×

‘විද්‍යාව වෙනුවෙන් ඔබ කරන ආයෝජනය අපතේ යන්නේ නැහැ’- වෛද්‍ය උගුර් සහින්

එක්සත් රාජධානිය තුළ වර්ධනය වෙමින් පවතින කෝවිඩ් වෛරසයේ නව ප්‍රභේදය (new strain) පවා තම වැක්සීනයට මර්ධනය කළ හැකි බවට ෆයිසර් - බයෝඑන්ටෙක් කෝවිඩ් මර්ධන එන්නතේ පුරෝගාමී මහාචාර්ය උගුර් සහින් (Ugur Sahin) ඊයේ විශ්වාසය පළ කළා.


නව ප්‍රභේදය තුල පවා ඇත්තේ වෛරසයේ හුලෙහි (spike) පිහිටා ඇති ප්‍රෝටීන සංයුතියේ සියයට එකක පමණ වෙනස් වීමක් බව පෙන්වා දෙන ඔහු යම් විදියකින් අවශ්‍ය වුවහොත් දැනට පවතින එන්නත නව තත්වයට මුහුණ දිය හැකි පරිදි සති හයක් පමණ කාලය ඇතුලත වර්ධනය කළ හැකි බව සඳහන් කළා. කෙසේ වුවත් ඒ සඳහා නව තත්වය සම්බන්දයෙන් යම් පර්යේෂණයක් කළ යුතු බව සඳහන් කරන ඔහු ඒ සඳහා සති කිහිපයක් ඉල්ලා තිබෙනවා. කෙසේ වූවද විද්‍යාත්මකව ගත්කළ දැන් පවතින එන්නතට මෙම ඉස්මතු වෙමින් පවතින නව වෛරස් ප්‍රභේදය මර්ධනය කිරීමට ඇති හැකියාව ඉතාම ඉහළ බව ඔහුගේ අදහසයි.

‘අපේ එන්නත පැති ගණනාවකින් මෙම වෛරසයට පහර දෙනවා. ඒ නිසා අප සිතන්නේ නැහැ මෙම නව ප්‍රභේදය එතරම් බරපතළ වනු ඇති කියා’. ඒ සහින්ගේ විශ්වසනීය හඬ. ‘නමුත් වැක්සීනය අළුත් එකක් බවට පත් වුණොත් ඒ සඳහා අප මෙතෙක් මෙම වැක්සීනය සඳහා ගතකළ කාලයම ගතවනු ඇති’. එයින් ඔහු අදහස් කරන්නේ එන්නතක් සමාජය වෙත මුදාහැරීම සඳහා ගතකළ යුතු සාමාන්‍ය කාල රාමුව ගැන.

ජර්මනියේ පළවන Deutsche Welle (DW) වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් මේ දිනවල වැඩිපුර කතා බහට ලක්වී ඇති බයෝඑන්ටෙක් අධිපති වෛද්‍ය සහින් පෙන්වා දෙන්නේ එසේ වර්ධනය කළ එන්නතක් ඔවුන් නුදුරේ දී හඳුන්වා දෙනු ලැබුවහොත් එයද නැවත අනුමැතිය සඳහා බලධාරීන් වෙත යොමුකළ යුතු බවයි.

සමස්ත යුරෝපීය සංගමයේ සියළු රටවල් ආවරණය වන පරිදි යුරෝපීය සංගමය ලබා දුන් පාර්ශවිය අනුමැතිය (partial approval) වෙනුවෙන් ස්තුති කළ ඔහු ස්විට්සර්ලන්තය තුළ මෙම එන්නත පාවිච්චි කිරීම සඳහා එරට ලබාදුන් අනුමැතිය ගැනද ස්තුති පුර්වක වුණා.

ලබන වසරේ මුල් කාර්තුව අවසන් වනවිට වැඩිහිටි ජනතාවට සහ ඉදිරිපෙළ කාර්ය සාධන පුරවැසියන් සඳහා මෙම වැක්සීනය ලබාදී ඔවුන් ආවරණය කළාට පසු ලෝක ජනගහනය වෙත යම් ඉසිඹුවක් බලාපොරොත්තු වන ඔහු මෙම වැක්සීනය සමඟ මිනිසුන්ට තම ප්‍රතිශක්තිය ගැන විශ්වාසය තහවුරු වූවාට පසු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට ලබන වසරේ මැද භාගය පමණ වන විට හැකි වනු ඇතැයි පුරෝකතනය කරනවා. රටක සමස්ත ජනගහනයෙන් සියයට හැටක් හැත්තෑවක් පමණ ආවරණය වූ පසු සාමාන්‍ය ජීවිතයක් ගැන සිතීම අපහසු නොවනු ඇතැයිද ඔහු මත පළ කරනවා. කෙසේ වුවත් ඒ සඳහා සහින්ගේ කාල රාමුව වන්නේ ලබන ශීත සෘතුවේ ආරම්භයයි.

මෙම එන්නත අධික ලෙස පහළ උෂ්ණත්වයක (ultra low temperature) ගබඩා කිරීම සහ ප්‍රවාහනය ගැන සඳහන් කරන ඔහු ප්‍රකාශ කරන්නේ එසේ බෙහෙත් ද්‍රව්‍ය අධික පහල උෂ්ණත්වයක තබාගැනීම කිසිදු රටකට අළුත් දෙයක් නොවන බවයි. ‘වියළි අයිස් කුට්ටි තුල ලෝකය බෙහෙත් ගබඩා කරන්නේ දැන් වසර පණහක පමණ කාලයක ඉඳල. වියළි අයිස් (dry ice) තුල බෙහෙත් වර්ග ප්‍රවාහනය කරන ඒජන්තයින් විශාල පිරිසක් ලෝකයේ ඉන්නවා. වෛද්‍ය සේවකයන්ට පුළුවන් සාමාන්‍ය විදියට මෙම එන්නත අපගේ ඇසුරුම් වලින් එළියට අරගෙන පාවිච්චි කරන්න. ඔයාල ඒක රූපවාහිනී තුල දැන් හැමදාම වගේ දකිනවා නේ’. ඔහු සිනහා මුසු මුහුණින් පවසනවා.

තුන්වන ලෝකයේ රටවල් වලට අපි දැන් සෑහෙන කාලයක ඉඳල බෙහෙත් වර්ග අපනයනය කරනවා. ලතින් ඇමෙරිකාව, මෙක්සිකෝව වගේ රටවල් අපෙන් බෙහෙත් ගෙන්වා ගන්නවා. දැනුත් එයාල මේ එන්නත ලබාගන්න සුදානම්. කාර්මිකකරණය වෙමින් පවතින අනෙක් රටවල් පවා දැන් සුදානම් වෙලා ඉන්නවා අපේ එන්නත ලබාගැනීම සඳහා.

‘මේ එන්නත සුපිරි සොයා ගැනීමක් ද’ යනුවෙන් මාධ්‍යවේදියා අසන ප්‍රශ්නයට ඔහු මෙහෙම කියනවා. ‘ඔව්, අපි දිහාවට ලෝකයේම අවධානය යොමුවෙලා. අපි ඒක දන්නවා. නමුත් මේක පුද්ගලික දෙයක් නෙවෙයි. ආයතන ගණනාවක් අපිත් එක්ක වැඩ කළා. ලොකු කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා. ලෝක පරිමාණයේ විද්‍යාඥයින් සහ ආයතන අපිත් එක්ක ඉන්නවා. ඒ ස්තුතිය හැමෝටම යන්න ඕනි. හැමෝම උදව් කළා. මේක විද්‍යාවේ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ සමස්ත ජයග්‍රහණයක්. අපි මෙතෙක් කරගෙන ආව විද්‍යාව සහ පර්යේෂණ කියන දේ වැදගත් කියන එක තමයි මෙයින් ඔප්පු උනේ. ඒ නිසා සුපිරි වීරයා වෙන්නේ විද්‍යාව. මුළු ලෝකයේම ඉන්න විද්‍යාඥයින් ඔක්කොම (scientific community) ඒ නිසා වීරයින් වෙනවා. විද්‍යාව වෙනුවෙන් කරන ආයෝජනය අපතේ යන්නේ නැහැ කිසි විටෙක’.

‘ඇයි ඔබ තාම මේ එන්නත ලබා ගත්තේ නැත්තේ?’ ඒ මාධ්‍යවේදියාගේ අවසන් ප්‍රශ්නය.

‘ඔව්, මම තවම මේක ගත්තේ නැහැ. මොකද මම මගේ වාරය එනකල් ඉන්න ඕනි අපේ රටේ නීතියට අනුව. අනික මට වඩා වැදගත් වෙන්නේ මගේ සහායකයින් මේ එන්නත ලබා ගන්න එක. එයාල තමයි දවසේ පැය විසි හතරම ගොඩක් අනතුරුදායක විදියට මේ වැඩේ නියැලිලා ඉන්නේ. ඊට පස්සේ මම මේක ගහගන්නම්’.

එහෙම කියල වෛද්‍ය සහින් තම සාකච්චාව අවසන් කළා.

අන්තිමට තරඟයේ වීරයා උනේ විද්‍යාව.

– මහේෂ් හපුගොඩ විසින් තැබූ ෆේස්බුක් සටහනකි.

මුල් පුවත සඳහා පිවිසෙන්න:

BioNTech confident vaccine works on new COVID variant



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි