×

වසංගත බොරදියේ මාළු බාන ට්‍රම්ප්, විදේශිකයන්ට ඇමරිකාවේ පදිංචිය තහනම් කරයි !

ඇමරිකාවේ ස්ථිර පදිංචිය විදේශිකයන් සඳහා දින 60 කට තහනම් කරමින් අද (23) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබුවේය.


පෙරේදා දිනයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා තිබුණේ ‘නොපෙනෙන සතුරාගේ ප්‍රහාරය හමුවේ අපේ ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන්ගේ රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා සියලු සංක්‍රමණිකයන්ට ඇමරිකාවට ඇතුල් වීම තාවකාලිකව අත්හිටුවන‘ බව ය. නමුත් ඊයේ දිනයේදී ඔහු සඳහන් කර තිබෙන්නේ එය ග්‍රීන්කාඩ් ධාරීන්ට හෙවත් ඇමරිකාවේ ස්ථිර පදිංචියට පැමිණීමට අදහස් කරනවුන්ට පමණක් අදාළ වන බවයි.

ඒ අනුව දැනටමත් ඇමරිකාවේ ස්ථිර පදිංචිය ලබා සිටින සංක්‍රමණිකයන්ට මෙය අදාළ නොවේ.

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ඇමරිකාවේ සෞඛ්‍ය සහ ආහාර ක්ෂේත්‍රයන් හි කෙටි කාලීන රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් එවැනි රැකියා සොයා එන්නන් හට ඇමරිකාව තහනම් නැති බව ඔහු එයට පැහැදිලි කිරීමක් එක් කරමින් ඊයේ පැවසුවේය.

කෙසේ නමුත් මෙම දින 60 ක කාල සීමාව අවසානයේදී මෙම නියෝගය තවදුරටත් දීර්ඝ කරන්නේ ද නැත්ද යන්න නැවත සලකා බලන බව ද ඔහු තවදුරටත් පැවසුවේය.

ජනපති ට්‍රම්ප් පෙරේදා රාත්‍රියේ කළ ට්වීටයට පසුව, පුරා දින 2 ක් මුළුල්ලේ ධවල මන්දිරයේ නීති විශාරදයන් විසින් මෙම විධායක නියෝගය කෙටුම්පත් කෙරිණි. එය ඇමරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා, එනම් අද සවස හෝ රාත්‍රියේ අත්සන් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වුවද, ට්‍රම්ප්ට එය අත්සන් කරන තෙක් ඉවසිල්ලක් තිබී නැත.

ඇතැමුන් සඳහන් කරන්නේ මෙය ට්‍රම්ප්ගේ ජාතිකවාදී මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේම තවත් එක් කොටසක් වූ බවයි.

‘‘ඔහුට හැම තිස්සේම සංක්‍රමණිකයන් පිළිබඳ වෛරයක් තිබුණා. මෙය ඔහුට කරන්නට අවශ්‍යම වී තිබූ දෙයක්. වසංගතය අස්සේ ඔහු එය ලේසියෙන්ම කළා..‘‘ යැයි එක් විචාරකයෙක් පවසයි.

මේ අතර, ඔබාමා පාලන සමයේ පරිපාලකයෙකු ලෙස කටයුතු කළ Boundless Immigration ආයතනයේ ඩවුග් රන්ඩ් වැනි අය මේ නියෝගය දැඩි සේ විවේචනය කරති. ඔවුන් සඳහන් කරන්නේ මෙය දෙමාපියන්ගෙන් දරුවන් වෙන් කරන සහ පවුල් ඉහිරවන අලුත්ම උපාය බවයි. ට්‍රම්ප්ගේ මෙම නියෝගය වසර ගණනාවක් සඳහා අදාළ වීමට ද ඉඩ ඇතැයි ඔහු සැක පළ කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි