×

වැක්සීන් එපායි කියා ඉන්දීය වැසියෝ ගඟට පනිති

ලෝක වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරයසයෙන් වැළැක්වීම සඳහා ඉන්දීය රජය මේවන විට ලබාදෙන වැක්සීනය ඇතැම් ප්‍රදේශවල පිරිස ලබානොගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මීට හේතුව, මිනිසුන් අතර වැක්සීනය සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය වීමයි. වැක්සීනය විෂ සහිත එකකැයි ඔවුන් අතර මත ව්‍යාප්ත වී ඇති බැවින් ඔවුහු බිය වී සිටිති.

උත්තර් ප්‍රදේශ්හි බරාබන්කි නම් ප්‍රදේශයේ වෙසෙන මිනිසුන් 200ක් පමණ වැක්සීනය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සරයූ නම් ගංගාවට පැන තිබිණි.

වැක්සීනය ලබාදීමට පැමිණි ප්‍රාදේශීය සෞඛ්‍ය කණ්ඩායම් සිය ගමෙන් ඉවත් වූයේ නැතිනම්, ගංගාවේ යටටම කිමිද ගිලී සිටින බවට වැඩිහිටි ගම්වාසීන් ගං ඉවුරේ සිටිමින් ඔවුන්ට තර්ජනය කර ඇත.

කෙසේ හෝ එම පිරිස කරුණු පැහැදිලි කර දී, වැක්සීනය ලබාගැනීමේ ප්‍රයෝජනය කියා ඔවුන් කැමති කරවාගැනීමට සමත් වූහ. ඉන්පසු ප්‍රදේශවාසීහු 18දෙනෙක් වැක්සීනය ලබාගත්හ. සෙසු පිරිසට ද වැක්සීනය ලබාදෙන බව බලධාරීහු කියාසිටියහ.

එසේම, අවුරලියා දිස්ත්‍රික්කයේ කදර්පූර් නම් ග්‍රාමයේ මිනිසුන් ගමට එන සෞඛ්‍ය කණ්ඩායම් වලට පහරදීමට පොලු, මුගුරු ගෙන සූදානම්ව සිටි බවද මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් ප්‍රදේශවල මිනිසුන් ඔවුන්ට ගමට ඇතුළුවීමට පවා ඉඩ දී නැති අතර, ඔවුන්ගේ කෝපසහගත හැසිරීම් නිසා, වැක්සීන් ලබාදීමට ගිය පිරිස ගමට යාම ප්‍රතික්ශේප කර ඇත.

මේ අතර, ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළයාමත් සමඟ ඉන්දියාව වැක්සීන් හිඟයකට ද මුහුණදී සිටී.

ඩිල්ශානි චතුරිකා දාබරේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි