහාගත යුතුය.

ස්කොට්ලන්තය සහ අපි

2018 වසරේ පටන් ස්කොට්ලන්තය විසින් ගෙන තිබූ, නොයෙක් ආකාරයෙන් අත්හදා බලා තිබූ මෙම තීරණය මේ අනුව ඉදිරියේදී එරටේ නීතියක් බවට පත් වනු ඇත. ආර්තව දුගී බවෙන් පෙළෙන කාන්තාවන්, ගැහැණු ළමුන් ඇතුළු ආර්තවය අත්දකින කිසිවෙකු මින් ඉදිරියට එරටින් වාර්තා නොවනු ඇත.

ස්කොට්ලන්ත කම්කරු පාක්ෂික පාර්ලිමේන්තු සාමාජික මොනිකා ලෙනොන් සියලුදෙනාට ම සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබාදීමේ ව්‍යාපාරයට පාර්ලිමේන්තුව තුළ මුල් වූවාය.

ඇගේ පෞද්ගලික පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමේ අවසාන අදියරේ පවතින්නේ ස්කොට්ලන්ත රජයේ ද සහය සමගිනි. මීට ද මූලික වශයෙන් විරෝධතා එල්ල වූයේ මීට ඇස්තමේන්තුගත පවුම් 9.7කට වඩා පිරිවැයක් ඇති වනු ඇතැයි ඇමැතිවරුන් තර්ක කිරීමත් සමග ය.

පනත සම්මත වීමට ප්‍රථම ලෙනොන් “අප දිගු ගමනක අවසාන සැතැපුම් කීපයේ සිටිනවා. මම ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබාදීම පිළිබඳ පනත් කෙටුම්පතට ලැබෙන සහයෝගය ගැන සතුටට පත් වනවා” යැයි කියා සිටියා ය.

“අද අපි මේ ගමන සම්පූර්ණ කරගනු ඇති බවට මම ධනාත්මක ව සිටිනවා.”

“ආර්තව දිළිඳුකම සම්බ්න්ධයෙන් ඉතිහාසය නැවත ලියන්නට යන රටවල් අතරින් අවසාන රට වන්නට ස්කොට්ලන්තයට නො හැකි යි – එහෙත් ඊට මුල් ම රටක් වන්නට හැකියාව තිබෙනවා.”

“මේ නීතිය මගින් කිසිවෙකුට හෝ ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන නොමැතිව සිටිය නොහැකි බවට වග බලා ගන්නවා.”

‘‘මූලික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයට සහ පක්ෂ අතරින් ආ සහයෝගයට ස්තූති වන්ත වන්නට, ස්කොට්ලන්තය ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදනවලට ඇති ප්‍රවේශය වර්ධනය කරන්නට කටයුතු කරමින් සිටිනවා,” ඇය තව දුරටත් ප්‍රකාශ කර සිටියා ය.

“සියලු කාන්තාවන්ට, දැරියන්ට සහ ඔසප් වන සියලු පුද්ගලයන්ට ආර්තවය සම්බන්ධ ගෞරවය සනාථ කරන්නට නීති සම්පාදනය මහඟු අවස්ථාවක්.”

“වෘත්තීය සමිති, කාන්තා සංවිධාන සහ පුණ්‍යායතන ආදී විශාල සංවිධාන රැසකින් මේ ව්‍යාපාරයට සහාය ලැබුණා.”

“ආර්තව දිළිදුකම සම්බන්ධයෙන් අත්දැකීම් ඇති පුද්ගලයන් ඇතුළු දහස් ගණනක් සහය දක්වන්නන් මෙහි භූමිකාවක් රඟ දැක්වූවා. මම ඒ සියලු දෙනාට ම ස්තූතිවන්ත වනවා.”

ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව එසේ හැසිරෙන විට ඊයේ ලංකාවේ පාර්ලිමේන්තුව හැසිරුණේ කෙසේද?

‘‘මේ රටේ සියේට 52%ක් කාන්තාවො.. සියයට 50 ක් දැරිවියො ආර්තවය දවස්වලට ඉස්කෝලෙ යන්නෙ නෑ. ඒ නිසා 15%ක වැට් බද්ද අයින් කරලා මේක අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත් කරන්න කියල මං ඉල්ලා සිටිනවා..‘‘ඒ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ය.

‘‘ඉංග්‍රීසි ආණ්ඩුව ඇඟ බද්ද, බලු බද්ද ගැහුව වගේ මේ ආණ්ඩුව මෙන්සස් බද්දකුත් ගහලා..‘‘ එසේ කියන්නේ යුක්තිය වෙනුවෙන් සිය හඬ නොබියව අවදි කරන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ය.

‘මෙන්සස්‘ යන වචනය ඇහුණු ගමන් භූමිතෙල් ගෑවුණු කවුදෝ මෙන් කලබලයට පත් වූ සභා ගර්භයෙන් බාධාකාරී ඝෝෂාවකි. එක මහත්තයෙක් පමණක් ‘එල.එල..එල..‘‘ යැයි ද කියනු ඇසුණේය.

‘‘මට හිතාගන්න බැරි විදිහට පෑඩ්මෑන්ගේ අවතාරය සමස්ත ස්ත්‍රී වර්ගයාටම උපහාසයක් එල්ල කරමින් ඇවිත් තියෙනවා..‘‘

මේ හතරබීරි කතාව පොහොට්ටු පා.ම. ගීතා කුමාරසිංහගෙනි. ඇය කියන්නේ කාන්තාවන්ට සනීපාරක්ෂාව වැදගත් නැති බවයි. වැදගත් වන්නේ ජාතික ආරක්ෂාව බවයි. ඒ අතරේම කාන්තාවන්ගේ සනීපාරක්ෂාව ‘අනික් අය‘ බලාගන්නා බවත් කියයි. ඇය කියන්නේ මේ රටේ කාන්තාවන්ටත්, තරුණ පාසල් යන දරුවන්ටත් අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නෙ එක දෙයයි.. ආරක්ෂිතව ජීවත් වෙන්න.. අනික් ආරක්ෂිත කටයුතු අනික් අය බලා ගනියි…!‘‘

පසුගිය ජනපතිවරණයේදී ‘පෑඩ්මෑන්‘ යන අන්වර්ථයෙන් හැඳින්වූයේ සජිත් ප්‍රේමදාසව ය. ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන්නට යෝජනා කර තිබුණේය.

තමන් කියන්නේ මොනවාදැයි නොදැන, රාජ්‍ය ආරක්ෂාව නමැති මහා කතිකාව තුළ කාන්තා අයිතිවාසිකම් සහ ආර්තව දුගී බව පිළිබඳ කතිකාව අබ ඇටයක් දක්වා හෑල්ලු කරන්නට හදන, ගැඹුරක් නැති, ස්ත්‍රීත්වය පිළිබඳවවත් සංවේදීත්වයක් නැති ශරීරවලින් මේ පාර්ලිමේන්තුව නැවත වරක් පිරී තිබේ.

ජාතිය ගොඩනැංවීමේ බද්ද ත් පෑඩ් එකෙන් ගත් ලංකාවේ ආණ්ඩු

පහත දැක්වෙන්නේ HS 96190010 යන කේතය යටතේ සනීපාරක්ෂක තුවා සඳහා ආණ්ඩුව දැනට අය කරමින් සිටින බදු ප්‍රතිශතයන් ය. ආයනනික සනීපාරක්ෂක තුවා සඳහා 2018 සැප්තැම්බරය වන තෙක් බද්ද 101.2%ක් විය. පසුගිය ආණ්ඩුව විසින් කිලෝවකට රුපියල් 30 බැගින් නියම කරන සෙස් බද්ද ඉවත් කිරීමෙන් පසුවත් එය 62.60%ක් විය. (Source: Advocata Institute) ඒ අනුව දැන් මේ 15%ක් එකතු කරන්නට යන්නේ ඒ 62.60%කට ය. මිල ඉහළ යන්නෙ නෑ යැයි රාජ්‍ය ඇමතිවරයා පුන පුනා කීවත්, මෙතැන ප්‍රශ්නය මිලම නොවේ. ලැජ්ජා නැතිව ගැහැණුන්ගේ මාස් ශුද්ධියටත් බදු ගැසීමයි.

2020 Global Gender Gap වාර්තාවට අනුව ශ්‍රී ලංකාව රටවල් 153 ක් අතරින් සිටින්නේ 102 වැනි තැන ය. ලංකාවේ පුරුෂයන් මෙන් දෙගුණයක් ගැහැණුන් මේ වන විට රැකියා විරහිත භාවයට පත් ව සිටිති. සංස්කෘතික සීමාවන් ඔවුන්ව රැකියාවල නියුක්ත වීමෙන් වළක්වන බව පවසන්නේ ලෝක බැංකු වාර්තාවකි. (Getting to Work : Unlocking Women’s Potential in Sri Lanka’s Labor Force (Vol. 2)’,)ඉතින් ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවයක් ගැන කවර කතාද?

ලංකාවේ බහුතරය ගැහැණු පවා ‘අපේ සනීපාරක්ෂාව ගැන … බලා ගනියි. ඔයාල ඒකට වද වෙන්නෝනෙ නෑ..‘‘ යැයි ඔවුන් ද කියනවා වන්නට පුළුවන.

දළ වශයෙන් රු. 520 ක් පමණ මාසයකට ආර්තවය නමැති, මව් පදවිය ලබාදෙන ස්වභාවික සංසිද්ධිය වෙනුවෙන් මාසයකට වැය කරන්නට මේ රටේ කාන්තාවන්ට සිදුව තිබේ. එයට වත්කමක් නැති අති බහුතරය සනීපාරක්ෂාව ගැන සම්පූර්ණයෙන්ම අමතක කර දමා, කිසිසේත්ම සනීපාරක්ෂිත නොවන ක්‍රමවලින් සිය මාස් ශුද්ධියේ වේදනාව සහ ලැජ්ජාව වසා ගනිති. නැවත නැවතත් පාවිච්චි කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදන ගැන සිතන්නට කාලය මේ අතර එළඹ තිබෙන්නේ කෘත්‍රිම සනීපාරක්ෂක නිෂ්පාදනවලින් අවසානයේ සිදුවන පරිසර දූෂණය ගැන සලකා බලමිනි. නෙළුම්යාය පදනම මේ පිළිබඳ බෙහෙවින් කතා කර තිබේ. මේ වන විට දියුණු ලෝකය යන්නේ එතැනට ය. ඒ අතරවාරයේ අපි තවමත් කෘත්‍රිම සනීපාරක්ෂක තුවායේත් එල්ලී, බදු වැඩි කරමින් සිටිමු. මේ ගැටළුව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතා කළ ඇතැමුන්ගෙන් ‘ඇයි ඔයාලටත් මෙන්සස් වෙනවදැයි‘ කැළඹුණු අය අසා තිබේ. ඉතින් මේ දූපතේ සිට ස්කොට්ලන්තය වැනි මනුෂ්‍යත්වයෙන් දියුණු රටකට ඇති දුර, ආලෝක වර්ෂ ගණනකි.

අවසානයට කීමට සිදු ව ඇත්තේ, “ස්කොට්ලන්තේ එහෙම වුවත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ,” කියා ය.

විශේෂ ස්තූතිය – නෙළුම්යාය පදනම | Nelumyaya Foundation



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි