×

ලුවිස් හැමිල්ටන් නමැති ගරාජ් කොලුවා – එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම මෝටර් රථ ධාවන ශූරයා දක්වා

ඊයේ දිනයේ (නොවැම්බර් 15) දිනයේ දී එක්සත් රාජධානියේ ලුවිස් හැමිල්ටන් විසින් ෆෝමියුලා වන් 2020 ලෝක ශූරතාවය දිනාගැනීමත් සමග සම කළේ, ලෝකයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම රේසිං ධාවන ශූරයා ලෙස මෙතෙක් සැලකුණු මයිකල් ෂූමාකර්ගේ අසමසම වාර්තාවයි.


තුර්කියේදී පැවැත්වුණු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් (Grand Prix) තරගාවලියේ මුල් තැන දිනාගැනීමත් සමග ඔහු, Formula One මෝටර් රථ ධාවන අංශයේ සත්වැනි ශූරතාවය ද තමන් සතු කර ගත්තේය.

2011 න් පසුව ඉස්තාන්බුල් උද්‍යානයේ මේ වර්ගයේ තරග පවත්වා නැත. ධාවන පථය සකස් කර තිබුණේ සති දෙකකට කලිනි. එය අතිශයින්ම ලිස්සනසුලු විය. සති අන්තයේදී ලුවිස් හැමිල්ටන් සහ ඔහුගේ කණ්ඩායම වාහනවල නඩත්තුව සම්බන්ධයෙන් අතිශයින්ම කාර්ය බහුල වීමට හේතුවක් ද වූයේ මේ අභියෝගාත්මක ධාවන පථයයි. තරගය ආරම්භ වී මද වේලාවකින් වැසි ඇද හැළෙන්නට පටන් ගත්තේය. ඒ වැස්ස ආශිර්වාදයක් වී යැයි ඔහු පසුව පැවසුවේය.

ලෝක වාර්තාවත් සමග ඔහු ලෝකය ඇමතූ ඔහු කීවේ මෙයයි. ‘‘නොහැකි දෙය කිරීමට සිහින දකිනා සියලු දරුවනි.. ඔබටත් එය කරන්නට පුළුවන්.. මම ඔබව විශ්වාස කරනවා..‘‘

‘‘For all the kids out there who dream the impossible … you can do it too, man. I believe in you guys…‘‘

බ්‍රිතාන්‍යයේ ඉහළම ආදායමක් ලබන ක්‍රීඩකයා වන ලුවිස් හැමිල්ටන්, Formula 1(F1) ධාවන කණ්ඩායමට එක් වූ ලොව ළාබාලතමයා ය. වෘත්තිය හරහා මෙතෙක් ඔහු උපයා ගෙන ඇති වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 489 ක් ලෙස සැලකේ.

ගරාජයෙන් ආ කොලුවා

‘‘මගෙ තාත්තාට අපිව ජීවත් කරවන්න රස්සා 4 ක් එක වර කරන්න සිද්ධ වුණා..‘‘ ලුවිස් හැමිල්ටන් වරක් කීවේය. ඔවුන්ට කුඩා ගරාජයක් තිබිණි. මතක ඇති කාලයේ පටන්ම ඔහු එහි වාහන කොටස් අතපත ගෑවේය.

වයස 6 දී ඔහුගේ ප්‍රියතම විනෝදාංශය බවට පත්ව තිබුණේ සෙල්ලම් කාර් දුරස්ථ පාලක මගින් ක්‍රියා කරවීමයි. එම සෙල්ලම් කාර් එකලස් කිරීමට ඔහුගේ පියා සැබෑ දක්ෂයෙකු විය.

1985 ජනවාරි 7 දා ඉපදුණු, තවමත් වයස 35 ක් වන ලුවිස් හැමිල්ටන්ට අවුරුදු 8 දී ‘රේසිං කාරයක්‘ පැදවීමට ලැබුණු බව අන්තර්ජාලයේ ඇතැම් තැනක සඳහන් වේ. නමුත් එය පියා විසින් ඔහුට ගෙනැවිත් දුන් ‘ගෝ කාර්ට්‘ (Go Kart) එකක් පමණක් වූ බව ද ඒ සමගම සඳහන් කිරීම වටයි.

ඒ ගෝ කාර්ටයට තාත්තා ගරාජයේ වූ අලුත් තීන්ත ඉසීම මගින් අලුත් පාටක් එක් කර දුන්නේය. නමුත් එය සෙල්ලම් කාරයක් පමණක් නොවීය. ඔහු හාපුරා කියා සැබෑ සුක්කානමක් අතට ගෙන තිබිණි. මොන්ට්‍රියෙල් හි පැවති ළමා ධාවන තරගයකින් ඔහු පළමු තැන දිනාගත්තේය. ඒ තරගයේදී ඔහුගේ කළමනාකරුවා මෙන්ම ප්‍රධාන යාන්ත්‍ර ශිල්පියා වූයේ ද පියා ය.

පසු කලෙක BBC සේවය විසින් ‘‘How Lewis Hamilton went from Go Karting to Formula 1 | Lewis Hamilton: Billion Dollar Man‘‘ යනුවෙන් ඔහු ගැන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කරයි. එහිදී කුඩා ලුවිස් හැමිල්ටන් ජයග්‍රාහකයා ලෙස වේදිකාවේ සිටියදී සිදුවූ දේ ගැන මෙසේ කියයි.

‘‘ඒක තමයි මම ෂැම්පේන් බෝතලයක් අතට ගත්ත පළවෙනි වතාව.. මම දැනගෙන හිටියෙ නෑ ඒක කඩන හැටි.. ඒක හෙළෙව්වත් මොකුත් වුණේ නෑ. මොකක්ද කරන්න ඕනෙ කියල කවුරුවත් මට කිව්වෙත් නෑ..‘‘

ඔහු එදා කීවේ ලැජ්ජාවෙන් සිනාසෙමිනි.

ලුවිස් හැමිල්ටන්ලා හැදී ඉපදුණේ එංගලන්තයේ දිළිඳු බව සහ දාමරික බව පිරී ගිය ස්ටීවනේජ් නමැති ප්‍රදේශයේ ය. ඔහු හැදී වැඩුණේ ද ඊට වඩා වැඩි වෙනසක් නැති හර්ට්ෆොඩ්ෂයරයේ ටෙවින් වුඩ් නම් පෙදෙසේ ය. ඔහුගේ පියා වූ ඇන්තනී හැමිල්ටන් කැරිබියන් දූපත්වල ඉපදුණු කල්ලෙකු වූ අතර, ග්‍රෙනෙඩා හි සිට එංගලන්තය බලා සංක්‍රමණය වූවෙකු විය. සුදු ජාතික කාමන් නොහොත් ලුවිස් ගේ මව ඔහුට හමුවන්නේ ඒ අනුව ය.

පුංචි කාල් ලුවිස්

ලුවිස් හැමිල්ටන්ට ‘ලුවිස්‘ යැයි නම තබා තිබෙන්නේ ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම කළු ජාතික ධාවන ශූරයෙකු වූ කාල් ලුවිස් සිහිගන්වන්නට ය. කාල් ලුවිස් නමැති කළු ඇමරිකානුවා එදා ඔලිම්පික් උලෙළ 4 කදී රන් පදක්කම් 9 ක් දිනාගත්තේය.

නමුත් ලුවිස් හැමිල්ටන්ට වයස අවුරුදු 2 සපිරෙද්දී ඔහුගේ මව පවුලෙන් වෙන් වූවාය. එදා පටන් ලුවිස්ගේ මව සහ පියා දෙදෙනාම පියා පමණක් විය. පසු කලෙක නිකොලස් නමැති අර්ධ සහෝදරයෙකු ද ලුවිස්ට ලැබිණි. ඒ පුතුන් දෙදෙනාගේම මව බවට පත් ව සිටියේ ලුවිස්ගේ පියා ය. නිකොලස් මල්ලී ‘සෙරිබ්‍රල් පෝල්සි‘ (මස්තිෂ්ක ආඝාතය) නමැති බරපතළ තත්වයෙන් පෙළුණේය. පසු කලෙක ලුවිස් හැමිල්ටන් කියන්නේ තමන් ජීවිතයේ නොවැටී සිටින්නට ධෛර්යය ගත්තේ ඒ මස්තිෂ්ක රෝගයෙන් පෙළුණු සිය සහෝදරයා ජීවිතය සමග ගෙන යන සටන දෙස බැලීමෙන් බවයි.

පියා තවත් අමතර රැකියා කිහිපයක් කරමින් බ්‍රිතාන්‍ය රේල්ලුවේ ද වැඩ කරමින් ගරාජය ද කරගෙන ගියේය. ඔහු ලුවිස් හැමිල්ටන් ව රේසිං කාර් තරගවලට ගෙන ගියේය. අවශ්‍ය වියදම් සොයා දුන්නේය. හොඳම ගෝ කාර්ට් ගෙනැවිත් දුන්නේය. නැතිනම් පරණ ඒවා අලුත් වැඩියා කර දුන්නේය.

ළාබාලතම ගෝ කාර්ට් ශූරයා ෆෝමියුලා වන් ප්‍රධානියා හමු වූ හැටි

වයස දහයේදී ලුවිස් හැමිල්ටන්, බ්‍රිතාන්‍යයේ ළාබාලතම කැඩෙට් කාටිං ශූරයා බවට පත් විය. ෆියුචර් සීරීස් තරගාවලියේදී ඔහු මැක්ලාරෙන් මර්සිඩීස් ශූරතාවය දිනා ගත්තේය. එහි ත්‍යාග ප්‍රදානෝත්සවයට මැක්ලාරෙන් ෆෝමියාලා වන් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වූ රොන් ඩෙනිස් (Ron Dennis) පැමිණ සිටියේය.

පුංචි ලුවිස් හැමිල්ටන්, රොන් ඩෙනිස්ට එදා මෙසේ කීවේය. ‘‘මම කවදහරි දවසක ෆෝමියුලා වන් පදිනවා…‘‘

අවුරුදු 9 කින් තමන්ට දුරකථන ඇමතුමක් දෙන්නැයි එදා වයස 10 ක් වූ ලුවිස් හැමිල්ටන් හට රොන් ඩෙනිස් කීවේය.

මේ සිද්ධිය BBC Caribbean වෙබ් අඩවිය විස්තර කරන්නේ රොන් ඩෙනිස්ගේ ප්‍රකාශයක් ද සමග ය. ‘‘(ඔහු) මා දිහා එක එල්ලේ බලලා ජීවිතේ මොකක්ද කරන්න ඉන්නෙ කියල මට දැනුම් දුන්නා.. ඒක පුදුම විදිහට මට වැදුණා..‘‘

BBC Caribbean Web site: “[He] looked me square in the face and informed me where he was going in his life. Without breaking eye contact, he told me how he was going to go about his career. It impressed the hell out of me.”

‘‘එදා රාත්‍රියේ ලුවිස් හැමිල්ටන් මා වෙත ආව විදිහ විස්තර කරන්න හොඳම ක්‍රමය මේකයි.. ආත්ම විශ්වාසය සහ සියලු අහංකාරයන්ගෙන් තොර වීම..‘‘ යැයි රොන් ඩෙනිස් The Sports Illustrated සමග ද කියා ඇත.

එහි ප්‍රතිඵලය ලෙසට ලුවිස් හැමිල්ටන් හට වසර 9 ක් බලා සිටීමට සිදුවූයේ නැත. ඊළඟ වසරේදී, වයස අවුරුදු 13 දී ඔහු මැක්ලාරෙන් සමාගම සමග ගිවිසුම්ගත විය.

F1 – සුදු ධනපතියන්ගේ කලාපයක්

ගෝ කාර්ට් පැදවූ කළු කොලුවෙකු ෆෝමියුලා වන් රේසිං පථයට පැමිණීම කෙසේ කල්පනා කළත් අහම්බයක් හෝ වාසනාවක් නොව කුඩා කොලුවකුගේ ධෛර්ය සම්පන්න ඉරණම් ගමනේ කතාංගයකි.

අද පවා කළු ජාතිකයෙකුට F1 ධාවන ශූරයෙකු වීම සිතාගැනීමට පවා අපහසු දෙයකි. මෙයට වසර 20කට පෙර ද එය එසේම විය. එය සහමුලින්ම, සුදු හම ඇති ධනවතුන්ගේ කලාපයක් විය. තවද අතිශය දරුණු තරගකාරිත්වයකින් ද යුතු විය. ලුවිස් ජයගන්නට පටන් ගන්නා විට එය සාදරයෙන් පිළිගැනුණු, හදවතින් සුබ පැතුණු කාරණයක් වූයේ නැත. එය ප්‍රශ්නයක් බවට පත් කර ගත්තෝ එමට වූහ.

‘‘මම F1 මුලින්ම පදවද්දි ජාතිවාදී නම් කියල මට කෑ ගැහුවා.. මට මුලින් හිතුණෙ ඒ අයගෙන් පළිගන්න ඕනෙ කියලයි. නමුත් පස්සෙ පස්සෙ, මට මොනව කියල කෑ ගැහුවත් මම ඒව ගණන් නොගෙන ඉන්න පුරුදු වුණා..‘‘

එය පියාගෙන් ඔහුට ලැබුණු අවවාදය විය. සිය පුත්‍රයාට එල්ල වන ලොකුම අභියෝගය ඔහුගේ සමේ වර්ණය බව ඇන්තනී දැන සිටියේය. ඔහු නොදැන සිටියේ, ඔහුගේ පුත්‍රයාගේ අනන්‍යතාවය වෙනුවෙන් නියම බලපෑම සිදුකරන්නේ ද එය විසින් බවයි.

නිසැකවම රේසිං ධාවන පථයේ කාල් ලුවිස්, ලුවිස් හැමිල්ටන් ය. අද වන විට කාල් ලුවිස්ගේ තැන, තවත් කළු ජාතිකයෙකු වූ ජැමෙයිකානු ජවාධිකයා- උසේන් බෝල්ට් විසින් දිනාගෙන ඇතත්, රේසිං පථයේ නම් ලුවිස් හැමිල්ටන් කෙනෙකු බිහිවන ලකුණක් පවා නැත. එදා අප්‍රතිහත ධෛර්යයකින් යුතු කුඩා කොලුවෙකු වූ ලුවිස් හැමිල්ටන්, කිසිවිටෙක මුල අමතක නොකරන නිසාම, අදටත් ජයග්‍රහණයේ කුසලානය අබියසදී තරුණ ඔහු, තමන් පසුපස ආ යුතු අලුත් පරපුරක් ගැන කතා කරන්නේ එනිසා ය.

අදටත් F1 ධාවන පථයකදී ඔබට හමුවන එකම එක කළු ජාතිකයා ලුවිස් හැමිල්ටන් ය. ප්‍රථමයා ද ඔහු විය. නමුත් අවසානයා ඔහු නොවනු දැකීම ඔහුගේ ද සිහිනයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි