×

ලොක් නෙස් විලේ අද්භූත ‘නෙසී‘ මරා දැමේ!

ක්‍රි.ව. 546 පටන් ලෝකය පුදුමයට සහ භීතියට පත් කළ ලොක් නෙස් විලේ අබිරහස අවසානයේ විසඳී තිබේ. නමුත් ඒ, ඔබ-මා සිතන අන්දමින් නොවේ.


අවසානයේ විද්‍යාඥයන් විසින් එය විසඳා තිබේ. එය විසඳීම සඳහා ඔවුන් යොදාගත් සිද්ධාන්තයට කියන්නේ  “plausible theory” කියා ය.

ස්කොට්ලන්තයේ ලොක් නෙස් විලේ ජීවත් වන ‘නෙසී‘ නමැති අද්භූත සත්වයා පිළිබඳ ලෝකය මෙතෙක් දන්නා කරුණු බොහොමයකි. එකක් නම්, ඇය ගැහැණු සතෙක් බව ය. ඒ සත්වයාට අප ‘නෙස්‘ කියා කියන්නේ නැතිව ‘නෙසී‘ කියා කියන්නේ ඇය ගැහැණු සතෙකු බව පෙන්වන්නට ය. තවද ක්‍රි.ව. හයවන සියවසේ පටන්ම ඇය විසින් ලෝකය පුදුම කරමින් තිබේ.  නමුත් මේ ලිපිය අවසාන වන විට ඔබට විද්‍යාඥයන් විසින් සිදුකර තිබෙන්නේ නෙසීගේ අබිරහස විසඳීම නොව, ඇයව මරා දැමීම යැයි ද කෙනෙකුට කිව හැක.

විද්‍යාඥයන්ගේ අවසාන නිගමනය මෙයයි. ‘‘කිසියම් දවසක නෙසී නමැති සත්වයෙක් ජීවත් වුණා නම්, ඇය නිසැක වශයෙන්ම යෝධ ආඳෙකි..‘‘.

නමුත් ඔබ ඔවුන් සමග එකඟ විය යුතුය කියා දෙයක් නැත. එනිසා මේ ලිපිය අග දක්වාම කියවන්නට අමතක නොකරන්න….

නෙස් ගඟේ අද්භූත සත්වයා

සැතපුම් 6 ක් දුරට ගලා ගොස් ස්කොට්ලන්තයේ ලොක් නෙස් වෙතට වැටෙන නෙස් ගංගාව (River Ness) තුළ ජීවත් වන මේ අද්භූත දැවැන්තයා හෙවත් ‘අපරරූපියා‘ ගැන ලෝකයට මුලින්ම දැනගන්නට ලැබෙන්නේ අයිරිෂ් මිෂනාරි වාර්තා Irish missionary’s report වකිනි. එදා පටන් ලොක් නෙස් විලේ අද්භූත සත්වයා, ලෝකයේ ලොකුම අබිරහස බවට පත්ව තිබේ.

පහත දැක්වෙන, නෙසීගේ ඡායාරූපය මුලින්ම පළ වන්නේ 1934 වසරේදී ය. එමගින් අසාමාන්‍ය ලෙස දිගු ගෙළක් සහිත සත්වයෙකු ලොක් නෙස් විලෙන් මතුවන අවස්ථාවක් දැක්වේ.ලෝකය කැළඹූ මේ ඡායාරූපය අද පවා නිරන්තරයෙන් තැන් හි පළ වෙයි.

The hoaxed photo of the Loch Ness monster taken in 1934 by Colonel Robert Wilson.
The hoaxed photo of the Loch Ness monster taken in 1934 by Colonel Robert Wilson.
Image: Robert Kenneth Wilson/Wikipedia

ඩීඑන්ඒ සාම්පල එක් රැස් කිරීම

විද්‍යාඥයන් කල්පනා කළේ මේ අබිරහස විසඳීමට නම් ලොක් නෙස් තුළ පවතින සියලුම ජීවීන්ගේ ඩීඑන්ඒ නියැදි අධ්‍යයනය කළ යුතු බව ය. මේ ආකාරයේ ඩී එන් ඒ සාම්පල විද්‍යා ලෝකයේදී හඳුන්වන්නේ environmental DNA හෙවත් e-DNA යනුවෙනි. මෙහිදී ජීවී පදාර්ථවල සෛලවල තිබෙන සියලුම ජානමය ද්‍රව්‍ය එක්රැස් කිරීම සිදු කරයි. යම් නිකේතනයක් තුළ ජීවත් වන සියලු ජීවීන් හඳුනා ගැනීමට මෙමගින් ලැබෙන්නේ මහත් පිටිවහලකි.

ලොක් නෙස් විලේ බටහිර ඉවුරේ ඩ්‍රම්නඩ්‍රොචිට් Drumnadrochit ගම්මානය පිහිටා තිබේ.  පසුගියදා විද්‍යාඥයන් විසින් තමන් විසින් ඊ-ඩීඑන්ඒ සාම්පලයේ ප්‍රතිඵල නිවේදනය කළේ මෙහි සිට ය. මේ සඳහා ඔවුන් විසින් ලොක් නෙස් විලේ ජලය ලීටරයේ නියැදි 200 ක් පරීක්ෂාවට ලක් කර තිබිණි. විල මතුපිට මෙන්ම විල පත්ල ආශ්‍රිතව ද මෙම පර්යේෂණය සිදු කෙරිණි. අනතුරුව එම සාම්පල ‘අද්භූත සත්වයා නොමැති‘ ලොක් ප්‍ර දේශයේ වෙනත් විල්වලින් ලබාගත් සාම්පල 36 ක් සමග සැසඳීම සිදු විය. මේ සමීක්ෂණය මගින් ලෙක් නෙස් ආශ්‍රිතව ජීවත් වන සියලු ජීවී විශේෂ ලැයිස්තු ගත කිරීමේ අමතර වාසිය ලබාගැනීමට ද විද්‍යාඥයන්ට හැකි විය. බැක්ටීරියාවන්ගේ සිට ශාක හා සතුන් දක්වා වූ දිගු ලැයිස්තුවකි, එය.

 

සොයාගත්තේ මොනවාද?

ජීවි ව්‍යූහයන් මිලියන 500 කට ආසන්න සංඛ්‍යාවක් සහ ජීවී විශේෂ 3000 කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබිණි.

මෙම පර්යේෂණය සිදු කෙරුණේ නවසීලන්තයේ ඔටාගෝ සරසවියේ නීල් ගෙමිල් (Neil Gemmill ) ගේ ප්‍රධානත්වයෙනි.

 

ඩයිනසෝරයන්ගේ නෑයෙක්ද?

නෙසී ගැන ලෝකයේ පැවති ජනප්‍රියම පුරාවෘත්තය වූයේ ඇය ප්ලෙසියෝසෝරයෙක් (plesiosaur) බවයි. ප්ලෙසියොසෝරයන් ඉතා දිගු ගෙළක් සහිත යෝධ ජලචර උරගෙයකු වූ අතර, ජුරාසික යුගයේ ඩයිනසෝරයන්ගේ වඳ වී යාමත් සමග ප්ලෙසියොසෝරයන්ගේ ද වඳවී යාම සිදු වී යැයි සැලකේ. ජුරාසික යුගයේ ඩයිනසෝරයන් වඳ වී යාම, පෘථිවිය මුහුණ දුන් අවසාන මහා පරිමාණ ජීවී වඳ වීයාම වන අතර, එය සිදුවූයේ මෙයට වසර මිලියන 65කට පෙර ය.

ස්කොට් භූ විද්‍යාඥ හියු මිලර් විසින් ලෝකයේ මුල්ම ප්ලෙසියොසෝර ඇටකටු සොායාගත්තේ ද ස්කොට්ලන්තයේ ඊගි කොදෙව්වෙන් වීම නිසා, නෙසී යනු ප්ලෙසියොසෝරයෙක් බවට පැවතියේ අති ප්‍රබල විශ්වාසයකි.

 

සුවිසල් ආඳෙක්!

කෙසේ නමුත් නෙසී පිළිබඳ වඩාත්ම මෑතකදී සිදු කෙරුණු මේ පර්යේෂණයෙන් පසුව විද්‍යාඥයන් කියන්නේ ලොක් නෙස් විලේ වාසය කරන බව කියන, 20 වන සියවෙස් මුල්ම ඡායාරූපයේ පටන් ලෝකය බියපත් කරන ‘නෙසී‘ යනු, යෝධ ආඳා විශේෂයක් බවට පමණක්, පෙර කී ලොක් නෙස් විලේ ජීවී සංගණනයෙන් සාක්ෂි ලැබී ඇති බවයි.

මේ බව තවදුරටත් තහවුරු කරමින් පර්යේෂකයන් පවසන්නේ ලොක්නෙස් ආශ්‍රිතව නියැදිගත කළ ප්‍රවේණික ද්‍රව්‍ය අතර, අතිශයින්ම යෝධ ආඳෙකුගේ ඩීඑන්ඒ (eel DNA) පවතින බව ය.

A large, but not monstrous, European eel.
A large, but not monstrous, European eel.
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ යුරෝපියානු යෝධ ආඳකෙි. එනිසා මේ වන විට විද්‍යා ලෝකය එළැඹී ඇති නිගමනය වන්නේ ලොක් නෙස් විලෙන් කලින් කලට මතු වන්නේ යෝධ ආඳෙකු මිස වෙනත් අද්භූත සත්වයෙකු නොවන බවයි. ඒ අනුව මෙතෙක් ලෝකයේ නවකතා, චිත්‍රපට සහ පුරාවෘත්තවලට වස්තුබීජ වු නෙසී ව විද්‍යාඥයන් විසින් මරා දමා ඇතැයි ද කිව හැක්කේ මින් ඉදිරියට නෙසී අබිරහස් නොවන හෙයිනි.
නමුත් මේ සියල්ල පරයා, අද දිනයේ ද වාර්තා වූයේ, ස්කොට්ලන්ත ජාතිකයන්ගෙන් 80%ක්ම, නෙසී යනු, ලෝකය බියපත් කරවන අද්භූත සත්වයෙකු බව තවදුරටත් විශ්වාස කරමින් සිටිනා බවයි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි