එය පිහිටා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ආශ්‍රිතවම ය. මෙය, වසර 120 ක සාගර ඉතිහාසයේ සිදුකළ දැවැන්තම සොයාගැනීමක් ලෙස සලකයි.
එහි උස මීටර 500 කි. එනම් අඩි 1,640 කි. ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට මෙන්ම මැලේසියාවේ කුවාලාලම්පූර් හි පෙට්‍රොනාස් කුලුනුවලට ද වඩා එය උසැති ය.
ත්‍රිමාන සිතියම්වල වෙහෙරක් ලෙස දිස්වුණත්, බ්ලේඩ් තලයක් මෙන් උඩට විහිදෙන බව පර්යේෂකයෝ කියති. එය, කිලෝමීටර 1.5 ක් දුරට ද විහිදී තිබේ.
ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයේ මෙතෙක් ගවේෂණය නොකළ කේප් යෝක් ආශ්‍රිතව තිබී මෙය සොයාගන්නට සහ මෙහි උස තහවුරු කර ගන්නට විද්‍යාඥයන්ට මාස 12 ක කාලයක් ගත වී තිබේ.
සුබැස්ටියන්‘ – SuBastian නමැති රොබෝවක් යොදාගෙන සාගර පත්ල ත්‍රිමාන තාක්ෂණයෙන් සිතියම් ගත කිරීමේදී මෙම අති දැවැන්ත සහ යෝධ උසැති කොරල් පරය ඔවුන්ට හමු වී තිබේ.
මෙය හමුවී ඇති කලාපය, උසැති කොරල්පර බහුල තැනකි. ලෝකයේ වැදගත්ම කොල කැස්බෑවුන්ගේ බිජු බිමක් සේ සලකන රයින් දූපත ද පිහිටා ඇත්තේ මේ අසල ය.
උතුරු ක්වීන්ස්ලන්තයේ මුහුදු පත්ල සමග මෙම කොරල්පරය සම්බන්ධ වී තිබුණත් පර්යේෂකයන් කියන්නේ මෙය, මහා බාධක කොරල් පරයේ ප්‍රධාන බඳ කොටස සමග සම්බන්ධ වී නැති බවයි.
ලෝකයේ ලොකුම කොරල් පරය වන්නේ The Great Barrier Reef හෙවත් මහා බාධක කොරල්පරයයි. මෙහි මත්ස්‍ය විශේෂ 150 ක් ද, දෘඩ කොරල් හා සෙසු ජීවී විශේෂ 411 ක් ද ජීවත් වෙති. එය සැතපුම් 1400 ක් දුරට විහිදෙයි. 1981 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කළ මෙය, වේගයෙන් මිය යමින් තිබෙන ස්වභාවික සම්පතක් ද බව පසුගිය වසරවලදී හෙළිවිය.
මේ සොයාගැනීම අපට පවසන්නේ මහා සාගරය ගැන මිනිසා දැන සිටින්නේ කොතරම් අඩුවෙන් ද යන්නයි. ස්වභාවික පරිසර පද්ධතිවල සැඟවී තිබෙන අරුමැසි සුන්දරත්වය මිනිසා විසින් විනාශ කරන නිසාම, මෙවැනි අසිරිමත් දෙයින් මන්මත් වීමට මිනිසාට ඇති අයිතිය කුමක්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. තවත් දශක කිහිපයක් ගත වූ පසු, මේ කොරල් පරයේ ජීවි බව ද දේශගුණික විපර්යාස හේතුවෙන් නැසී ගොස් ඇති බව හෝ, සාගර ජලයේ ආම්ලික බව දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි වීම නිසා මෙය දියවෙමින් යන බව හෝ මීළඟ පරම්පරාවට දැනගැනීමට සිදුවනු ඇත.
එනිසා, ලෝකයම දැන් ඇස් උඩ හිඳුවාගෙන බලා සිටින ලෝකයේ උසම කොරල් පරය ගැන අවසානයේ අපට කියන්නට තිබෙන්නේ මෙබන්දකි.
කොයි තරම් උස වුණත් මොකටද – මිනිස් විස දිවි නසනවා නම්…