×

ලංකා වාසීනි, නවසීලන්ත ප්‍රහාරයෙන් පසුව විළිලැජ්ජයි- සන්තෝසයි නේද..?

ජසින්ඩා ආර්ඩෙන්වත් නවසීලන්තය ගැන නැති දේශප්‍රේමයක්,  ලංකා වාසී හුදී ජනතාවට ඇති වී තිබේ.


ඒ අනුව ඕකලන්ඩ් සුපර්මාර්කට් ප්‍රහාරයේ පිහිඇනුම්කරුවාගේ හතරවරිගයම ඔවුන් සොයාගෙන අවසන් අතර, සමාජ ජාලවල සංසරණය වන පුද්ගලික පණිවුඩ පවා අවසන් වන්නේ කෝපය මුසු සුසුම්හෙළීමකිනි. නැතිනම් ‘පොලිස් පොලු‘ ලෙස කුප්‍රකට විස්මයාර්ථය හඟවන ලකුණුවලින් ය. හේතුව? ප්‍රහාරකයාගේ ජාතිකත්වයයි.

ලංකාවාසී මුස්ලිම්/ මුසල්මානු භීතිකාවෙන් පෙළෙන සැමටම ජසින්ඩා ආර්ඩෙන් කටඋත්තර නැති වන්නට උත්තර දුන්නේ ප්‍රහාරයෙන් විනාඩි කිහිපයක් ගෙවී යන තැන ය. එනම්, ඇය ප්‍රහාරකයාගේ ජාතිකත්වය ගැන කිව්වේ එකම දෙයකි. ඒ, ඔහු ශ්‍රී ලාංකිකයෙක් පමණක් බවයි. අපේ අයට මෙන් ‘සෙස්ස පස්සට‘වත් ඇයට වැදගත් නැත.

අයියෝ ආර්ඩෙන්, ඔයැයි ඉන්නට තිබුණේ ලංකාවේ ය. ලංකාවේ තුන් සිංහලයම නෑදෑයෝ කියන්නේ කට කහනවාට පමණක් ය. තුන් සිංහලේ වෙනත් අනන්‍යතා හිමි අයත් සිටින බව කවදත් තිබුණේ වරහන් අතර ය. ඒ වරහන් ඇතුළේ සිටින අය මොන අහවල් දේ කළත් මෑතකදී සිට හයිලයිට් වෙනවා ය.

‘‘අයියෝ අර යකා අරෙහෙමලු නේද.. අහවල් ඉස්කෝලෙටලු නේද ගියෙ.. අහවල් බැච් එකේලු නේද… අවුරුදු අච්චරෙන් නවසීලන්තෙ ගියාලු නේද.. එහෙදිත් කේස්ලු නේද… විලි ලැජ්ජයි – සන්තෝසයි නේද…!‘‘

නමුත් ජසින්ඩා ආර්ඩෙන් සහ නවසීලන්තය හයිලයිට් කරන්නේ මෙවැනි දේ නොවේ. මේ ඈ කියූ වැදගත්ම කතාව ය.

‘‘මේක කිසි තේරුමක් නැති (senseless) ප්‍රහාරයක්.. වැරදි විශ්වාසයක හිටි කෙනෙක්..‘‘

එපමණයි.

මෙයට පෙර නවසීලන්තය 2019 වසරේදී ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් දෙදරුම් කෑවේය. මරණ 51කට නවසීලන්තය සලිත වී සිටියදී සහ, ඇතැම් මුස්ලිම් විරෝධී බලවේග රට තුළ සක්‍රියව පැවතියදී ජසින්ඩා එහි ශෝකී සැමරුම්වලට සහභාගි වූයේ හිජාබයක් පැළඳ ය. මුස්ලිම්වරු ඇය ව වැළඳ ගෙන ශෝකය බෙදා ගත්හ. ඒ ජසින්ඩාගේ නවසීලන්තයයි.

New Zealand Prime Minister Jacinda Ardern meets with members of the Muslim community, at Hagley College, Christchurch, in the wake of the mass shootings at the Masjid Al Noor and Liwood Islamic Centre mosques, Christchurch, New Zealand, Saturday March 16, 2019.(AAP Image/SNPA/Martin Hunter) NO ARCHIVING

දැන්, හොලිවුඩය ඒ ගැන චිත්‍රපටයක් ද තනන්නට යයි. එහි නම ‘‘They Are Us‘‘ ය. ඒ, එදා ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයේදී ජසින්ඩා ආර්ඩෙන් කී වදන් ය. ජසින්ඩා කෙබඳු නායිකාවක ද යත්, ඇය කියන්නේ තමන් මේ චිත්‍රපටයකට කිසි ලෙසකින්වත් මැදිහත් නොවන බවයි. ‘‘මගෙ රටට තමයි මේ විපත වුණේ.. ඒ නිසා ජාත්‍යන්තරය මොනව හිතයිද දන්නෙ නෑ.. ඒ නිසා මට ඕන හැටියට මේක හැදෙන්න ඕනෙ‘‘ වැනි සිඟිති පාතාල කතා ඇය කියන්නේ නැත. සිය රටේ ජනතාවගේ මෝරාලය වැඩි කරනු පිණිස ‘‘මේ රට මගෙ රට – ලොවෙන් උතුම් රට‘‘ යැයි කියමින් පොළොවේ හැපෙන්නේ නැත. කොටින්ම කියනවා නම් ලෝකයා හිනස්සන්නට ඇයට උවමනා නැත.

දැන් ඉතින් නවසීලන්තයේ සිටින ‘ශ්‍රීවිස්‘ ලා හෙවත් ශ්‍රී ලංකන් කිවීස්ලා හිස උඩ මොකක්දෝ තිබෙනවාක් මෙන් කලබල විය යුතු නැත. මෙවැනි ගොන් වැඩක් එක මොළේ නැති එකෙකු කළ පමණින් ලාංකිකයන්ගේ වීසා සීමා කරන්නට තරම් මොළේ අමාරුවක් නවසීලන්තයට නැත. නවසීලන්තය ‘ලංකාව මෙන් නොව‘ බහු වාර්ගික – බහු ආගමික රටකි!

හැබැයි දැන් ඉතින් මුසල්මානු භීතිකාවෙන් පෙළෙන සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට නම් නවසීලන්තය වෙනුවෙන් කරන්නට දෙයක් ඉතිරි වී තිබේ. ඒ, පාස්කු ප්‍රහාරය ගැන ජසින්ඩා ආර්ඩෙන් ගෙන් වේලාවක් අරගෙන ගොස් ඇයට කරුණු කියා දීමයි! පුළුවන් කමක් තිබේ නම් පාස්කු කොමිසමේ වාර්තාවත් එතුමිය අතට පත් කරන්න.. ‘‘නුඹලා සිටින්නේ මේ වගේ කොමිසම් පත් කරන – අපරාධ කරපු කෙනෙක් අවුරුදු ගාණක් යන තෙක් හොයාගන්නට බැරි තරම් අමුතු ඇටයකදැයි‘යි අසා, ඇය නිසැකවම ශ්‍රී ලාංකිකයන්ගේ නවසීලන්ත වීසා කෝටාව වැඩි කරනු ඇත!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි