×

මා කුඩු වී ගියත්-ඔබ සොයා පැමිණ වැළඳ ගන්නෙමි!!

ඔහු යුක්තිය සමග සටන් කළේය. ප්‍රේමය සමග මියැදුණේය.


‘චීනයේ මැන්ඩෙලා’ යැයි අන්වර්ථ නම් ලද ලියු සියාබෝ දිවි ඇති තෙක් සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ මානව හිමිකම් වෙනුවෙන් යැයි යමෙකු කියන්නට පුළුවන. එය ඇත්තකි. නමුත් එය සම්පූර්ණ ඇත්ත නොවේ. සම්පූර්ණ ඇත්ත වන්නේ දිවි ඇති තෙක් ඔහු සටන් වැදුණේ සහ ඒ සටන වෙනුවෙන් ඔහු ව ජීවත් කරවූයේ ආදරය විසින් බවයි. 2017 ජූනි 13 වැනිදා වයස අවුරුදු 61 දී දෙනෙත් පියාගත් ලූ (ලියු )ක්සියාබෝ නොබෙල් ත්‍යාගය ලැබුවේ සිරගත ව සිටියදී ය. ඔවුන් දෙදෙනාගේ නම් දෙකේ වෙනස ඉංග්‍රීසි අකුරු දෙකක් පමණි. ඔහුගේ නම ලියු සියාබෝ ය. ඇගේ නම ලියු සියා ය. සියාබෝ ට සියාව මුලින්ම මුණ ගැසුණේ 80 දශකයේදී ය. ඇය ද කිවිඳියකි. තවද ඡායාරූප ශිල්පිනියකි.

1996 වසරේ ඔවුන් විවාහ වන විටද ලියු ක්සියාබෝ සිටියේ සිර දඬුවමක් විඳිමිනි. කවියා ඇය සමග ප්‍රේමයෙන් බැඳුණේය. ප්‍රේමයෙන්ම මියැදුණේය. 2010 වසරේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විට සියා, සියාබෝ ගේ බිරිඳ වූ හෙයින් සියාබෝ ද සමගම බලධාරීන් විසින් නිවාස අඩස්සියට පුත් කෙරුණේය. නමුත් ඇයට විරුද්ධව නගන්නට චෝදනාවක් බලධාරීන්ට තිබුණේ නැත.

“මීට වඩා විකාරරූපී දෙයක් ගැන ලියන්නට කෆ්කාටවත් නොහැකිය” යනුවෙන් සියා ලීවාය.

තමන් පෙම් බැඳි, සිය ජීවිතයෙන් කාලක් හෙවත් විවාහ ජීවිතයෙන් අර්ධයක්ම සිපිරිගෙයි ගතකරමින් සිටි මේ මිනිසා දැකබලා ගැනීම පිණිස ඇයට සෑම මසකම දීර්ඝ වූ ද වෙහෙසකර වූ ද දුම්රිය ගමන්වල යෙදීමට සිදුවිය. ඇය මෙහෙණියක සේ සිය කෙස්වැටිය සහමුලින්ම කපා දැමුවාය. 2013 වසරේදී ඇය මෙසේ ලීවාය.

“ලියු සියාබෝගේ භාර්යාව වීම මේ රටේදී යම්කිසි අපරාධයක් වන්නට පුලුවන.” ලියු ක්සියාබෝ විසම්මුතිවාදියෙකි. නිර්භය මිනිසෙකි. දේශපාලන විමුක්තිය ඉල්ලා සිටිමින් ඔහු 1989 තියනාන්මෙන් ශිෂ්‍ය අරගලයට සම්බන්ධ විය. විරෝධතාකරුවන්ට සාමකාමී ලෙස චතුරස්‍රයෙන් පිටවීම සඳහා ක්ඔහු තවත් මිතුරන් තිදෙනෙක් සමග එක් වී සුහද ලෙස කටයුතු කළේය. සුප්‍රසිද්ධ ජූනි 3-4 අත්අඩංගු ලැයිස්තුවේ මුලින්ම සිටියේ ඔහු ය. මාස 21 ක් ඔහු ව රැඳවුම් භාරයේ තබා ගැනිණි. එය ආරම්භය පමණක් විය. ඔහුගේ විප්ලවවාදී කවි කියවා පාලකයෝ කුපිත වූහ. ඔහුගේ කවි සහ සියාගේ ඡායාරූප යන මාධ්‍යයන් දෙකම සටන් කළේ පොදු යක්ෂයෙකුට එරෙහිව ය. 2017 මැයි මාසයේදී සොයාගැනුනේ ලියු ක්සියාබෙවා් ඉතාම දරුණු ගණයේ අක්මා පිළිකාවකින් පෙළෙමින් සිටින බවයි. ඔහු බලාසිටියදී දුර්වල විය. කැඳ හැන්ද සියතින් අල්ලාගත නොහැකි තත්වය ට පත්විය.

සියා ඔහු අසලින්ම වූවාය. මියෙන මොහොතේදී ද ගිලන් සයනය අසල වූවාය. ගාඩියන් පුවත්පත මෙය හඳුන්වා දෙන්නේ “බලාපොරොත්තු විරහිත භාවයේත් කැපවීමේත් ශ්‍රේෂ්ඨ නූතන ආදර කතාවක් ලෙස ය. ලියු ක්සියාබෝ මරණ මංචකයේදී කළ අවසන් ඉල්ලීම වූයේ සියා ව නිදහස් කරන ලෙසයි. චීනයේ සිටි සුප්‍රසිද්ධම දේශපාලන සිරකරුවා ෂෙන්යැන් නුවර පොලිස් රෝහලේදී අවසාන වශයෙන් යමක් ලියමින් සිටියේය. සැබවින්ම එය දේශපාලන සටහනක් නොව බහු අරුත් දෙන පෙම් කවියකි. “ප්‍රේමය අයිස් මෙන් තීව්‍රය. කාල වර්ණය මෙන් දුරස්ත ය. විටෙක මගේ කුල්මත් බව-ඒ සමාව නොදිය හැකි හළාහල විෂ ම ය…” මේ අතර ලියු සියා ද ඔහු සමුගෙන යන නිමේෂයේ කවි පොතක් රචනා කරමින් සිටියාය. ඒ පොතේ ඔහු සමග බැඳීම දැල්වුණු ආකාරය පිළිබඳ ඉඟිකරන සංවේදී කවි කිහිපයක් අඩංගු ය. විදේශික ප්‍රකාශකයෙකු ඉදිරිපත් වී එය චීනයෙන් පිටතදී ප්‍රකාශනය කරනු ඇතැයි සැලකේ. එයින් එක් කවියක් මෙසේ ය. “මා දන්නවා, දැන්ම හෝ පමා වී ඒ දිනය පැමිණේවි ඔබ මා අතැර ගොස් අඳුරු මාවතේ තනිව පිය නගන..” I know sooner or later the day will come When you’ll leave me And walk alone down the road of darkness.

ලූ ක්සියාබෝගේ මරණයෙන් පසු මාස 06 ක් ගත වන තෙක් ලූ ක්සියා ජීවතුන් අතර සිටියිද නැත්ද යන්න පිළිබඳ පවා කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැත.

දැන් ඒ දිනය පැමිණ ඇත. බටහිර රටවල් ඇයව නිදහස් කර, චීනයෙන් පිටමං කර තමන් වෙත එවන ලෙස ඉල්ලා සිටිති. එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, සෙසු බටහිර රාජ්‍ය පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවා මේ පිළිබඳ ආයාචන කර තිබේ. ලියු සියාබෝ ට කරන ගෞරවයක් වශයෙන් ඇගේ නිල නොවන රැඳවුම අවසන් කර ඇයට නිදහස ලබාදෙන මෙන් ඉල්ලා සිටිති. මෙයට ප්‍රතිචාර දක්වමින් ජෙන් ෂුවැන්ග් නමැති චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා කියා තිබෙන්නේ කුමක්ද? මෙය තමන්ගේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් ඒ ගැන සිත කලබල කර නොගන්නා ලෙස ය. ලියු සියාබෝ ගේ නොබෙල් ත්‍යාගය ‘දේවාපහාසයක්’ යැයි ද ඔවුන් කියා තිබේ.!!

2014 වසරේ සියාට හෘදයාබාධයක් වැළඳිණි. පසුගිය වසරේ ඇගේ පියා මියගියේය. මේ වසරේ අප්‍රේල් මාසයේ ඇගේ මව ද මිය ගියාය. ජූනි මාසයේ සියාබෝ ගේ අක්මා පිළිකාව ගැන සැළ විය. ලූ ක්සියාබෝ මිය යන මොහොතවන විට ඇය අති දරුණු විශාදයකින් පෙළෙමින් සිටියාය. ඇය සිටියේ සුපුරුදු නිවාස අඩස්සියේ ය. නමුත් ඇගේ සිතට තනි නැත. සියාබෝගේ අළු රොද පැමිණ ඇගේ හිස සිඹිනු ඇත. 2009 වසරේදී සිය නඩුව සඳහා සූදානම් වන අතරවාරයේ සියාබෝ තම ප්‍රේමය ගැන කළ ප්‍රකාශයකින් මේ සටහන නිමා කරමි. “මා කුඩු වී ගියත්-ඔබ සොයා පැමිණ වැළඳ ගන්නෙමි”!!

පසු සටහන- ලූ ක්සියාබෝගේ මරණයෙන් පසු මාස 06 ක් ගත වන තෙක් ලූ ක්සියා ජීවතුන් අතර සිටියිද නැත්ද යන්න පිළිබඳ පවා කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැත. පසුව චයිනා මෝනිං පෝස්ට් පුවත්පත වාර්තා කළේ ඇය චීනයේ පිහිටි සිය නිවස කරා යාමට සමත් වූ බවයි. ඉන්පසු 2018 ජනවාරි මාසයේ වාර්තා වූයේ චීන බලධාරීන් ඇයට චීනයන් පිටවීමට අවසර ලබාදී ඇති බව ය. මේ වන විට ඇය ලෝකයේ කොහේ හෝ ලූ ක්සියාබෝගේ මතකය ද සමග ජීවත් වනවා වන්නට ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි