×

වැල බලා කෙළවෙලා! එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!

අපි හරි ප්‍රජාතන්ත්‍රවාදීයි. වැලක් බැලුවට තනතුරු තාන්න මාන්න එහෙම අහිමි කරන්නේ නෑ. එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!


බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් තම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ තිබෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා. ඒ ඔහුට විරුද්ධව ගොනුවූ චෝදනාවක් නිසාවෙන්.

ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව කුමක්ද? බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හවුස් ඔෆ් කොමන්ස් ශාලාවේ සිට කාමෝද්දීපන චිත්‍රපටයක් නැරඹීමයි ඔහුට එරෙහිව තිබෙන චෝදනාව.

මෙම සිදුවීමට අදාළව හවුස් ඔෆ් කොමන්ස් හි කාන්තා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ද සාක්ෂි ලබා දෙනවා. මේ වන විට මන්ත්‍රීවරයාට එරෙහිව විමර්ශනයක් දියත් වන අතර, බොහෝ විට ඔහු සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය දැනට ඔහුට පක්ෂ තහනමක් ද පනවා තිබෙනවා.

නීල් පැරිෂ් යනු කවුද? බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරයෙකු වන නීල් නියෝජනය කරන්නේ එංගලන්තයේ ටිවර්ටන් සහ හොනිටන් යන ඡන්ද කොට්ඨාශය. 65 හැවිරිදි නීල් 2010 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඊට අමතරව 1999 – 2009 කාලය තුළ ඔහු එංගලන්තයේ යුරෝපීය පාර්ලිමේන්තුව ද නියෝජනය කර තිබෙනවා. විවාහකයකු වන නීල් මුනුබුරන් දෙදෙනෙකුට සීයා කෙනෙකු ද වනවා. නීල් මෙම චෝදනාවට අදාළව ක්‍රියාත්මක වන විමර්ශනයට පැකිලීමකින් තොරව පෙනී හිටින බව ද පවසා තිබෙනවා.

හැබැයි මේ වන විටත් මේ සිදුවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති කිරීමට සමත්ව තිබෙනවා. ඒ හුදෙක් නීල් කාමෝද්දීපන චිත්‍රපට නැරඹීමටත් වඩා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ කලක පටන් පවත්වාගෙන එන ලිංගිකත්වවාදය හා ස්ත්‍රී-විරෝධයට එරෙහිවයි.

එංගලන්තේ ලිංගිකත්වවාදය සහ ශ්‍රී ලංකාවේ ‘වම්බටු’ ගහල‘පලා’ ගැනීම..

කාමෝද්දීපන චිත්‍රපට, නැතහොත් අපේ ඈයන්ගේ බසින් කිව්වොත් වැලක් බැලීම ඔය තරම් සැර තීන්දුවක් ගන්න තරම් වරදක් ද කියා ප්‍රශ්න කරන උදවිය අප අතර ඉන්නවා. ඔය ඉඳලා හිටලා වැලක් බැලුවට මොකෝ? මෙහෙ කපල් පිටින් ට්‍රිප් ගිහිං වැල රෙකෝඩ් කරලා සෝෂල් මීඩියා වලට දාන්නේ? එහෙම නේද කියන්නේ?

මේ කන්සර්වේටිව් මන්ත්‍රීවරයා මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රමිති කොමසාරිස්ගේ විනය පරීක්ෂණයකට මුහුණ දෙමිනුයි ඉන්නේ. ඔහු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම පද්ධතිය කඩ කළ බවට තහවුරු වූවහොත්, නීල් ට දඬුවම් වලට යටත් වීමට සිදුවනවා පමණක් නොවෙයි, හවුස් ඔෆ් කොමන්ස් වෙතින් සමාව අයැදීම හෝ මන්ත්‍රීධුරය අහිමි වීම දක්වා ම එහි ප්‍රතිවිපාක දරුණු විය හැකියි.

මේ අතරේ බ්‍රිතාන්‍ය විපක්ෂය විසින් පමණක් නෙවෙයි පාලක පක්ෂය විසින් පවා පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඇති අඩුපාඩු පිළිබඳ සංවාදය ගොඩනඟමින් සිටිනවා. වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ තිබෙන ස්ත්‍රී-විරෝධී ආකල්ප හා ලිංගිකත්වවාදය ප්‍රවර්ධනය කෙරෙන සංස්කෘතියට එරෙහිව හඬක් අවදි වීම සිදුවෙමින් තිබෙනවා. පාලක පක්ෂයේ සංවිධායකවරුන් මීට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන් ද යන විවේචනය විපක්ෂයෙන් පමණක් නොව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් ම මතුවනවා.

මතක ඇති කලකට ඉහත අපේ රට හදන තැන පාලකයන්ගේ යටිපතුල් ලෙවකන ඈයෙක් ලිංගික අභිනයන් හුවා දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරියකට ප්‍රසිද්ධියේ වාචික හිංසා කරපු හැටි; විපක්ෂයේ මන්ත්‍රීවරියක එල්ල කළ පැණයට පිළිතුරු වශයෙන් එළවලු වර්ග වල නම් සඳහන් කරමින් ලිංගික අභිනයන් වලින් ප්‍රතිචාර දක්වපු හැටි.

ඒ වුනාට අයියෝ අපේ ඈයන්ගේ විපක්ෂය විතරයි ද කොහෙද ඒකට විරුද්ධව කතා කළේ. ඇයි ඒ? ඒ ඉතිං අපේ ආචාරධර්මය ම ආචාරධර්ම උල්ලංඝනය කිරීම නේ.. ඒ නිසා වෙන්න ඇති. ඉතිං එහෙම වෙනකොට වැලක් බැලුවට මොකද්ද වරද කියලා අහන්න හිතෙන එක සාධාරණයි තමා.. අපේ ලැප්ටොප් වලත් බඩු පුරවලා තියෙන්නේ හලෝ, වැලක් බැලුවා කියලා මන්ත්‍රීධුරයක් අහෝසි කරන්න තරම් දරුණු වෙන්න එපා කියලා කියන්න හිතෙන එකත් සාධාරණයි.

නීල් ගේ සිදුවීමේදී ඔහු නිසැක වශයෙන්ම කාමෝද්දීපන චිත්‍රපට බැලූ බවට වීඩියෝ සාක්ෂි තිබෙනවා ද කියා විමසීමක් කර තිබෙනවා. එහිදී මෙම සිදුවීම ඇසින් දුටු මන්ත්‍රීවරියක් කියා තිබෙන්නේ එය නිශ්චිත වශයෙන් වීඩියෝ පටිගත කර ගැනීමට ඈට නොහැකි වූ බවයි. නමුත් ඈට එම සිදුවීම වීඩියෝ පටිගත කරගැනීමට නොහැකි වූ පමණින් නීල් ට බුරුලක් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. නීල් ට එරෙහි විරෝධය දිගින් දිගටම එල්ල වනවා.

අනේ එතකොට මතක ද අර මහරගම පැත්තේ නගර සභාවක ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියකට ආණ්ඩු පක්ෂයේ ම මන්ත්‍රීවරයකු ලිංගික අභිනයන් හුවා දක්වන කොට එහි වීඩියෝ සාක්ෂි නොමැති වීම නිසා අපට කළ හැකි දෙයක් නැහැ කියා නගර සභා නිලධාරීන් සිදුවීම යටගැහුවා?

මට පේන්නේ අප්සෙට් එක තියෙන්නේ එංගලන්තේ ද කොහෙද.. ඔච්චර මොකට ද කාන්තා විමුක්තිය ගැන අපි හිතන්නේ නේද?

අපි හරි ප්‍රජාතන්ත්‍රවාදීයි!

අපේ රට සෙක්ස් කියලා ගූගල් සර්ච් කරලා කප් ගහපු රටක් නේ. නිකමට ඇලෙක්සා රෑන්කිං බැලුවොත් උඩම තියෙන්නේ එක්ස්හැම්ස්ටර්, පෝර්න්හබ් වගේ සයිට්. ඉතිං ඒක හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියන තරමටම සාමාන්‍ය දෙයක් දැන්. කාර්යාලයක ඉඳලා වැලක් බැලුවට මොකෝ, තම ලිංගික උද්දීපනය පෙන්නලා පිරිමිකම පෙන්නන්න පුළුවන් නම් ගොඩ නේ? ආයතනික ව්‍යූහයක් ඇතුළේ ආචාරධර්ම අතරින් රිංගමින් තම ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගන්න ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතන පිරිමි අනන්තවත් අප අතර ඉන්නවා. ඒ අවශ්‍යතාවයට කාන්තාව නිසිපරිදි හැඩගැහෙන්න ඕනේ කියලා හිතන පිරිමි අප අතර ඉන්නවා.

ඔව්, නිවසේ සිට ආගමික සිද්ධස්ථානය දක්වා දරුවන් අපයෝජනය වන රටක, එවන් අපයෝජනයන්ට එරෙහිව හඬ නැඟීම ආගම රට ජාතියට ගැරහීමක් වන රටක, කාන්තාවන්ට ලිංගික හිංසන සිදුවීම කාන්තාවගේ වරද බවට න්‍යායන් ගොඩනැඟෙන රටක, එක් පසෙකින් දරුවන්ට‍ ලිංගික අධ්‍යාපනය ලබා දීම ජාතිය විනාශ කිරීමක් ය, එන්ජීඕ කාරයන්ගේ වැඩ යැයි හඬනඟන විට අනෙක් පසින් ළමා අපයෝජන සිදුවන විට නිහඬ වන රටක ඉඳලා හිටලා කාර්යාලයක හෝ පොදු ස්ථානයක ‘වැලක් බැලීම’ සාමාන්‍ය දෙයක් තමා. තම පක්ෂයේම මන්ත්‍රීවරියන්ට කලිසම ගැලවීමට තැත්කරන්නාක් මෙන් ලිංගික අභිනයන් හුවා දක්වමින් ඔවුන් ලිංගික භාණ්ඩ වලට සමාන කරමින් හැසිරෙන දේශපාලුවන් පොරවල් සේ සලකන රටක කාර්යාලයකට වී ‘වැලක් බැලීම’ සාමාන්‍ය දෙයක් තමා.

ඇතැම් විට එය උසස් වීමක් පවා ලබා ගැනීමට සුදුසුකමක් විය හැකිය..

ඒකනේ අපි කියන්නේ, අපි හරි ප්‍රජාතන්ත්‍රවාදීයි. වැලක් බැලුවට තනතුරු තාන්න මාන්න එහෙම අහිමි කරන්නේ නෑ. එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!

ඡායාරූප: ගෙටී ඉමේජස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි