×

ලෝක ටෙලිවිෂන් දිනය අදයි !

ලෝක ටෙලිවිෂන් දිනය නොවැම්බර් 21 දාට යෙදී තිබේ.


මාධ්‍ය ලෝකයේ වැඩියෙන්ම විවේචනයන්ට බඳුන් වූ මාධ්‍ය ටෙලිවිෂනය යි. සමාජ මාධ්‍යයේ ව්‍යාප්තිය හමුවේ වුවද ප්‍රබලතම මාධ්‍යයක් ලෙස එය හැඳින්විය හැකිය .විවේචනයන්ට ප්‍රධාන හේතු වූයේ ටෙලිවිෂනයට ආවේණික වාණිජ ලක්ෂණයයි. එතෙක් පැවැති පුවත්පත් හා රේඩියෝ මාධ්‍යයට වඩා වාණිජත්වය මුල් වූ බැවිනි.

මුල් යුගයේ ඇමරිකානු NBC ටෙලිවිෂන් ප්‍රවෘත්තියක දර්ශන පෙළ මෙහිදී මතක් වෙයි. ප්‍රවෘත්ති නිවේදකයා දුම්වැටියක් පානය කරමින් පැමිණ ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භ කරයි. ඒ Camel සිගරට් සමාගමේ අනුග්‍රහයෙනි. ටෙලිවිෂනය එතරම් නග්න වාණිජ මාධ්‍යයක් විය.

NBC පුවත් සේවයේ ජෝන් කැමරන්ගේ ප්‍රවෘත්ති බුලටිනයට අනුග්‍රාහකත්වය සැපයූවේ කැමරන් සිගරට් සමාගමයි

 

1960-70 දශකවල ටෙලිවිෂනය ධනවාදී ආර්ථිකයේ තානාපතිවරයෙකි. එය මිනිස් සිතුම් පැතුම් පාලනය කරමින් අලෙවිකරණය මගින් පුද්ගල පරිභෝජනයට බලපෑම් කළේය. එමෙන්ම ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රවර්ධකයෙකි. පාලකයන්ගේ සුරතලෙකි. බහුජාතික සමාගම්වල මිත්‍රයෙකි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු අධ්‍යාපනික මාධ්‍යයක් ලෙස බෞතීස්ම කර තිබුණ ද සැබෑ ස්වරූපය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. එක්සත් රාජධානිය, ජපානය වැනි රටවල් යම්තාක් දුරට හීලෑ කරගත් නමුත් තුන්වන ලෝකයේ රටවල දී නව ලිබරල් ආර්ථිකයේ කසකරුවා ය .

1990 දශකයේ දේශ සීමා මායිම් ඉවතලා අන්තර් මහද්වීපික සේවාවන් ලෙස ව්‍යාප්ත විය. CNN නාලිකාව එහි කැපී පෙනුණු චරිතයයි.ටෙලිවිෂන් හැඩය සම්පූර්ණ වෙනසකට ලක්විය. පටිගත කිරීම් වෙනුවට සජීවී දර්ශන වලට මුල් තැන ලැබුණි. දවසට පැය කීපයක් වෙනුවට 24 x 7 සංකල්පය ක්‍රියාත්මක විය. ටෙලි නාට්‍ය, සංගීත වැඩසටහන්වල සිට රියැලිටි දක්වා ජනප්‍රිය වැඩසටහන් ආකෘති ද පුළුල් ග්‍රාහක පිරිස් වෙනුවට අල්ප පරාස නාලිකා දක්වාද ටෙලිවිෂනය ගමන් කළේය. ග්‍රාහකයා සකසන අන්තර්ගතයෙන් පෝෂණය වී යූටියුබ් ලෙසද චිත්‍රපට හා නාට්‍ය වලින් යුත් Netflix මාධ්‍යයද ටෙලිවිෂනයේ තැන ගැනීමට යම්තාක් දුරට සමත්ව තිබේ.එහෙත් තාක්ෂණික සීමාවන් හදිසි තත්ත්වයකදී ටෙලිවිෂනය යළි කැඳවනු ලබන බව ඉතිහාසය ඔප්පු කර ඇත. 2001 සැප්තැම්බර් සැප්තැම්බර් 11 ප්‍රහාරය වන විට ඩොට් කොම් ප්‍රවණතාවේ වෙබ්වලට හුරු වී සිටි ඇමරිකා ජනයාට ලෝක වෙළද මධ්‍යස්ථාන ප්‍රහාරය ගැන දැන ගැනීමට නැවතත් ටෙලිවිෂන දූවිලි පිස දමා සාලයට කැදවීමට සිදුවිය .එහෙත් ටෙලිවිෂනයට තනි ගමනක් නැත .දැන් එය සමාජ මාධ්‍ය තුළට රිංගමින් විවිධ හැඩවලට හුරුවෙමින් මාධ්‍ය අතර පරතරය දිය කරමින් තවදුරටත් නොනැසී පවතී .

එවන් පසුබිමක අපි තවත් ටෙලිවිෂන් දිනයක් සමරමු .

කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් තබන ලද ෆේස්බුක් සටහනකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි