ජර්මනියේ අධිවේගී රේල් පාරක් අසල මේ ඡායාරූපයේ අප දකින්නේ හංසයෙකුද, නැතිනම් හංස ධේනුවක්දැයි කිව නොහැක.
නමුත් ඔහු/ඇය එබිකම් කරමින් බලන්නේ සිය ප්‍රියයාගේ මෘත දේහය දෙස ය. එය රේල් පාරේ අපට නොපෙනෙන ඉසව්වක පතිත වී තිබේ.
අධිවේගී රේල්ලුව මතින් පියඹා ගිය හංසයෙකු එහි ගැටී ඇද වැටුණු බව දුටු අය සිටියහ. අනතුරුව දක්නට ලැබුණේ දෙවැනි හංසයෙකු එතැනට පැමිණ, එතැනින් නොගොස් වැළපෙන අයුරු ය.
කිසිවෙකු ඔහු/ඇය එළවා නොදැමූහ. Kassel සහ Gottingen අතර දුම්රිය වාර 23 ක් අවලංගු කිරීමට සිදුවිය. නමුත්, එවිටත් කිසිවෙකු හංසයාව එළවා නොදැමූහ.
අවසානයේ ගළවාගැනීමේ භටයන් කණ්ඩායමක් පැමිණ, මළ හංසයාගේ අවශේෂයන් ෆ්ලූඩා ගඟට මුසු කළහ.
මුලින්ම ගාඩියන් පුවත් සේවයේ පළ වූ, පැය කිහිපයක් ඇතුළත වයිරල් වූ ඡායාරූපයේ කතාව එයයි.
‘වැළපීම‘ හෝ ‘දුක්වීම‘ට ඇති හැකියාව සෑම සත්ව විශේෂයකටම තිබේ යැයි කිව නොහැක. නමුත් හංසයෝ නියත වශයෙන්ම වියෝ දුකේදී වැළපෙති. සිය සහකරු හෝ ප්‍රේමය හෝ හංස පැටවෙකු (cygnet) මියගිය විට ඔවුන්ට වැළපෙන්නට හැකි බවට විද්‍යාත්මක සාක්ෂි බොහෝ ය. ඒ අනුව උන්ට ‘වැළපීම‘ යනු දුක පිට කරන ක්‍රමවේදයකි.
වසර 15කට වඩා ආයු කාලයක් නැති මේ සුන්දර නිමැවුමට සිය වියෝදුක වෙනුවෙන් සෘතු කිහිපයක් වුවත් වෙන් කිරීම මහ දෙයක් නොවේ. Swan Lifeline නමැති හංස තොරතුරු මූලාශ්‍රයට අනුව හංසයෙකු වියෝ දුකින් හද පැළී වුවද මිය යා හැකිය.
ඉතින්, හංස අවශේෂයන් ෆ්ලූඩා ගඟට මුසු කළ පසුව මේ වැළපුණු හංසයා කුමක් කරන්නට ඇත්දැයි ඔබට සිතාගත හැකියි නේද?
නිසැකවම තවත් හංස ගීත ගැයෙන්නට ඇත. ප්‍රවාදයේ එන ‘හංස ගීතය‘ යනු, ප්‍රිය වියෝවේදී හංසයා ගයන දුක් ගීයයි.
Photograph: Federal Police Kassel