×

ලෝකයට ලස්සන ගුවන්තොටුපොළක්!

ඉන්දියාවේ සියවන ගුවන්තොටුපොළත් විවෘත කෙරේ.


ලොව සුවිශේෂ ගුවන්තොටුපොළක් හැටියට සැලකෙන පක්යොන්ග් ගුවන්තොටුපොළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

මේ ගුවන්තොටුපොළ පිහිටා තිබෙන්නේ ඊශාන දිග ඉන්දියාවේ සික්කිම් ප්‍රන්තයේ පක්යොන්ග්හි ය (Pakyong). හරියටම කිවහොත් ප්‍රාන්ත අගනගරය වන ගොන්ග්ටොක් (Gangtok) සිට කිලෝමීටර තිහක් පමණ ඈතිනි. ගුවන්තොටුපොළ මුහුදු මට්ටමේ සිට අඩි 4,500ක් පමණ ඉහළින් පිහිටා ඇත. එහි ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල තැබුණේ 2009 වසරේදී ය. ඒ අනුව වසර නවයකට ආසන්න කාලයක් මුළුල්ලේ ගුවන්තොටුපොළේ ඉදිකිරීම් කටයුතු සිදුව තිබේ. ඉදිකිරීම් සඳහා එපමණ කාලයක් ගතවුණේ ඉතා තද පාෂාණවලින් නිර්මිත බැවින් පොළොව කැපීම පවා බෙහෙවින්ම දුෂ්කර වූ බැවිනි. ඒ හැරුණුවිට ඉදිකිරීම් සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සියල්ලක්ම රැගෙන යන්නට සිදුවුණේ කඳුකරය හරහා වැටුණු ඉතාමත් පටු මාර්ග ඔස්සේය. සික්කිම් වෙත මෝසම් වර්ෂාව ලැබෙන, අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වූ කාලයේදී ඉදිකිරීම් කටයුතු මුළුමනින්ම වාගේ ඇනහිටි බව සඳහන් වේ. පක්යොන්ග් ගුවන්තොටුපොළ ගොඩනැඟීම ඉංජිනේරුවන්ට බෙහෙවින්ම අභියෝගයක් වූ බව ඉදිකිරීම් භාරව සිටි සමාගමේ බලධාරීහු පවසති.

ගුවන්තොටුපොළ අක්කර 201කට අධික භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇත. එය, කිලෝමීටර 1.75ක් දිගැති ධාවන පථයකින් සහ වර්ග මීටර 3,000ක සරියකින් යුත් පර්යන්ත ගොඩනැඟිල්ලකින් සමන්විතය. ධාවන පථය දෙපසම තිබෙන්නේ ගැඹුරු නිම්නයන් ය. වරකට මඟීන් සියදෙනෙකුගේ කටයුතු පාලනය කිරීමේ ධාරිතාවයක් ගුවන්තොටුපොළ සතු බව සඳහන් වේ. එහි වාණිජ ගුවන් සේවා කටයුතු ඔක්තෝම්බර් 4 වැනිදා ආරම්භ වීම‍ට නියමිතයි.

සික්කිම්, සංචාරක ආකර්ෂණයට නොමඳව ලක්වුණු තැනෙකි. ලොව තෙවැනි තැනට උස කන්චෙන්ජුන්ගා (Kanchenjunga) ගිරි ශිඛරය තිබෙන්නේ ද සික්කිම් ප්‍රාන්තයේය. ටිබෙටය, නේපාලය සහ භූතානය වෙත පිවිසෙන්නට කඳුකර මාර්ග අටක් සික්කිම් ප්‍රාන්තයේ සිට වැටී ඇත. මේ නිසා ලොව අලංකාරවත් ම පරිසර පද්ධතියක පිහිටි ගුවන්තොටුපොළක් හැටියට පක්යොන්ග් ගුවන්තොටුපොළ හඳුන්වා දෙන්නට පුළුවන. නව ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමඟම එහි ඇදෙන සංචාරකයන් සංඛ්‍යාව වැඩි වනු ඇතැයි කියා විශ්වාස කෙරේ.

ගුවන්තොටුපොළක් නොතිබුණු එකම ඉන්දීය ප්‍රාන්තය ලෙස මෙතෙක් පැවැතියේ ද සික්කිම් ප්‍රාන්තයයි.

https://www.bbc.com/news/world-asia-india-45624436



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි