×

ලෝකයේ පොදු ප්‍රවාහන සේවා නොමිලේ ලබාදෙන ප්‍රථම රට – ලක්සම්බර්ග් වෙතින් ලංකාවට පාඩමක්

රට තුළ ප්‍රවාහන පහසුකම් සියල්ල සම්පූර්ණයෙන් ම නොමිලයේ සිය ජනතාව වෙත ලබා දෙන ලෝකයේ ප්‍රථම රාජ්‍යය බවට ලක්සම්බර්ගය පත් වීමට නියමිත ය. 


ලබන ගිම්හාන සමයේ පටන් ලක්සම්බර්ග් රාජ්‍යයේ දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් ගාස්තු සියල්ලම කපා හැරෙනු ඇත. පසුගිය දා නැවතත් අගමැති ධූරයට පත් වූ සේවියර් බෙටෙල් (Xavier Bettel) ගේ මැතිවරණ පොරොන්දුවක් පරිදි පරිසරයට මුල් තැන දී කටයුතු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. එනම්, මෙමගින් පුද්ගලික වාහනවල යන පිරිස් ද පොදු ප්‍රවාහන සේවාවන් භාවිතාකිරීමට පොළඹවනු ලබන අතර, එමගින්, පොසිල ඉන්ධන දහනය අඩු කෙරෙනු ඇත.

ලක්සම්බර්ගය යුරෝපයේ කුඩාම රාජ්‍යයකි. එහි විශාලත්වය වර්ග සැතපුම් 999 ක් පමණක් වේ. එනම් වර්ග කිලෝමීටර 2590 කි. වෙනත් ආකාරයකින් කියන්නේ නම්, බොහෝ විට මේ රටේ වැඩිම දුරක් ගමන් කරන විට ගත වන්නේ පැය 2 කි. ඒ සඳහා දැනට සාමාන්‍යයෙන් යූරෝ දෙකක ගාස්තුවක් දැරීමට සිදු වේ.

ලක්සම්බර්ග් හි ජනගහනය ලක්ෂ 6 ක් පමණි. ඒ අතරින් ලක්සම්බර්ග් සිටි අගනුවර 110,000 ක පමණ පිරිසක් ජීවත් වෙති. නමුත් තවත් ලක්ෂ 4ක් දිනපතා එම අගනුවරට ඇදී එන්නේ රැකියා සඳහා ය. ඒ අනුව මෙම ‘පාවෙන ජනගහනය‘ (Floating population) ද සහිතව අගනුවර ජනගහනය ලක්ෂ 5 ද ඉක්මවයි. එයින් ද ලක්ෂ 2 ක් අසල්වැසි ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය ආදී රටවලින් දිනපතා වැඩට එන අය වීම ද විශේෂත්වයකි.

එනිසා ලක්සම්බර්ග් සිටි හි මේ වන විට පවතින්නේ මිහිමත දැකිය හැකි විශාලතම වාහන තදබදයයි.

ඒ නිසා නව අගමැති සේවියර්, මුළු ලෝකයටම ආදර්ශයක් දෙමින් පරිසර හිතකාමී ලෙස මේ තදබදය හසුරුවා ගැනීමට සැරසෙයි.

ලංකාවට පාඩමක්

දැන් අපි ලංකාව වෙත හැරෙමු. දකුණු ආසියාවේ විශාලතම පාවෙන ජනගහනය ඇති නගරය ලෙස සැලකෙන්නේ ලංකාවේ වාණිජ අගනුවර ලෙස සැලකෙන කොළඹ අගනුවරයි. කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ 555,031 ක් දෙනා නිල දත්ත අනුව ජීවත් වෙති. ඒ අතරවාරයේ දෛනිකව 400,000 (ලක්ෂ 4 ක්) දෙනා රැකියාව සඳහා කොළඹ එති. ඔවුන් කොළඹ අගනුවර වෙත ඇදී එන පාවෙන ජනගහනයයි. (මූලාශ්‍රය: www.colombo.mc.gov.lk/colombo.php) ඒ අනුව කොළඹ නගරයේ සමස්ත ජනගහනය ලක්ෂ පහමාරේ සිට නවය දක්වා වේ. මේ පාවෙන ජනගනය අතරින් කොපමණ ප්‍රතිශතයක් පුද්ගලික වාහන පාවිච්චි කරන්නේ දැයි නිල සංඛ්‍යාලේඛන නොමැත. ඇතැම් වාර්තාවකට අනුව කොළඹට දෛනිකව පැමිණෙන මෝටර් රථ සංඛ්‍යාව පමණක් 170,000 කි! පොදු ප්‍රවාහන සේවාවන්ගේ වාහන ගණන 25,000 නොඉක්මවයි! (මූලාශ්‍රය -https://indi.ca/2015/10/colombo-vehicle-statistics-2015/)

ඉතින් ලක්සම්බර්ගයේ මෙන් පාලකයන් අපටත් සිටියා නම්.. ඔවුන් මේ වන විටත් මේ ගැටළුවට විසඳුම් සොයා අවසන් ය. පුද්ගලික රථ පාවිච්චි කරන අති මහත් බහුතරය, පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන ලෙස දිරිගන්වා එමගින් අවම වශයෙන් රථ වාහන තදබදයවත් අඩු කර ගැනීමට අපට හැකි නම්…. එවිට නොමිලේ බසයේ, දුම්රියේ යන්නට නොලැබුණද කම් නැත!

කොළඹ ට්‍රැෆික්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි