×

වාර්තා බේරගන්න බැරි වේගය – ජෙම්ස් ඇන්ඩර්සන්

සියලුම ආකාරයේ තරග ආකෘති තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් වේග පන්දු යවන්නා වෙන්නට ජෙම්ස් ඇන්ඩර්සන් සමත් වෙනවා.


සියලුම ආකාරයේ තරග ආකෘති තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් වේග පන්දු යවන්නා වෙන්නට ජෙම්ස් ඇන්ඩර්සන් සමත් වෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව මැන්චෙස්ටර් හී පැවති එංගලන්ත සංචාරයට අයත් දෙවන ටෙස්ට් තරගයේ දී ඇන්ඩර්සන් එම වාර්තාවට හිමිකම් කියනවා.මීට පෙර එම දස්කම කර තිබුණේ ග්ලේන් මැක්ග්‍රාත් වන අතර ඔහුගේ 949 ක් වූ කඩුලු ප්‍රමාණය සම කරමින් ඇන්ඩර්සන් දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගාර්ව දවා ගනු ලබනවා.950 වන කඩුල්ල ලෙස ඇන්ඩර්සන්ගේ කඩුලු පැසට වැටෙන්නේ සයිමන් හාමර් වන අතර තරගය ඉණිමකින් එංගලන්තය ජයග්‍රහණය කර මේ තරගයේදී ඇන්ඩර්සන්ගේ කඩුලු පැසට තවත් කඩුල්ලක් එකතු වෙනවා.ඒ කගාසෝ රබාඩාගේ කඩුල්ල වන අතර එ නිසා තරගය නිමා වන විට ඇන්ඩර්සන් මැක්ග්‍රාත් පසු කර කඩුලු 951 දක්වා ඉදිරියට ගොස් තිබුණා.


එම කඩුලු ප්‍රමාණය ටෙස්ට් කඩුලු 664 ක්,එක්දින කඩුලු 269 ක් සහ 20/20 කඩුලු 18 ක් ලෙස සටහන් වි පවතිනවා.මේ දත්ත අනුව සළකද්දී වැඩිම කඩුලු එකතුව සහිත වේග පන්දු යවන්නා වීමට අමතරව ඇන්ඩර්සන්ගේ නමට ඇති ටෙස්ට් කඩුලු 664 සටහන් වන්නේ වේග පන්දු යවන්නෙක් සතු වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව ලෙසයි.ඇන්ඩර්සන් අනිල් කුම්බලේ බාගෙන ඇති කඩුලු එකතුව වන 956 පසු කර යන්න ඇත්තේ තවත් කඩුලු 5ක් පමණයි.එවිට ඔහු ටෙස්ට් ඉතිහාසයේ ඕනෑම ආකෘතියක කඩුලු ලැබීම් අතින් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නන් අතරේ තෙවැන්නා බවට පත් වෙනවා.ඊට පසුව ඔහුට ඉදිරියෙන් සිටින පන්දු යවන්නන් වන්නේ ෂේන් වෝර්න් සහ මුත්තයයා මුරලිදරන්.


මේ වන විට සිව්වන තැන ඉන්න ඇන්ඩර්සන්ට උඩින් ඉන්න තිදෙනාම දඟ පන්දු යවන්නො.ඒකට පන්දු යැවීමේදි දරන්න වෙන වෙහෙස නිසා දඟ පන්දු යවන්නන්ට තරම් පන්දු ඕවර් සංඛ්‍යාවක් වේග පන්දු යවන්නෙක්ට හම්බ වෙන්නෙ නැහැ.ඒ නිසා කඩුලු දවාගන්න ලැබෙන ඉඩ අඩුයි.ඒ අතින් බලනකොට දඟ පන්දු යවන්නන්ට පන්දු යවන්න වැඩි පුර ඉඩ තිබුණට කඩුලු ගන්න බැහැ.ඉන්දීය උප මහද්වීපයේ දඟ පන්දුවට වාසිදායක තත්ත්වයක් තණනිල්ලෙන් ලැබුණට ලෝකයෙ වැඩිපුරම වේග පන්දු යවන්නන්ට උචිතයි කියා පිළිගන්න තණතිලිවල තමයි තරග පැවත්වෙන්නෙ.ඒ නිසා දක්ෂතාවය ඕනි.මේ ඉහළින්ම ඉන්න පන්දු යවන්නන්ගෙ නම් ගත්තම ඔවුන් හරියට ඕනිම කාලයකට දීපයකට ඔට්ටු බව පෙන්නපු අය වගෙයි නෙමෙයිද දැනෙන්නෙ.ඇත්තටම ඒක එහෙම තමයි.


කොහොම හරි ඇන්ඩර්සන් සිය පළමු එක්දින තරගයට සෙල්ලම් කරලා තියෙන්නෙ 2002 දී,ටෙස්ට් තරගය 2003 දී.ඒ නිසා විශාල ඉතිහාසයක් තියෙන ක්‍රීඩකයෙක්.නමුත් ඔහු තරග ආකෘති අතරින් සියල්ල කළමණාකරණය වෙන විදිහට ලොකු අවස්ථා ලැබුණේ නැහැ.අවසාන වරට ජාත්‍යන්තර එක්දින තරගයක් ඔහු නියෝජනය කරලා තියෙන්නෙ, 2015 වසරෙදියි.2009 පසුව ඔහු 20/20 තරගයකට ක්‍රීඩා කරලත් නැහැ.හැබැයි මේ තත්ත්වය මුරලි,වෝන් සහ කුම්බ්ලේ පමණක් නොවේ මැක්ග්‍රාත් ගත්තත් වැඩි වෙනසක් නැහැ.විශේෂයෙන් වෝන්ට සහ කුම්බ්ලේට 20/20 කඩුලු ඇත්තේම නැහැ.මේ නම් පහ බලද්දි වැඩිම 20/20 කඩුලු ප්‍රමාණයක් තියෙන්නෙ ඇන්ඩර්සන්ට.


විශේෂයෙන් අද මේ ආකෘති ඇතුළේ තරග වැඩි වෙලා තියෙනවා.ඒ නිසා කවුරු හරි මේ වාර්තාවන් අභිබවා යන්න ඉදිරියට එන්නඉඩ තියෙනවා.හැබැයි තරඟ වැඩි වුණ පමණින් මෙවැනි දක්ෂතා සම කළ හැකි ඒවා නොවෙයි.ඒ වගෙම ඇන්ඩර්සන් වයස 40 ක් වුණාට සමහර විට ඔහුගේ සිරුරෙන් පළා නොයන තරුණ ජවය එක්ක මුරලිගෙ ටෙස්ට් කඩුලු ප්‍රමාණයට වුණත් ළඟා වෙන්න පුළුවන්.අමාරුයි වුණාට ඇන්ඩර්සන් කියන්නෙ වේගය තරමට මේ වෙනතුරු වේග පන්දු යවන්නෙක් වශයෙන් තමන්ගේ නිරෝගීකමත් ඉහළින් ආරක්ෂා කරගෙන ක්‍රීඩා කරන කෙනෙක්.ඔහු මේ වාර්තාව දකුණු අප්‍රිකාවට එරෙහිව තැබූ තරගයේදීත් ඉණිම දෙකේදී ලකුණු 32 ට සහ ලකුණු 30 ට කඩුලු 3 බැඟින් ලකුණු 62 ට කඩුලු 6 ක් දවා ගන්නවා.ඒ වගේම ඔහුගේ සමුගැන්ම ගැන වයස ඉස්සරහට දාගෙන කවුරු අනාවැකි කිව්වත් “සමහර විට අවුරුදු 50 වෙනකම්ම ගහන්නත් පුළුවන්” යනුවෙන් ඇන්ඩර්සන් සමුගැනීමක් ගැන අදහසක්වත් නැතුව කියන හැටි ඔහුගේ වේගය තව කොයි තරම් දුරට වාර්තා අලුත් කරයි ද කියන එක ගැන ඇති කරන්නෙ කුතුහලයක්.


ඒ වගෙම තමයි ඕනෑම ආකෘතියක දවාගත් ජාත්‍යන්තර කඩුලු එකතුව බලද්දි මුලින්ම ඉන්න දස දෙනාගෙන් දීර්ඝ කාලයක් වේග පන්දු යවන්නෙක්ට වඩා දඟ පන්දු යවන්නෙක්ට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන්න පුළුවන් බව යම් තරමක ප්‍රායෝගික සත්‍යක් වුණාට ඒ නම් දහයෙන් හතක්ම වේග පන්දු යවන්නන් නමට ලියැ වී තිබෙනවා.ඒ අතර එංගලන්තය සහ පකිස්තානය වේග පන්දු යුගලය බැඟීන් නියෝජනය කරනවා.පකිස්තානය වෙනුවෙන් වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් එම තැනට පත් වී සිටින අතර එංගලන්තය වෙනුවෙන් එතැනට පැමිණ තිබෙන දෙදෙනා වන ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් යන දෙදෙනාම තවම ක්‍රීඩා කරනවා.ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවෙනුත් මේ දස දෙනා අතරට ක්‍රීඩක යුගලය බැඟින් පැමිණ තිබෙනවා.ඕස්ට්‍රේලියාවෙන් මැක්ග්‍රාත් සහ වෝන් සිටින අතර ශ්‍රී ලංකාවෙන් මුරලි සහ චමින්ද වාස් සිටිනවා.මේ රටවල් දෙක එම දස දෙනා අතරට වේග පන්දු යවන්නෙක් සහ දඟ පන්දු යවන්නෙක් එකතු කර තිබීම වැදගත්.ක්‍රීඩක යුගලය බැඟීන් රටවල් හතරක් මෙහි ඉහළින්ම ඇති නම් දහය බෙදා ගනිද්දි ඒ අතරට ඉන්දියාවෙන් අනිල් කුම්බ්ලේ සහ දකුණු අප්‍රිකාවෙන් ෂේන් පොලොක් එකතු වි සිටිනවා.


කෙසේ හෝ මේ සටහනට පාදක වූ ඇන්ඩර්සන් වැදගත් වන්නේ මේ කඩුලු දඩයමේ ඔහු නිරතව සිටින කාලය සමඟයි.ඔහු ටෙස්ට් පිටියට පැමිණ තිබෙන්නේ 2003 වර්ෂයේදි.මේ වන විට ඔහු වසර 19 ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරනවා.දින පහක් වයස හතළිහක ක්‍රීඩකයෙක් තමන්ගේ සුපුරුදු රිද්මය පවත්වාගෙන පන්දු යැවීම ඇත්තටම සුවිශේෂි කරුණක්.වේග පන්දු යවන්නන් සමූහයක් සිටින රටක කණ්ඩායමක සහ එවැන්නන් නිර්මාණය වීම හිඟයක් නැති ක්‍රිකට් පරිසරයක වේග පන්දු යවන්නෙක් විදිහට දිගටම රැඳී සිටීමට අවශ්‍යය සකල විධ යෝග්‍යතා රැක ගැනීමට ඇන්ඩර්සන්ට සිඳු වෙනවා.කඩුලු දවා ගැනීමට හැකි මට්ටමේ පන්දු යවන්නෙක් වීම එහිදි වැදගත්.ඇන්ඩර්සන් තවමත් ඒ දේ කරනවා.එසේම හොඳ ශරීර යෝග්‍යතාවයකින් සිටීම කියන කාරණයත් වැදගත්.ඔහු ක්‍රීඩකයෙක් හැටියට වයසට නොයන්නට තමන්ගේ සිරුර ගැන බලාගන්න හැටි විශාල ආදර්ශයක්.ඒ වගෙම ඒ හැකියාව සහිත සුවිශේෂී වේගයම කඩුලු ලබා ගැනීමේ වාර්තා පොත්වල ලියැවි දේ නිරුපද්‍රිතව තබන්න බාධාවක්.ඒ නිසා ඇන්ඩර්සන්ගේ නම් වාර්තා පොත්වල තියෙන තැනින් වෙනස්ව ඉදිරියේදි තව තවත් තැන් බලා ඉහළට ඒම නොවැළක්විය හැකි කරුණක් වෙනු ඇති.

RM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි