×

ශ්‍රම පූජාවේ 9-5 වහල්ලු

ඔබත් 9 - 5 කණ්ඩායමේ සිරකරුවෙක්ද? කාර්යාල‍යේදී පහේ කණිසම වැදෙන තෙක් නොඉවසිල්ලෙන් පසුවන්නෙක්ද? බීබීසී පුවත්සේවය අනාවරණය කරනා පරිදි ඔබ හුදෙකලා නැත.


ඇමරිකානු ශ්‍රමිකයන්ගෙන් 70%ක් ම සිය කාර්යාල‍යේ අධික කාර්යබහුලත්වය නිසා හටගත් ආතතියෙන් පීඩා විදිති.

ඇමරිකාවේ ‍රැකියා වෙළදපොළ සමෘද්ධිමත් ය. ඇමරිකා එක්සත් ජනපදයේදී ස්ථිර රැකියාවක හිමිකරුවෙක් වීම සැනසිල්ලට කාරණයකි. සිතේ බර හෑල්ලු වන හේතුවකි. මෙයට දශකයකට පෙර තත්වය එය විය හැකි වුවත් දැන් තත්වය වෙනස් ය. ඇමරිකානුවන්ගෙන් අති බහුතරය සිය රැකියා‍ව නිසා තෘප්තියෙන් කල් නොගෙවති. සරල බසින් පවසන්නේ නම් ඔවුන් රැකියාවල යෙදී සිටින්නේ සිත සතුටින් නො‍වේ.

සිත නිවන කතා

පරිගණක තාක්ෂණය ලෝකයට පැමිණි අලුත කියැවුණු ප්‍රධානතම සිත සනසන කතාවක් වූයේ තාක්ෂණය නිසා ජීවිත පහසු වන බව ය. රැකියාවේ ආතතිය අඩුවන බව ය. එහෙත් සිදුවී ඇත්තේ අනෙකකි. තාක්ෂණය විසින් ජීවිත වේගවත් කරන විට ස්වාමියෝ සිය සේවකයන්ගෙන් වැඩි වැඩ කොටසක් බලාපොරොත්තු වෙති. මිනිසුන්ද යන්ත්‍ර සේ සිතා ‘ඩෙඩ්ලයින්ස්’ හෙවත් යම්කිසි වැඩක් අවසන් කිරීම සදහා ගතවන උපරිම හෝ අවම කාලය නියම කරති. කාර්යාලයේ සිර නොවී ඕනෑම තැනක සිට නිදහසේ සිය වැඩ කොටස කර භාර දෙන සංස්කෘතිය ‍තවමත් බොහෝ දුරට චිත්‍රපටවලට සීමා වී තිබේ. ‍සිය සේවකයන් සිය කාර්යාලයේ හැර අන් රැකියාවල නොයෙදෙන බව සනාථ කර ගැනීමට බොහෝ ස්වාමියන්ට අවශ්‍ය ය. එනිසාම ‘ගෙදර සිට වැඩකිරීම’ ඔවුහු සාමාන්‍යයෙන් දිරි නොගන්වති. එවිට එය දෙපාර්ශවය අතර විශ්වාසනීයත්වය පිළිබද ගැටලුවක් බව ටද පත්වේ.

කලකට පෙර අතිශය ජනප්‍රිය වූ ස්ටාර් ට්‍රෙක් කතාමාලාව, තාක්ෂණයෙන් බලය ලැබූ-රැකියා තෘප්තිය සහිත පිරිසිදු ලොවක් පිළිබද පිළිණ දුන්නේය. එහෙත් අද වන විට සිදුවී ඇත්තේ තාක්ෂණය නිසාම මිනිසුන් සිය ශ්‍රම පූජාවේ සිරකරුවන් බවට පත්ව තිබීමයි. ‍බොහෝ සේවා සපයන්නන් අද සිය ශ්‍රමිකයන් සමග ගනුදෙනු කරන ප්‍රධානතම මාර්ගයක් බවට විද්‍යුත්ලිපි හෙවත් ඊමේල් පත්ව තිබේ. ඒ අනුව බොහෝ බටහිර සහ ඇමරිකානු ‍ශ්‍රමිකයන්ට සතිඅන්තවල පවා කාර්යාලයීය ඊ මේල් පණිවුඩ පිළිබද අවධානයෙන් සිටීමට සිදුව තිබේ. ‘අප තාක්ෂණයට අපව අපේ ශ්‍රමය අතික්‍රමණය කරන්නට ඉඩ දුන්නා. ඒ නිසා දැන් අපම එහි වහලුන් බවට පත්වෙලා. අප කුමන්ත්‍රණයකට නතු වෙලා යැයි මේ තත්වය පැහැදිලි කරමින් මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන උපදේශක ඩේව් කොප්ලින් පවසයි.

අනාගතය අයත් වන්නේ නිර්මාණශීලීත්වයට ය. නිර්මාණශීලී වීම පිණිස සිතේ නිදහස උවමනා කෙරේ. සිතේ නිදහස ලැබීම පිණිස යන්ත්‍ර සූත්‍ර සහ පරිගණකවලින් ඈත්වීමට උවමනා කෙරේ. ඇමරිකාවේ බොහෝ කාර්යාල ගොඩනැගිලි කුටි රාශියකින් සමන්විත කන්ටේනර් බදු ය. අභ්‍යන්තර අලංකරණය කොතරම් ඉහළ මට්ටමක පැවතියද බැලූ බැලූ අත දැකිය හැක්කේ මේසවලට හිස් ඔබාගෙන වැඩ කරනා සේවකයන් ය.‍ මේ දසුන සෙසු ‍සේවකයන්ගේ දිරිය මැඩලන්නක් බව කොප්ලින්ගේ අදහසයි. අප්‍රිකානු තැනිතලාවක දිස්වන ඩාවින් යුගයේ පරිසරයක් නිව්යෝක් හෝ චිකාගෝ නුවර විසල් කාර්යාල සංකීර්ණයකින් බලාපොරොත්තු විය නොහැකි බව සැබෑවකි. එහෙත් තාක්ෂණඥයෙකු සහ ලේඛ‍කයෙකු වන බෙන් හැමර්ස්ලි පොතකට හැදින්වීමක් ලියමින් අපූරු කතාවක් කියයි. ඔහු පවසන ආකාරයට නූතන කාර්යාලයක් බොහෝ ආකාරවලින් නූතන සැවානා තණබිමක් වැනි ය. එවැනි අප්‍රිකානු තණ බිමක දැකිය හැකි ඇන්ටිලොප් මුව රංචු, කණ්ඩායම් වශයෙන් සේවයේ යොදවා තිබෙන සේවකයන් බවත්, තණ බිමේ අද්දර වාඩි වී සිටින දඩයක්කරුවන් කළමනාකරුවන් බවත් ඔහු කියයි. දඩයක්කරුවෝ නිරන්තරයෙන්ම මුවන්ගේ දුර්වලස්ථාන ගැන සෝදිසියෙන් ඇස ගසාගෙන සිටිති.

නූතන පර්යේෂණවලින් පෙන්වා දෙන ආකාරයට මෙවැනි කාර්යාල, සේවකයන්ව රෝගී කරවයි. කාර්යක්ෂමතාවය නසයි. සිත් නොසතුටු කරවයි.

සමාගම්වලට හදවතක් තිබිය යුතුය!

කාර්යාලයක සේවය කරන්නෙකු හට සිය උපරිමය ලබාදීමට නම් කාර්යාල වේලාව තුළ නිස්කලංක මිනිත්තු පහළොවක් අවම වශයෙන් අවශ්‍ය වේ. නමුත් සිතා බලන්න. ඊ මේල්, දුරකථන ඇමතුම්, සහායකයන්‍ හෝ සහෝදර සේවකයන්ගේ බාධා කිරීම් නොමැති නිස්කලංක පැය කාලක් අවසන් වරට ඔබේ කාර්යාලයේදී අත්වින්දේ කවදාද…? සිය සේවකයන්ගෙන් උපරිමය බලාපොරොත්තු වන සේව්‍යයෙක්, නිසැක වශයෙන්ම ඔවුන්ට කාර්යාලයේදී නිදහස ලබාදියයුතු බව කොප්ලින් අවධාරණය කරයි. ඔහු එය හදුන්වනේනේ ‘නම්‍යශීලී වැඩකිරීම’ යනුවෙනි. එහෙත් එවිට නැවතත් මතුවන මහා ගැටලුව වන්නේ විශ්වාසනීයත්වය පිළිබද ප්‍රශ්නය බව ද ඔහු සිහිපත් කරයි.

සමාගම්වලට හදවත් තිබිය යුතු යැයි මේ ගැටලුව පිළිබද ගැඹුරින් විග්‍රහ කරන විශ්ලේෂකයන් කියා සිටින්නේ ඒ නිසා ය. ඕනෑම සමාගමකට සිය ව්‍යාපාරයේ හෝ සේවාවේ ස්වභාවය මත පදනම්ව හෘද සාක්ෂියක් තිබිය යුතුය. සේවකයන් පිළිබද අවංක ඇගයුමක් තිබිය යුතුය. විශේෂිත වටිනාකමක් ලබාදිය යුතු සේවකයන්ගේ වි‍ශේෂ අවශ්‍යතා පිළිබද අවබෝධයක් තිබිය යුතුය. විශේෂ පහසුකම් ඉල්ලා සිටින විටදී ඒවා වැටුප් වර්ධක පිරිනැමීම් වැනි අවස්ථාවලදී ඔවුන්ට ‘අපි දැනටමත් ඔබට අසුවල් පහසුකම ලබාදී තිබෙනවා’ වැනි ආකල්ප නොපෙන්විය යුතුය. බොහෝ නූතන සමාගම්, ඇතැම් සේවකයන් තම රැකියාව වෙනුවෙන් සුවිශේෂී කැපවීම් කරන බව දැන දැනම ඔවුන්ට විශේෂයක් කිරීමට මැලි වෙති. ඒ සදහා ඔවුන් ඇතැම්විට කදිම පැහැදිලි කිරීම් ඉදිරිපත් කරති.’ඔබ අපිට හුගක් වටිනවා. ඔබේ අගය අපි දන්නවා. ඒත් ප්‍රශ්නය තිබෙන්නේ ඔබට මේ වැටුප් වර්ධකය ලබාදුන්නොත් අනෙක් අයට ඒක ගැටලුවක් වෙනවා. ඒ නිසා අපිට මේ අවස්ථාවේ ඔබට විශේෂයක් කරන්න අමාරුයි’ වැනි හේතු ඔවුහු ඉදිරිපත් කරති. අවසානයේ සිදුවන්නේ අධෛර්යමත් වන සේවකයාගේ කාර්යක්ෂමතාවය, තමන්ද නොදැනීම අඩුවී ඔහු නිතැතින්ම අකුරට වැඩ කරන්නෙකු බවට පත්වීමයි. සේව්‍යයන් සිය සේවකයන් පිළිබද දකින සම්ප්‍රදායික කෝණ ‍නවීකරණය විය යුතුය. සැබවින්ම සමාගම්වලට හෘද සාක්ෂියක් තිබිය යුතුය. එයට සේවක හෘදසාක්ෂියට ඇහුම්කන් දීම ටහැකි විය යුතුය. ‘උපරිමය ගන්නට නම් අවමයවත් දෙන්න’ යැයි මයික්‍රොසොෆ්ට් උපදේශකයා කියන්නේ ඒ නිසා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි