×

ලෝකෙ පෙරළුණත් සිනාසෙන ලිහිණියා !

‘ලෝකයේ ප්‍රීතිමත්ම පක්ෂියාගේ ඡායාරූපය‘ - “the happiest bird in the world” යනුවෙන් මේ වන විට ලොව පුරා වයිරල් වෙමින් යන ‘සිනාසෙන ලිහිණියාගේ‘ කතාන්දරයයි, මේ.


ස්කොට්ලන්තයේ ඡායාරූප ශිල්පිනියක වන කරේන් මුන්රෝට මුලින් මේ තරම් අනර්ඝ ඡායාරූපයක් තමන් විසින් කාච ඇසට හසුකරගත් බව නිකමටවත් සිතුණේ නැත. සිදු වී ඇති අපූරු අහම්බය ඇය දුටුවේ කැමරාවේ සටහන් වී ඇති ඡායාරූප පිරික්සන විට ය.

ස්කොට්ලන්ත වෙරළ තීරයේ ස්ට්‍රෝමා දූපත ආශ්‍රිත වන ජීවිත ඡායාරූපයට නගන්නට ඇයට අවශ්‍ය වී තිබිණි. එය වැසිබර දිනයකි. මෙම දූපත අසල ෆ්ලූමර් වර්ගයේ මුහුදු ලිහිණින් බහුල ය. දූපත් රළ පෙළ මත සර්ෆිං ක්‍රීඩාවේ යෙදෙනවුන් හෝ බෝට්ටු සවාරිවල යන අයට සමාන්තරව මේ මුහුදු ලිහිණියෝ නිතර රේස් යති. නමුත් මේ ෆ්ලූමරයා ඇය විසින් කාචයට හසු කර ගන්නේ ඔහු අහසේ සිටියදී ය. දුර්වල ආලෝක තත්වයක් යටතේ සිදුකළ මේ ඡායාරූපකරණයේ දැකියහැකි සුවිශේෂීම තත්වය වූයේ නියම මොහොතේදී එය සිදුකිරීමයි. හෙවත් perfect timing ය. ඡායාරූප ශිල්පිනිය ට මේ අනපේක්ෂිත වාසනාව උදා වී තිබුණේ මේ පක්ෂියා ගුවනේදී සිය සිරුර ගසාදමන නිමේෂයකදී ය.

විශ්වාස කරන්න! මේ මුහුදු ලිහිණි හාදයා අහසේ උඩු අතට පාවෙන නිමේෂයක තටු හකුළාගෙන – සුළං සැර විඳිමින් මද සිනා ද නගයි. හරියට හිසට අතක් තබාගෙන විවේකී සුවයෙන් පසුවන සෙයකි. ඉතින් පක්ෂීන් සිනාසෙනු දැක නැතිනම්, ඔබ කළ යුත්තේ පහත දැක්වෙන සමීප දසුනෙන් ඒ මන්දස්මිතය දෙස හොඳින් බැලීමයි!

‘Happy Bird Photo’ යනුවෙන් ඉන්ස්ටර්ග්‍රෑමයේ විශාල අවධානයක් දිනාගත් මේ ඡායාරූපය ගැන අදහස් දක්වමින් එක් අයෙක් මෙසේ කියා තිබේ.

‘‘ලෝකෙම පෙරළුණත් එයා හිනාවෙනවා. මේ කොවිඩ් වසංගත කාලෙ මුළු ලෝකෙම ශෝකයෙන් අඳුරු වෙලා තියෙද්දි මුළු ලෝකයටම උවමනා කරන්නෙ මේ වගේ මද සිනාවක් තමයි!‘

Photo Credit –  Instagram/ @kasmuro2



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි