×

වැටුප් නොගෙවීම නිසා පාකිස්ථාන කැමරා ශිල්පියෙක් හෘදයාබාධයක් වැළඳී මරුට

පාකිස්ථානයේ City 42 නමැති රූපවාහිනී නාලිකාවේ කැමරා ශිල්පියෙක්, වැටුප් නොගෙවා සේවයෙන් පහ කිරීමෙන් පසු හෘදයාබාධයක් වැළඳී මියගොස් තිබේ.


රිස්වාන් මලික් නමැති මෙම තරුණ කැමරා ශිල්පියා, මෙයට මාස 3කට පෙර රැකියාවෙන් පහ කළ සේවක පිරිසට අයත් වූවෙකි.

මාස 3 ක් තිස්සේ වැටුප් නොගෙවා ඔවුන්ගෙන් සේවය ලබාගෙන ඇති මාධ්‍ය හිමිකරුවා අවසාන වශයෙන් ද මෙයට දින කිහිපයකට පෙර දැනුම් දී තිබෙන්නේ ‘‘අනෙක් රූපවාහිනී නාලිකාවලට තරගයක් ලබාදීමට අසමත් වීම හේතුවෙන්‘ වැටුප් නොගෙවීමට තීරණය කර ඇති බව ය. ඒ අනුව හිඟ වැටුප් ද නොගෙවා සිටීමට ඔහු විසින් තීරණය කර තිබේ.

මෙම තීරණයත් සමග රිස්වාන් මලික් ගමට ගොස් ඇති අතර, දැඩි මානසික ආතතියෙන් සහ ප්‍රතික්ෂේපය නිසා හටගත් පීඩනයෙන් සිටි ඔහු, හෘදයාබාධයකට ලක් වන්නේ එහිදී ය.

වසරකට පමණ පෙර විවාපත් වූ අයෙකු වූ රිස්වාන්, සේවාස්ථානයේදී නියමිත පරිදි වැටුප් නොලැබීම නිසා අති මහත් දුෂ්කරතා රාශියකට ලක්ව සිටි අයෙකු බවට ද වාර්තා තිබේ.

රිස්වාන්ගේ සිද්ධිය වාර්තා වන්නේ පාකිස්ථාන රජය විසින් පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය සඳහා අවම වැටුපේ වැඩිවීමක් පඩි පාලක සභාව වෙත යෝජනා කර ඇති පසුබිමක් තුළ වීම ද විශේෂත්වයකි.

‘‘මේක ඝාතනයක්‘‘ යැයි මාධ්‍යෙවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ සඳහන් කරති.

පාකිස්ථානය පමණක් නොව දකුණු ආසියාවේ රටවල් ගණනාවක ද මාධ්‍ය හිමිකරුවන් සහ කළමනාකාරිත්වය විසින් මාධ්‍ය සේවකයන්ට වැටුප් නිසි පරිදි නොගෙවන බවට චෝදනා රැසක් පවතියි.

පාඩු ලබන බව පවසමින් ආයතන වසා දැමීම, සමාගම්වල නම් වෙනස් කරමින් නව සමාගම්වලට සේවකයන් අනියුක්ත කිරීම, නැවත සේවයට කැඳවන තෙක් නිවාඩු යවා වැටුප් නොගෙවීම, කාර්ය මණ්ඩලවල තෝරාගත් පිරිසකට පමණක් නියමිත පරිදි වැටුප් ගෙවීම, අඩු මූලික වැටුපක් නියම කර ඕනෑම අවස්ථාවක කපා හැරිය හැකි දීමනා වැටුපට එක් කිරීම යනාදී වශයෙන් මෙම ගැටළුවේ ස්වරූප ගණනාවක් තිබේ.

මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන මෙන්ම මාධ්‍යවේදීන්ගේ ෆෙඩරේෂනය වැනි අන්තර්ජාතික සංවිධාන ද මෙම තත්වයට දිගින් දිගටම විරෝධය පළ කළත් එහි වෙනසක් සිදු වී නොමැත.

මෙම ගැටළුවේදී මාධ්‍ය හිමිකාරිත්වය සහ කළමනාකාරිත්වය ඉදිරිපත් කරන නිදහසට කාරණා වන්නේ පිරිවැය අධික වීම, වෙළඳ දැන්වීම් ආදායම අඩු වීම, පාඩු ලැබීම, මාධ්‍යවේදීන්ගේ රැකියාවේ ගුණාත්මය සතුටුදායක නොවීම යනාදියයි. සාමාන්‍යයෙන් වැටුප් අහිමි කිරීමට හෝ අඩුකිරීමට පෙර අනුගමනය කළ යුතු පෙර ක්‍රියාමාර්ග ගණනාවක් ආයතන තුළ පැවතිය යුතු වුවද, බොහෝ මාධ්‍ය ආයතන තනි පුද්ගල අයිතීන් මත අත්තනෝමතික ලෙස පරිපාලන තීරණවලට මැදිහත් වන බව ද අන්තර්ජාතික මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.

ලංකාවේ තත්වය

ලංකාවේ ද නීතියෙන් නියම කර ඇති නිසි කාර්යපටිපාටීන් අනුගමනය නොකර වසා දමා ඇති මාධ්‍ය ආයතන ගණනාවක් පිළිබඳ වාර්තා වේ. පුවත්පත් ආයතන ඒ අතරින් ප්‍රධාන ය. රිවිර, සුමති පුවත්පත් ආයතනට අයත් ලක්බිම පුවත්පත එයින් ප්‍රධාන ය. මේ අතරින් ලක්බිම දිනපතා පුවත්පත සම්බන්ධයෙන් සේවකයන් පිරිසක් විසින් අධිකරණමය ක්‍රියාමාර්ග ද ගෙන ඇති අතර, එහිදී ආයතනය අධිකරණයට දැනුම් දී තිබෙන්නේ ආයතනය වසා දමා නැති හෙයින් සේවය අවසන් කිරීම යටතේ සේවකයන්ට අධිකරණයට පැමිණීමට බලයක් නොමැති බව ය. ඒ අනුව සේවකයන් නිවාඩු යවා ඇති බව එයින් අදහස් වුවද වසරකට අධික කාලයක් මුළුල්ලේ සේවකයන්ට වැටුප් ලබා නොදීමට එම ආයතනය කටයුතු කර තිබේ. මේ පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පරීක්ෂණවල මන්දගාමී ස්වභාවය සම්බන්ධයෙන් ද මේ වන විට තොරතුරු ලැබෙමින් පවතියි.

වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ බොහෝ මාධ්‍ය ආයතන, දේශපාලකයන්ගේ සෘජු හෝ වක්‍ර දේපළ ලෙස පැවතීම ද මාධ්‍ය සේවකයන්ට යුක්තිය ඉටු නොවීමට ප්‍රබල ලෙස බලපා ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි